මිනිසුන් විදියට මේ ජීවිතයේ ඇතැම් හමුවීම් අපට මතක නැහැ. විශේෂ අවස්ථා හැරුණාම අනෙකුත් දෑ අපටත් නොදැනුවත්වම මතකයෙන් ඉවත්වෙලා යනවා. ඒත් යම් සුවිශේෂී හමුවීම් අපිට මේ දැන් සිදුවුණා වගේ මතකයි. අහස් පියසයට අපේ හමුවීමත් ඒ වගේ. අදට සති සියයක් සපිරෙණ අපේ හමුවීම දුරස් බවක් නොමහැඟෙ අපූරු හමුවීමක් වුණා. හමුවූ ඒ හැම දිනෙකදීම අනුන්ගේ බිමකින් උකහා ගත් දෑ හරහා අපේ දෙස වඩාත් හොඳින් බලන්නට හැකි කැඩපතක් නිමවීමයි උත්සාහය වුණේ.
අපි සියලු දේ දන්නා අයයි එහෙම නැත්නම් අපිට අනුන්ගෙන් කිසිවක් ලබා ගන්නට වුවමනා නැති බව ඇතැමුන්ගේ විශ්වාසයයි. අනිත් අතට අප බොහෝ විට ඉක්මණින්ම ළගා කර ගන්නේ අපිට නුසුදුසු නොවටිනා දේ බව වටපිටාවේ අය දෙස හොඳින් බැලුවොත් වැටහේවි. අප සතුව තුබූ එහෙත් අපෙන් ඈත්ව ගිය බොහෝ දේ සුරැකිව තබා ගන්නට මෙහි අය තවමත් උනන්දු බව පෙනී යන නිසා ඒ ගැන කිහිප වරක් අහස් පියස යටදී කතා කළා මතකයි. සංවර්ධනය යනු ගොඩනැගිලි හෝ මිල මුදලින් පෝෂණය වීම පමණක් නොවේ යන්නට කිවි පොළොව මනා සාක්ෂියක් සපයනවා. අනෙකාගේ නිදහසට ගරු කිරීම වගේම අන් අයට උදව් උපකාර කිරීම වැනි උතුම් මිනිස් ගුණධර්මත් ඔවුන් අතර තියෙනවා. මැදියම් රැයේදී වුවත් කාන්තාවකට තනිව මහමඟ ඇවිද යන්නට මෙහි නිදහස තිබෙනවා. ඇඳුමෙන් පැළඳුමෙන් ගමන් බිමන් යන වාහනයෙන් මෙහිදී මිනිසුන්ගේ තත්ත්වය මනින්නේ නැති නිසා කඩපළට යන විට එහෙම විශේෂ සූදානමක් අවශ්‍ය වන්නේ නැහැ. ගැහැනු හෝ පිරිමින් යන කවරෙකුගේ වුව ශරීරය ඇතුළේ සිටින්නේ මිනිසෙකි යන්න අවබෝධයෙන් තේරැම් ගත් පිරිසක් නිසා එකිනෙකා වෙත නිරන්තරයෙන්ම ගෞරවය දැක්වීම මෙහි සුලභ දෙයක්. රටක භෞතික සංවර් ධනයට සමගාමීව මිනිස් හිත්වල ආකල්පත් වෙනස් වීම අනිවාර්යය සාධකයක් බව මෙහිදී මනාව දකින්නට ලැබෙනවා.
ලෝකයේ සීමා මායිම් එකිනෙකාව විවෘත වෙලා නිසා දැන් බෙහෝ දෙනෙකු වෙනත් රටවලට ගිහින් ජීවත් වෙන්න කැමතියි. ඊට බලපාන විවිධ හේතු කාරණා තිබුණත් තමන් උපන් රටේ ඇති බැඳීම් කිසිදා ඒ කිසිවෙකුටත් බැහැර කරන්නට බැහැ. ඒ විදිහට අපේ ලක් පොළොවේ ඉඳන් කිවි පොළොවට ආපු අය මෙහිදී හමුවෙනවා. ඒ අය අතරත් ගොඩාක් දුක හිතන කතා තියනවා. අප වැනි ආසියාතික හැඩ රුව ඇති අය බොහොම සිටින බැවින් අපේ බව හඳුනාගැනීමට මෙහිදී බොහෝ විට සහාය වෙන්නේ සිංහල භාෂා හඬයි. ඒ විදියට සිංහලෙන් කතා කරන කෙනෙකුගේ හඬ ඇහුනාම බොහෝ දෙනකු පෙරළා රටේ හැඟීමෙන් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ඟග හැර යන්නන්ද නැතුවා නොවෙයි. ඒ විදියට හමුවූ දරු පවුලක් ගැන ඇසූ කතා හිතට ගෙන දුන්නේ වේදනාවක්. කුඩා දරුපැටවු දෙන්නෙකුත් එක්ක ඒ යුවල මෙහි ඇවිත් තියෙන්නේ ලක් පොළොවේ තමන්ට තිබූ දේ මෙන්ම මවුපියන්ටත් තිබූ බොහෝ දේ විකුණලයි. ඒ විදිහට විශාල වියදමක් දරලා අධ්‍යාපන කටයුතු පිණිස ආවත් ලබාගත් සුදුසුකමට සරිලන රැකියාවක් නැති නිසා තවදුරටත් මෙහි රැඳී සිටීම ඔවුනට ගැටලුවක්. ඒත් ඔවුන් කියන්නේ ආයෙ මව්බිමට යන එක එක්තරා විදියක ලජ්ජාවක් කියලයි. ඒක මිනිස් ස්වභාවයනේ. අනුන්ට හිනාවෙන පිරිසකුත් ඉන්න නිසා ඒ අයට වරදක් කියන්නත් බැහැ. මෙහි එන්නට පාර කියා දුන් නියෝජිත ආයතනය මවා පෑ ස්වරූපයත් පැමිණි පසු අත්විඳින්නට ඇති දේත් අතර ලොකු වෙනසක් ඇති බව ඔවුන් කියනවා. මේ තත්ත්වය ඒ පවුලට විතරක් පොදු දෙයක් නෙමෙයි. ඒ අත්දැකීම ලබන බොහෝ දෙනෙකු මෙහි ඉන්නවා. ශිෂ්‍යයෙකු සමයේ රැකියා කරන්නට සිදුවන පැය ගණන සීමා සහිතයි වගේම කරන්නට ඇති රැකියාත් ඒ තරම් සුන්දර නැහැ. අනෙක් අතට හැම අතින්ම වෙනස් පරිසරයකට ගිහින් යළි ගොඩනැගීමත් ලෙහෙසි නැති නිසා අපේ විදිහට කිව්වොත් සෑහෙන කට්ට්ක් කන වැඩක්. මේ තත්ත්වය පැහැදිලිව කියන කිවි පොළොවේ යාළු මිත්‍රාදීන් එක්ක මෙහි එන්න හිතා ගෙන ඉන්න අයගේ හිත්වල යම් නොමනාපකම් පවා ඇතිවෙන්නේ නියෝජිත ආයතන කියන කතාවට වඩා ඉන්න අය කියන දේ මටසුලිටු නැති නිසා වෙන්නැති. ඒත් විශාල ධනයක් වියපැහැදම් කරන්නට කලින් තමන් මෙහි ඇවිත් කරන්නට යන දේ ගැන හොඳින් හොයා බලන්න කියලයි කිවි පොළොවට පය තබන්නට බලා සිටින අයට කියන්නට තියෙන්නේ. මිනිස් හැඟීම් ලෙහෙසියෙන් අලෙවි කරන්නට පුළුවන් දෙය විදියට හඳුනාගෙන ඊට වැඩිම මිලක් නියම කර ඇති සමාජයක බොහෝ පිරිස්සම් විය යුතුයි. අනුන්ගේ විග්‍රහයන් ගැනම නොසිතා සැබෑ තොරතුරු ලබාගත හැකි මාධ්‍ය අද සුලභයි. Immigration of New Zealand වෙබ් අඩවියට හෙම ගියෝතින් ගොඩාක් දේ දැනගන්න පුළුවන්. සති සියයක් අවසන ඒ කතාවත් මතක් නොකළොත් අඩුපාඩුවක් කියලා හිතුණා.
නෙත සිත ගැටෙන බොහෝ දේ අතර ලක් පොළොවටත් පණිවිඩයක් ඇතැයි සිතන බොහෝ දේ අහස් පියස යටදී දිගහැරුණා. ඒ හැම හමුවීමක්ම සුවිශේෂී වූයේ හැමදිනකම කතා කළ දේ හොද අරමුණක් සමඟ බද්ධ වී තිබුණ නිසයි. සෑම වෙන්වීමක්ම අවසන යළි හමුවීමක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව පණ ලබන තෙක් අහස් පියස යට හමුවී සිතිවිලි බෙදා හදා ගත් සැමට ආයුබෝවන්........