2019 ජනවාරි 26 වන සෙනසුරාදා

ආදරයක් නපුරක් හොල්මනක්

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

ආම් සොරි අහානා 
අහානා - අපිට තියෙන්නේ මේ වීක් එන්ඩ් එක විතරයි. සොරි කිය කියා ඒකත් නාස්ති කර කර ඉන්නද හදන්නේ?
අහානා කියන්නේ එක වරක් දැක්කම ආපහු හැරි හැරී බලන්න තරම් ලස්සනක් තියෙන සුදු හරිම හැඩකාර තරුණියක්. එයා ඔය කාලය නාස්ති කරගන්නද හදන්නේ කියලා අහන්නේ මුහුණ පුරා පිළිවෙලකට රැවුල මදක් වවා ඉන්න කඩවසම් තරුණයෙක්ගෙන්. මේ දෙන්නා මේ වෙද්දී ඉන්නේ නිස්කලංක නිහඬ පරිසරයක විශාල වත්තක් මැද්දේ පිහිටලා තියෙන පැරැණි රජ මාළිගයක් වගේ නිවසක. ඒ මහා නිවසේදී මේ දෙන්නා තමන්ගේ සිරුරුවලින් දෙන්නගේ ආත්මයන්හි බන්ධනය වැඩි කරගන්නවා. ඔවුන් දෙන්නා ආදරයේ අනන්තය සිරුරුවලිනුත් විඳ ගන්නවා.

අහානා - ආලෝකය තියෙනවනම් අන්ධකාරයත් තියෙනවා. සත්‍යක් තියෙනවා වගේ සිහිනයකුත් තියෙනවා. දෙවියන් ඉන්නවා වගේම යක්ෂයාත් ඉන්නවා.
නිදියගෙන ඒ හැම දෙයක්ම සිහිනයෙන් දකින ඒ කඩවසම් තරුණයට ඒ සුරෑපී තරුණියගේ මුහුණ එක් වරම යක්ෂණියකගේ මුහුණක් ලෙසින් දැකලා කෑගහගෙන නැගිටිනවා. 
අහානා.......

ශිවානී - සත්‍ය හැමදාම අපි දකින දේම වෙන්නෙ නැහැ. 
අහානා - වාව් මේකනම් හරිම ලස්සනයි.
ඔයා ඒ ආරක්ෂාවට දාලා තිබුණු යන්ත්‍රය කඩලා බිම දැම්මේ ඇයි?
අහානා - ඔයා ලොක් කරලා තියන්න තිබුණයි එහෙම කළේ.
තරුණයා - ශිවානී මට අරුම පුදුම හීන පේනවා.
හැම වෙලාවෙම මගේ අහළ පහළ කවුරු හරි ඉන්නවා වගේ දැනෙනවා.
රැවුල වවාගත්ත මනුස්සයෙක් බයෙන් කියනවා ඒ තරුණයාට - හැම දෙයක්ම කළේ එයා.

අහානා - එයා? කවුද කළේ?
මනුස්සයා - භූතයා
අහානා - භූතයෝ පේ‍්‍රතයෝ ඒ කිසි දෙයක් නැහැ 

තරුණයා - ඔයා ඇයි ඒ පනාව විසික් කළේ? ඒ ආත්මයන්වලට කතා කරන්න තිබුණු ක‍්‍රමයක්නේ 
ඔහු අහානාගේ ගෙදර තිබුණු පනාවක් විසි කරලා දාලයි එහෙම අහන්නේ. ඔහුට ඒ වෙලාවේ මතක් වෙනවා ශිවානි දුන්නු උපදෙස්.
ශිවානී - ඒ ගෙදර පරණ මතකයන් අලුත් කරන්න හදයි. යම් කිසි ආත්මයකට පළිගන්න  ඕනනම් නැත්නම් සම්පූර්ණ ආසාවක් ඉෂ්ට කරගන්න ඕනවෙලා නම් ඇවිල්ලා ඉන්නේ එයා බොහොම භයානක වෙනවා. 
මනුස්සයෙක් - මොනවා හරි දෙයක් වෙන්න හදන්නේ. බොහොම නපුරක් වෙන්නේ කියලයි මට දැනෙන්නේ.

එතකොටම ඒ තරුණයව යකඩ දම්වලින් නොපෙනෙන බලවේගයක් විසින් බැඳ දානවා. ඔහුගේ මූණ පුරා කැපුම් පහරවල් ඇතිවෙනවා. ඔහුට ශිවානී දුන්නු උපදෙස් ඒ වෙලාවෙ අහෙනවා. 
ශිවානී - අමාවක දවසේ රාත‍්‍රීයේ ඒ ආත්මයේ බලය තවත් වැඩිවෙනවා. එදාට තවත් කරදර වෙන්න පුළුවන්. 

අන්න ඒ හින්දා කාට හරි වැරැද්දක් කරලා තියෙනවනම් ඒ කෙනා දැනට මැරිලනම් ඉන්නේ ඔන්න ඔබත් බය වෙන්න ඕන. මොකද අද මේ ඔබට කියන්නේ භූෂන් පටේල් අධ්‍යක්ෂණය කරලා තියෙන එම්. ආර්. ශාහ්ජහාන් නිෂ්පාදනය කරලා තියෙන 2019 පෙබරවාරි 01 වැනිදා තිරගත වෙන අමාවස් කියන හින්දි සිනමාපටයේ කතාන්දරය කෙටියෙනුයි. අමාවස් හින්දි සිනමාපටය තිර රචනය කරලා තියෙන්නේ අපර්නා නදිග්. සප්ත ස්වරයෙන් මේ සිනමාපටය හැඩ කරලා තියෙන්නේ සන්ජීව් - දර්ශන් කියන දෙන්නා. ඔවුන් දෙන්නට අමතරව අන්කිත් තිවාරි, අභ්ජීත් වඝානී සහ අසාද් ඛානුත් මේ සිනමාපටයේ තියෙන අපූරැ අහන්න ආස හිතෙන ගීතයන් සප්ත ස්වරයෙන් හැඩ කරලා තියෙනවා. රාගිනී එම් එම් එස් 02, 1920 එවිල් රිටර්න්ස් අධ්‍යක්ෂණය කළෙත් අමාවස් හින්දි සිනමාපටය අධ්‍යක්ෂණය කළ භූෂන් පටෙල් විසින්මයි. දැන් ඔබට කියන්න හදන්නේ මේ සිනමාපටයේ අහානාගේ චරිතයට පණ පොවන ඒ හැඩකාරිය ගැනයි. 1979 ඔක්තෝම්බර් 20 වැනිදා අමෙරිකාවේ නිව්යෝර්ක්වල ක්වීන්ස්වලදී ඉපැදිලා තියෙන ඇය ඉඟියක් වගේම නිරූපණ ශිල්පිනියක් ද වෙනවා. එයා 2011 දී රංගනයෙන් එකතු වුණු පළවෙනි සිනමාපටය වන රොක්ස්ටාර් සිනමාපටය වෙනුවෙන් ඇයට ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලෙන් හොඳම නැගී එන නිළියට හිමි සම්මානයත් ලැබුණා. මෙන්න මේ සිනමාපටයන්වල ඇය තමන්ගේ දක්ෂතා පෙන්නලා තියෙනවා.

2011 Rockstar, Madras Cafe (2013), Main Tera Hero (2014), Spy (2015)  Housefull 3 (2016),

මේ සිනමාපටයේ අහානාගේ චරිතයට පණ පොවන්නේ නර්ගීස් ෆක‍්‍රී විසින් වන අතර මේ සිනමාපටයේ ප‍්‍රධාන නළුවාගේ චරිතයට පණ පොවන්නේ 1984 අගෝස්තු 07 වැනිදා ඉන්දියාවේ මහාරාශ්ට‍්‍රා ප‍්‍රාන්තයේ පූනේවලදී උපත ලද ඔහුයි. මේ වෙද්දී ඔහු නළුවෙක් වගේම ව්‍යාපාරිකයෙක් ද වෙනවා. 1998 සිට ඔහු හින්දි දමිළ තෙළිඟු සහ මළයාලම් සිනමාපටවල ද විවිධ චරිත හැඩ කරමින් තමන්ගේ දක්ෂතා පෙන්වමින් ඉන්න කෙනෙක්. ඔහු නළුවෙක් වගේම නිෂ්පාදකයෙක් ද වන අතර 2012 දී ඌර්වශී ශර්මත් එක්ක විවාහ වෙන ඔහු මේ වෙද්දී දරුවන් දෙදෙනෙක්ගේ පියෙක් ද වෙනවා. 2011 දී තිරගත වුණු අසාන් හින්දි සිනමාපටයත් ඔහු තමයි හැදුවේ. ඒ වගේම නසෘදීන් ශාහ් සහ සනී ලියෝන් රංගනයෙන් දායක වුණු 2013 තිරගත වුණු ජැක්පොට් සිනමපටයත් ඔහු හදලා රංගනයෙනයෙත් යෙදුණා. ඔහු නමින් සචින් ජේ ජෝශී. සචින් ජෝශී, නර්ගීස් ෆක්‍රීට අමතරව  විවාන් භටේනා, මෝනා සිං, අලී සාගර්, නව්නීත් කෞර් ධිලොන් කියන නළු නිළියන් පිරිසත් අමාවස් හින්දි සිනමාපටය හැඩ කරන්න එකතුවෙලා ඉන්නවා. මේ සිනමාපටයේ තියෙන අපූරූ මන බඳින ගීතවල ගී පද රචනා කරලා තියෙන්නේ සංදීප් නාත්, කුනාල් වර්මා, ඉක්කා සහ අනුරාග් භෝමියා සහ අන්කිත් තිවාරී ඒ ගී පදයන්ට පණ දෙන්න තමන්ගේ අපූරු හඬින් ඒවාට පණ පොවලා තියෙන්නේ අර්මාන් මලික්, පලක් මුච්චල්, සුක‍්‍රිතී කකර්, ඉක්කා, ජුබින් නෞටියාල්, අන්කිත් තිවාරී සහ සුනිධි චවුහාන්. බොහොම සුන්දර පරිසරයක සුන්දරත්වය අත් විඳින ගමන් ටිකක් බය වෙන්නත් ඔන්න තව වැඩි දවසක් බලාගෙන ඉන්න නැහැ කියන එක මතක් කරමින් අදට නවතින්නම්.

 

► Translation — Chandana Waravitage