2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

හොරකම හෙණ ආතල් බං...

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 169

 

ජීවනමේ ගමන සංසාරේ .. නොලැබ ආලෝකේ

දවස තිස්සෙම කුණු ගොඩවල්වල රස්තියාදුවෙලා පොඩ්ඩක් ඇහැපියා ගන්න හැදුවා විතරයි මෙන්න සින්දු කෑල්ලක් කියාගෙන ආවා කියහන්කෝ ගෙදර එකා. එනකොටම ගෙදර පොඩි එකා පොතක් අරන් ඉස්සරහට ගියා.
තාත්තෙ.... 

මොකද

හෝම් වර්ක් තියෙනවා කරන්න

ඇයි යකෝ දැන් උඹලෑ ටීචර් තාත්තටත් හෝන් වර්ක් එවනවද....

නෑ නෑ උදව් කරන්න කියලා කිව්වෙ...

යකෝ අපි ඉස්කෝලෙ යන කාලේ අපිට උදව් කරන්න බල්ලෙක් හිටියේ නෑ. අපි තනියම උප්පැන්න හොයාගෙන ඉල්ලූම් පත‍්‍ර දාලා ඇඳුම් මහගෙන තනියම ඉස්කෝලේ ගියේ.

එතකොට තාත්තේ ආච්චියි සීයයි සියඹලා ගෙනාවෙම නැද්ද...

මොනව වුණත් අන්න පොඩි උන් තාත්තව ඇඹරිලා යන්න අහන එක ඇහුවා.

වැඩිහිටියෙක්ට කතා කරන්න ඉගෙන ගනින් හරිය. කෝ බලන්න මොනවද ඔය හෝන් වර්ක්...

කාගෙ හරි ජීවන චක‍්‍ර ටිකක් ලියාගෙන එන්න කිව්වා...

ජීවන චක‍්‍ර නෙමෙයි බඹර චක‍්‍ර ගැන වුණත් ලියන්නම් මම. කෝ කා ගැනද ලියන්නෙ
හිතන්න ඕන

උඹලා හිතනකොට අපි කරලා ඉවරයි යකෝව්. ලියාගනින් මුලින්ම තාත්තාගේ ජීවන චක‍්‍රය.

තාත්තාගේ ජීවන චක‍්‍රය

ඉපදුණා. ඉස්කෝලෙ ගියා. ඉගෙන ගත්තා. ලයිට් කණු 8 ක් එක්ක ගෙදරට පාස් වුණා. අම්මව සෙට් වුණා. කසාද බැන්ඳා.

තාත්තෙ
මොකද

රස්සාවක් හොයාගන්න කලින්ද කසාද බැන්ඳෙ...

ඔව්නේ
ඉතින් එහෙම බෑනේ
බැරිනං ඔය කොරේ

එතකොට ජීවත් වෙන්නෙ කොහොමද

ඒක මෙහෙමයි. ඒ තත්ත්වය විග‍්‍රහ කරන්න වෙන්නෙ වෙන වස්තු විෂයක ඉඳලා. අපිට කියන්න බෑ හම්බුවෙන ගෑනි කොයි වගේද කියලා. ගෑනිගේ හැටියට තමයි රස්සාව හොයාගන්න  ඕන. සමහර ගෑනු ඉටිපන්දමයි පොල්කට්ටයි අරන් හඳපානේ හරි යන්න එනවා. සමහර ගෑනු කෝටි ගාණක වාහනේ තමයි කසාද බැඳලා යන්නෙ. 

අම්මා කොහොමද ආවේ

අම්මා කොහොම එන්න කැමති වුණත් මට තිබුණේ පොල්කට්ටක් විතරයි බං. අම්මා තමයි ඉටිපන්දමත් ගෙනාවේ. 
හරි.

ලියාගනින්. කසාද බැඳලා රස්සාවක් හොයාගත්තා. එකක් කියලා නෑ. පොල් කඩනවා. කාණු කපනවා, මල් පාත්ති හදනවා, කුණු අදිනවා, ගේම් දෙනවා, ඉඩම් විකුණනවා. කොමිස් ගහනවා. ඡුන්දෙට වැඩ කරනවා. එහෙම තමයි සල්ලි හොයන්නෙ.

ඊට පස්සෙ

ඊට පස්සෙ දරුවෝ හදනවා. උඹලා ලොකු වෙනවා. උඹලත් අපි කරපු දේවල්ම කරනවා. අපි නාකි වෙනවා මැරිලා යනවා. ගිහින් කොහේ හරි ආයි උපදිනවා. ඉස්කෝලෙ යනවා. ඔහොම තමයි

හරි.

දෙවෙනියට ලියාගන්න ඕන මොකද්ද
තාත්තේ හොරෙක්ගේ ජීවන චක‍්‍රය කොහොමද
හොරෙක් නේද... ම්... ම්...
අමාරුනම් උඩ එකම ලියාගන්නං.

පිස්සුද යකෝව්. හොරාගේ පටි රෝල් නොකර ඉඳපන්. හොරෙක්ට මට වඩා සෑහෙන ස්ටෑන්ඩඩ් චක‍්‍රයක් තියෙන්නෙ
කියන්නකෝ ඉතින්

ලියාගං
හොරාගේ ජීවන චක‍්‍රය.

හොරෙක්ට හොරකමක් කරන්න සිතක් පහල වෙනවා. හොරකං කරන්න යන හොර බඩුව හොර බඩුවක් බව දැනගන්නවා. ප්ලෑන් එකක් ගහනවා. හොරකමේ හැටියට තමයි ඇඳුම් පැළඳුම්. ගෙයකට පැනලා ටීවි එකක් රේඩියෝ එකක් හොරකම් කරනවානම් ඔය සරං කෑල්ලක් ඇති. ඊට වඩා දෙයක් හොරකං කරනවානම් වෙනස්. 

තාත්තේ බැදුම් කර හොරකම කියන්නෙ මොකද්ද

ඒවා ගැන කවුද උඹට කිව්වෙ
ඔය හැමතැනම කියන්නෙ

බැදුම් කර කියන්නෙ මොකද්ද. බැදුම් කියන්නෙ ඔය මොනව හරි බැදුමක්. කරවල බැදුමක් හිතපන්කෝ.

හරි

ඒක හට්ටිය පිටින් කරේ තියන් හොරෙන් යනවට තමයි බැදුම් කර හොරකම කියන්නෙ

එතකොට ඒකට ඇඳුම් සරමයි බැනියමයිද

පිස්සුද යකෝ. ස්ටෑණ්ඩඩ් හොරකං කරන්න ඕන ස්ටෑණ්ඩඩ් විදිහට. ටයි කෝට් දාලා. සපත්තු මැදලා. කෝටි ගාණක වාහනවල ගිහින් හොරකම් කරන්න ඕන. නැත්තම් හොරකමෙන් වැඩක් නෑ.

එතකොට ඒ හොරා අහුවුණාම.

හොරු අහුවුණාම කෙරෙන විදහ වෙනස්. මුලින්ම බලනවා හොරා කොයි පක්ෂෙද කියලා. ඌ ආණ්ඩුවේනම් කරන්නෙ දැක්කෙ නෑ වගේ අහක බලාගෙන ඉන්න එක. 

මිනිස්සු කෑගහනවනේ
මොකටද
හොරා අල්ලන්න කියලා

ඇහුණේ නෑ වගේ ඉන්න ඕන. දැක්කෙත් නෑ දන්නෙත් නෑ

එතකොට හොරා

හොරාට හොඳට සලකන්න ඕන. කමිටුවල සභාපතිකම් දීලා යාන වාහන දීලා. 
ඇයි ඒ

එහෙම තමයි හොරකම ස්ටෑණ්ඩඩ් වෙන නිසා හොරාටත් ඒ විදිහට සළකන්න ඕන.
හොඳයි හොරා විපක්සෙ නං

එතකොට වෙනස්. හොරාට කෝල් එකක් දෙනවා මුලින්ම අපේ පැත්තට වර කියලා. ආවොත් වෙනයි. නාවොත් වෙනයි.

ආවොත්
ආවොත් ඌ හොරකමෙන් නිදහස්. දැක්කෙ නෑ වගේ දන්නෙ නෑ වගේ ඉන්න න්‍යාය.
එන්න බෑ කිව්වොත්.

අන්න ගේම. හොරාව ගේනවා .... එකට. ගෙනැල්ලා ප‍්‍රශ්න කරනවා. පිටපත අතට දෙනවා
පිටපත

ඇයි බං හොරු හොරු යාළුවෝනේ. 
ඉතින්

ඉතින් පිටපත දෙනවා. ඒකේ විදිහට තමයි වැඩේ දුවන්නෙ. මුලින්ම ප‍්‍රශ්න කරනවා. නිව්ස් එකක් ගහලා මීඩියාකාරයන්ට එන්න කියනවා. ඔන්න අරන් යනවා කියනවා. මාංචු දානවා. මීඩියාකාරයෝ ෆොටෝ ගහනවා. හොරා මාංචු පෙන්නලා කියනවා ජනතාව වෙනුවෙන් තමයි මේ යන්නෙ කියලා. එක්ක ගිහින් දානවා කූඩුවට. 

ඉවරයි
පිස්සුය
එහෙනං

ඊට පස්සෙ හොරාට ලෙඩ වෙනවා. ඒවට කියන්නෙ හොර ලෙඩ කියලා
බොරු ලෙඩද

නෑ නෑ ඇත්ත ලෙඩ. හොරාගේ ලෙඩේ නිසා තමයි හොර ලෙඩ කියන්නෙ. ඌට උණ හැදෙනවා. හාට් කේස් එනවා. හෙම්බා හැදෙනවා. අපස්මාරේ හැදෙනවා. ටෙටනස් විදින්න යනවා. ක්ලිනික් යනවා. උදෑසන ඔක්කාරේ එනවා. 
පස්සෙ

පස්සෙ හොස්පිට්ල් යනවා. හොඳ වෙන්නෙම නෑ මළාට. පස්සෙ ඌවත් හොර පාරෙම ගෙදර එවනවා. 

එතකොට

එතකොට ලෙඩ හොඳ වෙනවා. ආයි ඌ හොරකං කරනවා. මුල ඉඳලා ආයි චක‍්‍රය යනවා.

මැස්සා වෙච්ච මමත් කල්පනා කරා හොරකං කරන්න. හොරකං කරනවා තරං ලේසි ආතල් වැඩක් වෙන නෑ. ඇත්තමයි මම කවදා හරි හොරෙක් වෙනවා. හාද?

මම
හොස්ස ළඟින් ගිය මැස්සා.