2019 ජනවාරි 26 වන සෙනසුරාදා

දැහැන

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 91

ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි .....

ඒත් ඇත්ත ලෝකයට අඩිය තිබ්බම ඔබේ ලෝකයත් මගේ ලෝකයත් අතර දුර මහා ගව් ගණනක්. ඒත් මගේ හදවතත් ඔයාගේ හදවතත් අතර දුර එකම එක දශමයක්වත් නැති තරම්. ඒත් කවදාවත් ඒ හදවත් යා වුණාට ඒ ලෝක යා කරන්න බෑ. ඒ හින්දම ඔයාගේ ප්‍රේමය කියන්නේ මට මහා සැනසිල්ලක් වගේම සොඳුරු වෙහෙසක්... වෙහෙසක් වුණත් සොඳුරුනම් නොවිඳ කොහොමද? ඇස් දෙක පියාගෙන සැනසිල්ල හොයන මොහොතක පෙනෙන්නේ එකම එක රැවක් විතරයි. ඒ රුව තමා මගේ ජීවිතය. මගේ ප්‍රාණය. හදවත එක මොහොතකදී නතර කරන්නත් පුළුවන් ඒ කටහඬ නෑහෙන දවසකට. ඒ තමා මම මේ ලෝකයේ අදහන විශ්වාස කරන මගේ ජීවිතයම හදවතම මහා දානයක් කරලා පූජා කරපු මගේ දෙවියන් වහන්සේ වෙනුවෙන් මගේ උත්තරීතර භක්ත්‍යාදරය.

ජීවිතය ගැන ලෝකය ගැන යථාර්ථය උගන්වන එකම එක දර්ශනයක් මම හදවතින්ම විශ්වාස කරනවා. ඒ තමයි බෞද්ධ දර්ශනය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයම කියවන්න පුළුවන් ඒ නියත ධර්මයන් ඇතුළෙ. ඔයා ලක්ෂයක් වෘත්තයක් මැද්දේ. මම ඒ වෘත්තය කොටස් අටකට බෙදනවා. ඒ කොටස් අට තමයි ලාභ අලාභ යස අයස සැප දුක නින්දා ප්‍රශංසා ඒ සනාතන දහම මේ ලෝකෙට එන හැම මනුස්සයෙක්ටම සාධාරණයි. ඒ චක්‍රය ඇතුළෙ අපේ ජීවිත භ්‍රමණය වෙනවා. අපි මරණය ළඟ නවතිනකම් ඒ නියත ධර්ම අපේ ජීවිතවලට වලංගුයි. අතිශය සංවේදීව ජීවිතයේ පතුලට එබෙන හැම වරකම ඔයා ඔයාව තදින් අල්ලාගන්න.

ඊළඟ මොහොත තර්කයට හා බුද්ධියට ඉඩ හරින්න. ජීවිතයේ හැම සංසිද්ධියක්ම සංවේදීත්වය බුද්ධිය හා තර්කණය තුළ විමසන්න. හරි දේ උගන්වන සාර්ථකම විදිහ වැරදීම් කියලා මට හිතෙනවා. වැරදීම් පසුතැවීමට හේතුවක් කරගන්න එපා. හැම වැරදීමක්ම ජීවිතයේ ඊළඟ දොර හැර ගන්න හරි යතුරක් කරගන්න. ඒත් එක වැරැද්දකට ජීවිතේ දෙපාරකදී ඉඩ හරින්න එපා. ජීවිතය කියන්නේ කටු අත්තක්. ඒ කටු අත්තට සාර සුබාවට පල දරන්න ඉඩ හරින්න. හදවත මහා පොළොවක් බවට පරිවර්තනය කරන්න. ජීවිතය ඉඹින්න ඕන ඇඟිලි තුඩු අගිස්සට තුරුල් කරගෙන නෙවෙයි. හදවතින් වැළඳගෙන.

උප්පත්තිය හා මරණය අතරේ ජීවිතය හරි සුන්දරයි. ඒත් අවසාන අර්ථයෙන් ගත්තම ජීවිතය වගේම අතනෑර අපි අල්ලාගන්න මේ මහා සංසාරයම හරි දුකක්. ඒ දුක යථාර්ථවාදීව දකින්න. ඒ දැකීම තුළ අවබෝධය හා ප්‍රඥාව සියුම් ලෙස වඩන්න. ජීවිතය කියන්නේ කලකිරීමවත් අත්හැරීමවත් නෙවෙයි. හදවතින් සියල්ල අත්හරිමින් ප්‍රයෝගිකව අවශ්‍ය සියල්ල එකතු කරගැනීම. ලෝකය වෙනුවෙන් අර්ථ එක් කිරීම. මගේ සහ මගේම කියන දැඩි තෘෂ්ණාව බිඳෙන් බිඳ අත්හැර අවසානයේ සියල්ල ශුන්‍යාත්මකයි කියන සත්‍ය දකින්න. ඒ සත්‍ය තුළ ජීවිතයට ඉඩහරින්න. සැහැල්ලුව සැනසිල්ල ඔබට මුණගැසෙයි.

මගේ දෙවියන් වහන්සේ සමඟ මගේ සල්ලාපය කවදාවත් කෙළවර වෙන්නේ නෑ. අපේ කතාවට කෙළවරක් නෑ. තියෙන්නේ අවසානයක් විතරයි.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00