දුලීකාගේ මංගල්‍ය හරි අපූරු මංගල්‍යක්ම වුණා. කවුරු කවුරැත් බලාගෙන හිටියෙ දුලිකාගේ මංගල්‍ය කෙහේද කොහොමද... කවද්ද ගන්නේ කියලා. දැන් ඒ මංගල මංගල්‍යයටනම් අවුරුදු දෙකක් ගෙවෙනවා. හැබැයි තාමත් දුලීකා බොහෝ සති අන්ත දවස්වල එයාගේ මඟුල ගන්නවා. මනාලියක් හැඩවෙනවා කියන්නේ ලේසී පාසු දෙයක් නෙමෙයිනේ. හැබැයි දැන්නම් දුලීකාට මනාලියට හැඩවෙන්න ගතවෙන්නේ විනාඩි පහකට අඩුවෙන්. පුදුමයි නේද... ඒත්... ඒක තමයි ඇත්ත.
2014 අගෝස්තු මාසයේ දහතුන්වෙනිදා දුලිකා ඇතුළු මේ කණ්ඩායමට සුවිශේෂී දවසක් වුණා. ලෝරන්ස්ගේ මනාලිය කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ වේදිකාගත වුණා. රට පුරා වේදිකා ගත වුණ මෙම වේදිකා නාට්‍ය අද වෙද්දී නාට්‍ය වාර දෙසීසකට අධික ප්‍රමාණයක් වේදිකා ගත කර තිබෙනවා.
පසුගියදා දිනෙක මහරගම තරුණ සේවා සභාවේදීද ලෝරන්ස්ගෙ මනමාලි වේදිකා ගත කරගන්නට නියමිතව තබුණා. ඒ වෙද්දී වෙලාව හවස තුනට පමණ වන්නට ඇති. නාට්‍යය නැරඹීමට බොහෝ පිරිසක් පැමිණ තිබුණා. නාට්‍ය කණ්ඩායම ලකලෑස්තිවෙන කාමරයේදී මට ඔවුන් මුණගැසුණා. සම්පත්, හේමන්ත, සුජීව ඒ වෙද්දීත් වෙස් ගැන්වී හමාරයි. ඩේසීගේ ආදරණීය අම්මා විදිහට රඟපාන මාලී වෙස්ගැන්වෙමින් පැවතුණා. හැබැයි ඩේසීනම් තවමත් එහාට මෙහාට පැද්දී පැද්දී හිනාවෙනවා.
මාව තමයි මේ ගොල්ලෝ අන්තිමට මේක්අප් කරන්නේ.
දුලිකා අපිත් සමඟ කතාකළා.
මේ නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සුජීව ප්‍රියාල්, තිර රචනය හේමන්ත ප්‍රසාද්.
මේ වේදිකා නාට්‍යයටට ඉන්නේ නිළියන් පස්දෙනයි. මම ඩේසී විදිහට රඟපානවා. මාලී අක්කා මගේ අම්මා විදිහට ලෝරාගේ චරිතය රඟපානවා. මගේ මල්ලී තමයි සුජීව. මල්සරාගේ චරිතය හේමන්ත රඟපානවා. සම්පත් ජයවීර ප්‍රේම කුමාරයාගේ චරිතය හරි අපූරැවට රඟපානවා.
ඔන්න ඉතින් දුලීකාව හැඬගැන්වීමේ වේලාවත් ආවා. හරි බරි ගැහිලා අර පුංචි පුටවේ දුලීකාත් ගිහින් වාඩිවෙලා ඩේසිට හැඩගැන්වෙනවා. හැබැයි ඉතින් ඒතරම් ලොකු වෙස් ගැන්වීමකුත් ඕන වුණේ නෑ. පළවෙනි සීනුව නාද වුණා. කට්ටියම මේක්අප් රෑම් එකට එකතු වුණා.
සම්පත් ඩයලොග් ඕකේ නේද...
ඔව්... ෂේප්... අවුලක් නෑ...
සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක වේදිකාව දෙපැත්තක හෝ එක් පැත්තකවත් දෙබස් මතක කරන්නෙක් හෝ දෙන්නෙක් රැදී සිටිනවා. ඒත්... ලෝරන්ස්ගේ මනමාලි කණ්ඩායමට එවැනි කෙනෙකු අවශ්‍ය වුයේ නෑ. ඒ තරමට ඔවුන්ගේ චරිතය ඔවුන්ට දැන් හොඳට හුරැයි... අඩුම තරමේ මේ කණ්ඩායම පෙර පුහුණුවීමක්වත් කරන්නේ නෑ. දෙවැනි සීනුවත් නාද වුණා.
යමු... හොඳට කරමු... සුජීව පෙරමුණ ගත්තා.
ඔවුන් සමඟ මමද වේදිකාවට ගොඩවැදුණා. තවමත් ඒ තිරය විවර කරලා නැහැ. කණ්ඩාවමේ පස්දෙනා වේදිකාව උඩ රවුමට හිටගත්තා. පුංචි ව්‍යායාමයක් ඔවුන් කළා. අවසානයේදී ඔවුන් ඔවුන්ට ආචාර කරගත්තා. වේදිකාවේම පසෙක සංගීතය සහ ආලෝකය ලබාදෙන තැන පුටුව වාඩිවී මම මේ නොදකින දේ බලාන සිටියා. තෙවැනි සීනුවත් නාද වුණා.
ලෝරන්ස්ගේ මනමාලි වේදිකා ගතවුණා.
ලෝරන්ස්ගේ මනමාලි වේදිකා ගතවෙද්දී හරි හරි අපූරු සිදුවීම්ද සිදුවෙලා තියෙනවා.
වරක් ප්‍රේම කුමාරයාට (සම්පත් ජයවීර) ඒ වගේ සිද්ධියක් සිදුවුණා. ප්‍රේම කුමාරයා මුලින්ම වේදිකාවට එන්නේ සරම් ඇඳගත්තු තරුණයෙක් විදිහටයි. ඩේසී ටිකක් අකමැතියි. ඩේසීට ඕන සල්ලි තියෙන ටිකක් හැඩකාර කොල්ලෙක්වයි. නැවතත් මේ ප්‍රේම කුමාරයා ෂර්ට් එකක් යට කරගෙන තද වෙච්ච දිග කලිසමකුත් ඇඳගෙන ලොකු රතුපාට රෝස මලකුත් අතේ තියාගෙන වේදිකාවට පිවිසෙනවා. ඔහු යම් දෙබසකුත් කියාගෙන ඩේසී ළඟ දණ ගහගෙන ආදරේ ඇයැදුවා විතරයි...?
ප්‍රේම කුමාරයාගේ කලිසමේ පිටිපස්සේ මැහුම් වාටිය ලිහි මහා අකරතැබ්බයක් වුණා. හැබැයි නාට්‍යය නරඹන අය හිතුවේ මේක මේ නාට්‍යයේ කොටසක් කියලයි. ඒත්... ප්‍රේම කුමාරයාගේ මූණනම් වෙනස් වුණා. ඩේසිගේ මූණත් වෙනස් වුණා. වේදිකාව පිටුපස හිටි නාට්‍ය කණ්ඩායමටත් කරකියා ගන්න දෙයක් නැතිවුණා.
නාට්‍යයක් නරඹනවාට වඩා වේදිකාව පසු පස වෙන සිදුවීම් හරි අපූරුයි. එදා මහරගමදීත් ඒ වගේ හරි අපූරු සිදුවීමක් සිදුවුණා. නාට්‍යයේ එක් තැනක ඩේසිගේ කාමරයේ දොර, ප්‍රධාන දොර සහ නාන කාමරයේ දොර නිර්මාණය කර තිබෙනවා. මල්සරා නාන කාමරයේ හිදිද්දී ඩේසිටත්, මල්ලිටත්, නාන කාමරයට යාමේ අවශ්‍යතාවයක් පැන නැගෙනවා. දැඩි පරිශ්‍රමයක් දැරුවත් මල්සරා තම අවශ්‍යතාවය සපුරා නොගෙන එළියට එන්නේ නෑ. ඩේසිත් ලෝරාත් අැවටිලි කිරීමෙන් අවසානයේදී මල්සරා එළියට එන්නට උත්සාහ කරනවා. ඒත්... නාන කාමරයේ දොර හිරවෙලා.
මාර වැඩේ දොර ඇරෙන්නේ නෑ... කොහොමද එහෙම වුණේ... වේදිකාව පිටුපසට බලාන ඉන්න සුජීව ඇතුළු කණ්ඩායමට මෙය පුදුමයක්.
ඉන්න ඉන්න ප්‍රේම කුමාර් මේ දොර අපි අරින්නම්...
ඩේසී පිටපතේ නැති දෙබසක් කියා ලෝරාත් එක්ක එකතුවෙලා හරි අමාරැවෙන් දොර ඇරියා.
අම්මො... ඇති යාන්තං... එහෙම කිව්වේ ලෝරාත්, ඩේසිවත්, මල්සරාවත් නෙමේ... වේදිකාව පිටුපස බලාන හිටපු සුජීවයි.
විනාඩි පහකටත් අඩු ප්‍රමාණයකින් ඩේසි සුන්දර මනාලියක් වෙනවා. වේදිකාව පිටුපස කළුවරේම පුංචි ටෝච් එකකින් ඈ හනි හනිකට මනාලියක් වුණා. දවසක් අපූරැ සිදුවීමකුත් සිදුවුණා.
ඩේසිගේ මංගල ගවුමේ පටුපස ෂිපර් එකක් තියෙනවා. විනාඩි පහෙන් ලෑස්ති වුණා. ගවුම් ඇන්දා. ෂිප්එක දැම්මා. වේදිකාවට ගියා. ඩේසිට වේදිකාව උඩදී හීන් දාඩියත් දැම්මා. ගවුමේ පිටුපස ෂිප් එක කැඩිලා. පිටුපසම විවෘතයි. ඩේසිට ප්‍රේක්ෂකයින්ට ආචාර කරන්න බෑ. පහත් වෙන්න බෑ... මංගල ඇඳුමේ අකරතැබ්බය පේනවා. අවසානයේදී ඩේසිගේ අර සුපුරුදු හිනාවෙන්ම ඩේසී ප්‍රේක්ෂකයින්ට ආචාර කළා.
නාට්‍යය කණ්ඩායම ආචාර කළාට පසුව අඩු ආලෝකයක් වේදිකාවට ලබාදී තිරය වැසී යනවා. නමුත් එක දවසක වේදිකා නාට්‍යය අවසාන වුණත් ආචාර කළත් වේදිකාවේ ආලෝකයනම් වෙනස් වෙලා නෑ. කණ්ඩායම වේදිකාව උඩ කරන්න දෙයක් නෑ. අවසානයේදී වෙනත් කෙනෙකු තිරය වැසීමෙන් නාට්‍යය හමාර වුණා. ඒ වෙලාවේදී වේදිකා ආලෝකකරන ශිල්පියාට පුටුව උඩම නින්ද ගිහින්. නාට්‍යය කණ්ඩායම කැපවීමෙන් ලෝරන්ස්ගේ මනමාලි වේදිකා ගත කරනවා. මාලී ජයවීරගේ ආදරණීය මව මිය ගිය විටදීත් මේ නාට්‍ය කණ්ඩායමට දිනක් වෙන්වී තිබුණා. ඒ දිනය අවලංගු කරන්නට කණ්ඩායම සූදානම් වුවත් මාලීගේ ඉල්ලීම වූයේ මගේ අම්මාගේ ආසාව වුණේ මම කරන වැඩේ හරියට කරනවා දකින්නයි. ඒ නිසා අම්මට ගෞරවයක් වෙනුවෙන් මම මේ දවසෙත් රඟපානවා. කියාය.
අවසානයේදී තම මවගේ දේහය ගෙදර තියෙද්දීත් කිසිම දෙබසක් අමතක නොකළ මාලී ලෝරන්ස්ගේ මනමාලි එදා ද වේදිකා ගත කළා.