2019 ජනවාරි 19 වන සෙනසුරාදා

බලන්නේ එක පාරයි ඒ මගේ හැටි

 2019 ජනවාරි 19 වන සෙනසුරාදා, ප.ව. 12:30 252

හලෝ හලෝ කොහොමද මචං...
මචං කියපු ගමන් මට මතක් වුණේ ඩයස්ව..
ඩයස් කිව්වේ ධර්මප්‍රිය ඩයස්..

එයා මචං එකේ දුන්න ඇක්ට් එක මට තාමත් මතකයි... එහෙම ඇක්ට් එකක් දුන්න එයාව මුණගැහෙන්න හිතාගෙනමයි මම කොල්ලුපිටියට ආවේ.. දැන් නම් මෙහෙට කළුවරත් වැටිලා... ඒත් ඒ මචං වාහනේ පාර අයිනක පාර්ක් කරලා ඒ වාහනේට වාරැවෙලා ඈත මුහුදේ දෑස් ගිල්වනවා..

ආයුබෝවන්... 

සුපුරුදු සුහදශීලි හිනාව... ආයුබෝවන්... එහෙම තමයි එයා මාව පිළිගත්තේ..
ධර්මප්‍රිය ඩයස් අපිට ඉන්න පට්ටම ටැලන්ට් එකක් තියෙන සුපිරි පොරක්. වේදිකාවයි ඔහුගේ ජීවිතයයි අතර පරතරයක් නැති තරම්... එච්චරටම ඔහු වේදිකාවේ හතරකොන අඳුනනවා.. චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් ඒක එහෙම්මම තමයි... දෙබස් කියනවා නිකන් පපුවට ගහනවා වගේ.. ඒ විතරක් නෙමේ ඩයස් කියන්නෙ මනුස්සකම්වලින් පිරුණු සංවේදී චරිතයක්... ඒ තමයි අපි දන්න ධර්මප්‍රිය ඩයස්...
ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් අපිට කියන්නකෝ.. 

මේ දවස්වල ටිකක් විතර කාර්යබහුලයි... මොකද කියනවනම් රාජිත දිසානායකගේ අලුත් වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙනවා... තව ලක්ෂ්මි දමයන්ති නිෂ්පාදනය කරන සුදත් දේවප්‍රිය අධ්‍යක්ෂණය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩ කරනවා.. දෙවැනි ඉනිමේ රංගන කටයුතුත් සුපුරුදු පරිදි තියෙනවා.. ගෙදර දොර කටයුතුයි, ළමයින්ගෙ වැඩත් එකක් ජීවිතේ ගෙවෙනවා ඉතින්...
ඒ තමයි ධර්මප්‍රිය ඩයස්ගේ ජීවිතේ..
.

අනං මනං වැල්වටාරම් බයිලා නැතුව ලේසි විදිහට අපි වැඩේ පටන් ගන්න හිතුවා...
ඩයස්ගේ කලා නිර්මාණ අපි දන්නවනේ.. ඔයා රඟපාපුවත් අපි ඕන තරම් දැකලා තියෙනවා... ඒවා නැතුව. ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණ එකක් ගැන ටිකක් කතාකරමුද... මගේ වචනයෙන් කියනවනම් පපුවට වැදුණ එකක්... 

මෙච්චර වෙලා සැහැල්ලුවෙන් හිටිය ඩයස්... මොහොතකට හැරැණා මගෙ පැත්තට.. 
ජීවිත කාලෙට මට ඒ වගේ නිර්මාණ කිහිපයක්ම මුණගැහිලා තියෙනවා... මෑතක කාලෙදි මට ගොඩක්ම දැනුණු නිර්මාණයක් තමයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියපු සෙංකොට්ටං කියන නවකතාව...

අපේ රටේ ඕනතරම් නවකතා පොත් ලියවෙනවා... ඇයි මේ සෙංකොට්ටං නවකතාවම ඩයස්ට විශේෂ වෙන්නෙ...?  ලොකු හේතුවක් ඇති නේද ඒකට?
ඔව් ඔව් හොඳ පොත් මෙහෙ තියෙනවා.. දක්ෂ ලේඛකයෝ ගොඩක් අපිට ඉන්නවා. ඒ ඔක්කොම ඇත්ත.. ඒත් මට මෑත කාලේ කියවපු පොත්වලින් ගොඩක්ම හිත ගියේ සෙංකොට්ටංවලට.. ඒකට හේතුව තමයි මේ නවකතාවට තෝරගෙන තිබුණු කතා තේමාව.. ඒ තේමාව තමයි රටේ තිබුණු කුල ප්‍රශ්නය නැත්නම් කුල බේදය. මේ මාතෘකාව ගොඩක් ලේඛකයන්ට හසු නොවුණ එකක්.. මස්ඉඹුල හරිම ලස්සනට ඒ තේමාව ඇතුළේ කතාව ගොඩනගලා ඒ වකවානුවේ කුල බේදය ඇතුළේ මිනිස්සුන්ව සූරා කෑවේ කොහොමද කියන එක හරි අපූරුවට කලාත්මකව පෙන්නලා තියෙනවා. කුල බේදය ඇතුළේ සූරාකෑවේ ශ්‍රමය විතරක්මත් නෙමේ... ලිංගිකත්වයත් සූරාකෑවා, ඒ කාලෙ තිබුණ සිස්ටම් එක ඇතුළේ වෙන්න පුළුවන් නරකම දේවල් මේ කුල බේදය හරහා මිනිස්සුන්ට අත්විදින්න සිද්ධ වුණා.. දැනුත් අඩු වැඩි වශයෙන් යම් යම් තැන්වල මේ ප්‍රශ්න තිබුණත්.. සමස්තයක් විදියට පහුගිය යුගවල ඒක බහුලව තිබුණා. ඒ යුගය තමයි මස්ඉඹුල කතාවට පාදක කරගෙන තියෙන්නෙ.. ඒක විතරක්ම නෙමේ තව කාරණාවක් තියෙනවා අතීතය තුළ ජීවත් වන මිනිස්සු අපේ රටේ තාමත් ඉන්නවනේ.. සමහර වෙලාවට සෙල්ලිපිවල, අතීත සමහර පොත්වල තියෙන දේවල් අධික ලෙස විශ්වාස කරලා ඒ කෘති ඔවුන්ගේ  අත්පොත් විදියට යොදාගෙන තියෙනවා.. ඒවා තුළින් තමයි ඒ අය වර්තමාන ජීවිතය ගොඩනගාගන්න උත්සාහ කරන්නෙ.. ඒ කාරණා මේ පොත බලද්දී විහිළුවට ලක් වෙනවා... ඒ අතීත පැරැණි සමහර පොත්වල තියෙන දේවල් කෙනකුගේ වුවමනාව මත දනය, බලය, මත ලියවිච්චා වෙන්නත් පුළුවන්නෙ... අපි දන්නෙ නෑනෙ අවුරුදු සිය ගාණකට කලින් මොන වගේ දේවල් වුණාද කියලා. යම් යම් කාරණා සංසිද්ධි මෙහෙම මෙහෙම වුණා කියලා විතරක් දැනගත්තාම හොඳටම ඇති. ඒක අපේ බයිබලය, අත්පොත කරගෙන ජීවිත ඒ හරහා ගොඩනගන්න හොඳ නෑ.. ඒක හරි නරක වැඩක් කියලා අපිට මේ පොතේ උගන්වනවා... ඒකට හොඳම උදාහරණයක් තමයි එක මනුස්සයෙක් බෝ පැලයක් හිටවනවා... ඒ මනුස්සයා ඒකට වතුර දාලා සාත්තු කරලා දලු දාන විදිය හරිම ආසාවෙන් බලන් ඉන්නවා... පස්සෙ කාලෙක ඒ බෝ ගහා ළඟ පන්සලක් නිර්මාණය වෙනවා.. ඊට පස්සෙ මේ බෝ පැලය හිටවපු විදිය, ගෙනාපු විදිය ගැන බොරු චිත්‍ර පවා මේ පන්සල ඇතුළේ නිර්මාණය වෙනවා... අර අහිංසක මනුස්සයා මේ චිත්‍රවල ගෑවිලාවත් නෑ.. ඒ වගේ දේවල් හරිම උපහාසාත්මකයි.. සෙංකොට්ටං පොත බැලුවට පස්සෙ අපේ ගම්පළාත්වල තිබුණු සමහර දේවල් මතක්වෙලත් මට දැන් හිනා යනවා... 

මේ නවකතාව ඇතුළේ ඔයා කැමති විශේෂ චරිතය ඉන්න ඇතිනේ.. ?
මේ කතාවේ ඉන්න සියලුම චරිත මට විශේෂයි.. ඉස්සර රජ කාලේ රාජකාරි ක්‍රමය යටතේ හැදිලා තිබුණා රෙදි හෝදන කුලයක්. අන්න ඒ කුලය තමයි ප්‍රධාන වශයෙන් මේ කතාවට මුල් වෙන්නෙ... මේ නවකතාවේ ඉන්නවා පොඩි කොල්ලෙක්.. අන්න ඒ චරිතයටත් මම ගොඩක්ම ආදරෙයි.. මොකද සමහර සිදුවීම් එකක් මේ පොඩි එකා මමද කියලා හිතුණු වාර මට තිබුණා. තව විශේෂ චරිතයක් තියෙනවා පොඩිනා කියලා ඇයගේ චරිතය මට ගොඩක්ම විශේෂයි.. ඒකට හේතුව මම පැහැදිලි කරන්නම්.... ඇය මහා ඛේදවාචකයකට මුහුණ දෙන කෙනෙක්. ඇය සමග කුලයෙන් උසස් පුද්ගලයෙක් සම්බන්ධයක් ඇති කරගන්නවා.. පොඩිනා ගොඩක් ඔහුට සිතින් ආදරය කරනවා.. ඒත් කවමදාවත් ඒ පුද්ගලයා පොඩිනගේ ආදරයට නිසි ගෞරවය දෙන්නෙ නෑ. කුලය බලය සහ සමාජයේ පිළිගැනීම, දනය කියන කාරණාවලට ඔහු යටවෙලා ඉන්නෙ.. පොඩිනා කරන්නෙ කිසිම ඵලක් නැති දෙයක් කියලා කියවන අපිටත් තේරෙනවා.. ඒත් එක මොහොතකදී පොඩිනා උපක්‍රමයක් හොයනවා තමන්ගෙම පරිසරය ඇතුළෙම තමන්ගේ ආදරය රැකගන්න.. පොඩිනා තමන්ගේ ආදරය හොයාගෙන යනවා. ඒ වෙලාවේ කියවන මටත් බලාපොරොත්තුවක් ඇතිවෙනවා පොඩිනා තමන්ගේ ආදරය ජයගනී කියලා.. ඒ සිදුවීම රචකයා හරිම ලස්සනට ගොඩනගනවා... මොකද සෑහෙන කාලෙකින් තමයි ඒ පුද්ගලයටත් පොඩිනව මුණගැහෙන්නෙ.. හරිම ශෝක්නෙ මේ දෙන්නා මුණගැහුණම කියන තැනට මේ කතාව මස්ඉඹුල අරගෙන එනවා.. අපිටත් හිතාගන්න බැරි ඛේදවාචකයකට තමයි ඒ මනුස්සයා පොඩිනව තල්ලු කරන්නෙ.. ඒක මගේ හිත පුදුම විදියට කම්පනය කෙරුවා...  ෆිල්ම් එකක රෑපරාමු වගේ මේ සිදුවීම මගේ හිතේ ඇඳුණා... 

මේ නිර්මාණය ඔබට බලන්න කිව්වෙ කවුද? 
නෑ.. මට විශේෂ කෙනෙක් කිව්වේ නෑ මේක බලන්න කියලා.. මේ පොත ඉතා ජනප්‍රිය වෙච්ච කාලයක් තිබුණා.  කට්ටිය රැල්ලක් වගේ මේ පොත කියෙව්වා.. මටත් ආස හිතුණා මේ පොත කියවල බලන්න... ඒක නිසා මම මේ පොත කඩේකින් මිලදී ගත්තා.. 

මෙච්චරම ආසකරන පොත කීවතාවක් දැනට කියවලා තියෙනවා..
මෙහෙම දෙයක් තියෙනවා හැබැයි.. කොච්චර ආස කළත් මම ඕනම නිර්මාණයක් බලන්නෙ එකපාරයි... ඒ මගේ හැටි... 

‍සෙංකොට්ටං කෘතිය තුළින් සමාජයේ ඉන්න මිනිස්සුන්ට මොනවගේ බලපෑමක් කරන්න පුළුවන් වුණා කියලද ධර්මප්‍රිය ඩයස් හිතන්නෙ..?
මෙහෙමයි... සමහර මිනිස්සුන්ට තමන්ට වෙලා තියෙන දේ, සිද්ධ වෙමින් පවතින දේ එහෙම නැත්නම් තමන් වැටිලා ඉන්න තැන ගැන ලොකු අවබෝධයක් නෑ. ඔහේ ජීවත්වෙනවා ලැබෙන දෙයක් කාලා බීලා.. මේක ලබා උපන් හැටි කියලා හිතනවා.. මේක ලබා උපන් හැටි නෙමේ. මෙතන වෙනස් දෙයක් තියෙනවා කියලා ඒ හිතන මිනිස්සුන්ට හිතන්න මේ පොත සෑහෙන්න උපකාරී වෙනවා.. ලබා උපන් හැටි කියන මතය හදලා තියෙන්නෙත් අපිව පීඩාවට පත්කරන, බලය, ධනය තියෙන කුලයෙන් උසස් කියලා හිතන් ඉන්න අයම තමයි..  ඒක ඒ අය හදලා තියෙන්නෙ ඒ අයගේ වාසියටමයි.. මේ පොත තුළින් ඒ මතය බිඳලා, කුඩුකරලා දානවා..

හරි අන්තිම ප්‍රශ්නය... මේ පොතේ අවසානයේ ඔයාට මොනවගේ හැඟීමක්ද හිතට ආවේ...
ඇත්තටම වෛරයක්.. මේ අසරණ මිනිස්සුන්ව පාගගෙන ඉන්න මිනිස්සු ගැන තරහක් තමා ඇති වුණේ.. අතීතය ගැන, අපේ ජාතිය ගැන මහා දේවල් ඔළුවේ තියන් ඉන්න සමහර අන්තවාදී මිනිස්සු ගැන කනගාටුව ඇතිවුණා.. ඒ අය හිතන් ඉන්නෙ මුළු රටේම මිනිස්සු හරිම සෞභාග්‍යයෙන්, සන්තෝසෙන් ජීවත් වුණා කියලා.. එහෙම එකක් නෑ.. එක්තරා සුළු මිනිසුන් පිරිසක් තවත් මිනිස් කොට්ඨාසයක්ව අසරණ කරලා පාගගෙන ජීවත් වෙච්ච එකයි තමයි ඇත්තටම වුණේ.. ඒ අයට යථාර්ථය අවබෝධ කරලා දෙන නවකතාවත් තමයි සෙංකොට්ටං කියන්නෙ. මේක කියවලා ඉවර වෙද්දි මට හිතුණ තව දෙයක් තමයි ඇයි මේ කෘති තුළින් තාම චිත්‍රපටයක් බිහිනොවුණේ කියලා... මම බලාගෙන ඉන්නවා මේ කතාව කවදා හරි චිත්‍රපටයකට නැගෙයි කියලා.. 

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00