2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා

දැහැන

 2018 දෙසැම්බර් 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

ඇස් පිහාටුවක් 
අත‍රේ හිස් අවකාශයේ 
නවතින්න මට 
දෙනවද එක ඉඩක් 

වෙන කොතනකද මම මට කියලා ඉඩක් ඉල්ලන්නෙ... හුළඟක් වුණානම් එහාට මෙහාට පාවෙවී හරි ඉන්න තිබුණා මට.. මගේම කියලා නවතින්න තැනක් නැති වුණාම හරි හිස් හැම අහුමුල්ලක්ම ජීවිතේ... කවදාහරි දවසක එහෙම හිතුණොත් ඔයාට ඔයා කාටද කතා කරන්න ඕනැ?

මම කියන්නෙ ඔයා ඔයාටම කතා කරන්න ඕන... කතා කරන්න වෙලාවක් තියෙනවද ඔයා ජීවිතේ හුඟක්ම ආදරය කරන කෙනෙකුටවත් ඔයත් එක්ක... මට හිතෙන්නේ ඔයාගේ හිත ඉල්ලන ඉඩක් දෙන්න නැතිවෙයි.... අපි හුඟක් හුදෙකලා වෙලා කියලා හිතෙනවා ජීවිතය අස්සෙ.. මම හිතන්නේ ඔයා ඔයාවත් ඈත් කරගෙන ඔයාගෙන්... ජීවිතය කියන්නෙ තරගයක් අරමුණක් තාක්ෂණයේ මහා හිරකාරයෙක්... හුඟක් අයට. සීමාව ඉක්මවා ජීවිතය කළමනාකරණය කරගෙන ඒ අය. එතනදී ප්‍රකෘතිය මියඇදිලා ඉතුරු වෙන්නෙ විකෘතියක්. ජීවිතය කියන්නේ හුදෙක් භෞතික ක්‍රියාවලියක් විතරක් නෙවෙයි. භෞතික සහ අධ්‍යාත්මික ක්‍රියාවලින් දෙකක සුසංයෝගයක්. එතනයි ජීවිතයේ රස මන්දිර මැවෙන්නෙ. මට හිතෙන්නේ හුඟාක් දෙනෙක් තේරුම් නොගත්ත යථාර්ථය තමයි ඒ. Phone එක අස්සට මූණ ඔබාගත්තම ඇස් දෙක දිහා බලාගෙන අත අල්ලාගෙන කතා කරන වෙලාවත් කෙනෙක් එක්ක අන්තිමේදී phone එක උදුරාගෙන.. කෑවෙ මොනවද යන්නෙ කොහෙද feeling මොනවද no secret ඕන එකයි එපා එකයි හැමදේම fb එකෙන් කියන්න අරගෙන වෙලාවකට fb එක photo සල්පිලක් වගේ.. නැත්නම් තොරම්බොල් කරත්තයක් වගේ ජීවිතයම ඒ අස්සේ හිරකරලා..ළෙන්ගතුකම්, බැඳීම් සියල්ල ඒ ඇතුළෙ ගනුදෙනුවක් කරලා.. ජීවිතේට ඇහින් නොදැක්ක අය හදවතට හුඟක් ළඟ යාළු මිත්‍රයෝ වෙලා සියල්ල තීරණය කරන්නෙ chat එකෙන්... අනේ මූ පිස්සෙක්, බූරුවෙක්, සෝබනකාරයෙක් කියලා හදවතින් කියන ගමන් ෂා පට්ට කියලා comment දානවා... තමන්ගේ වාසියට සියල්ල හිතන කරන හුඟක් මිනිස්සු අවංකවම කෙනෙක්ගේ දුර්වලකමක් පෙන්නන්නේ කියන්නේ නෑ. ඒ තමන්ට ලැබෙන වාසි පල ප්‍රයෝජන නැතිවෙයි කියන ආත්මාර්ථකාමී කුහක සිතුවිල්ලෙන්. ඒ හින්දම අපි හුඟක් පරෙස්සම් වෙන්න ඕනේ අපිව මුරුංගා අත්ෙත් තියලා වර්ණනා කරන  මිනිස්සුන්ෙගන්. අපි හුඟක් අය කන්නෙ බොන්නේ සියල්ල කරන්නේ හුඟක් වෙලාවට phone එක එක අතක තියාගෙන.. දවසේ වැඩි වෙලාවක් earphone එක කන්දෙක අස්සේ.. ඒ තරමටම අපි කෘතිමකරණය වෙලා තනිකරණය වෙලා. හුදෙකලාව මකාගන්න තාක්ෂණය ඇරෙන්න වෙන පිහිටක් නෑ කියලා හිතන තරමට හුඟක් මිනිස්සු අසරණ වෙලා. ඒ ‍ඛේදවාචකය ඇත්තටම සමාජ විපරීතකරණයක්. සුළඟක සර සරයක්.. කුරුල්ලකුගේ කිචිබිචියක් මම හිතන්නේ කවදාවත් ඒ කනකට ඇහෙන්න විදිහක් නෑ.. සොබාදහමත් එක්ක ආදරයත් එක්ක ළෙන්ගතුකම් එක්ක ජීවිතය හරිම සුමට විදිහට බෙදා ගන්න තියෙන හැම ඉඩම අපි හුඟදෙනෙක් තාක්ෂණයට හා මෙවලම්වලට බාරදීලා... පුංචි එවුන්ගෙ ලෝකයත් ඒ අස්සෙ හිරකරලා... අනිත් හැම ඉඩම අපි භෞතික සැපසම්පත් මිල මුදල් ඉපයීමේ අරමුණු වෙනුවෙන් කැපකරලා.. අඩුම තරමේ කවියක් කියවන්න සින්දුවක් අහන්න film එකක් බලන්න පොතක් කියවන්න කෝ ඉඩක්...

සොබාදහම කියන්නේ චමත්කාරයේ පාරාදීසයක්. ඇස් දෙක පියාගෙන අහගෙන ඉන්න, කුරුලු ගීතවල මිහිර, වැස්සක් වැටෙද්දී වැහි බින්දු පොළොවට වැටෙන රිද්මය, හුළඟක් හමද්දී අතුරිකිලි තුරුපත් ඒ හුළඟ පිරිමදිද්දී සුළඟ වේගය වැඩිවෙද්දී අඩුවෙද්දී ඇහෙන රිද්මය, මනසත් කයත් සුවපත් කරන භාවනාවක් වගේ ඒ ඉසියුම් චමත්කාර හඬ සංයෝගයන්. ජීවිතයේ කන්දක් තරම් බර පැත්තකින් තියලා අහන්න ඒ සොබාදහම. විඳින්න ඒ සොබාදහම. ඔයාට හිතන්න බැරි මුණිවර සම්භාවනාවකට ඒ සෑම රිද්මයක්ම ඔයාව අරගෙන යාවි.

ඒත් අද අපි හුඟක් දෙනෙක්ගේ ජීවිත අස්සෙන් අධ්‍යාත්මික සුවය ඈත්වෙනවා මොහොතින් මොහොත. මට කියන්න මේකද ජීවිතය...? මේ විතරමද ජීවිතය.. කෝ රෑට වැව් ඉස්මත්තකට වෙලා හඳක් දිහා බලාගෙන ඉන්න මොහොතක්... වැස්සක හඬ අහන් ඉන්න වෙලාවක්.. සුළඟේ නැළවෙන තුරුපත් අස්සෙන් පෙරී ගෙන එන රිද්මය අහගෙන ඉන්න වෙලාවක්... කෝ වයින් වීදුරුවක් තොල ගගා ආදරය ගැන ජීවිතය ගැන අපි ගැන කතා කරන්න අපිට වෙලාවක්... කෝ ජීවිතය දිගේ ඇවිදින්න අපිට වෙලාවක්...

ආදරණීයම කෙනෙක් ඔයාගේ ජීවිතෙත් කොතනක කොයි විදිහෙන් හරි ඇති... උරහිසේ ඔළුව තියාගෙන එයත් එක්ක ජීවිතය ගැන කතා කරන්න... ආදරයේ ගැඹුර ගැන කතා කරන්න... හුස්ම හිරවෙයි තවත් ඉම්බොත් ඔය නළල කියලා හිතෙන මොහොතක් එනකම් ඒ නළල ඉඹින්න... ජීවිතයේ සැනසිල්ල හමුවෙන්නේ ඒ ඉසව්වලදී... බිම වැටිලා කුඩු වුණොත් display එක ගියොත් phone එකේ ඔක්කොම connection ඉවර වෙයි.. ඒත් හදවතේ හරිමැද දත්මිටි කාගෙන අල්ලගන්න බැඳීම් කවදාවත් අත හැරෙන්නේ නෑ. සංසාරෙත් ඒ බැඳීම් සුවඳ දැනෙයි ඔයාට.

එතන තමා ආදරය
එතනම තමයි ජීවිතය 
ආදරයෙන් සිඹ නුඹ සනසන නුඹේ ජීවිතය

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00