2019 ජනවාරි 26 වන සෙනසුරාදා

පින්තාරු දෙව්ලිය ළඟ එනවා

 2019 ජනවාරි 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

ගයාන්ගේ තාත්තා ගැයූ ගීතයක් නැවතත් රීමේක් කරලා ගයාන් ගායනා කරනවා. කවදද ඒක අහන්න, දකින්න පුළුවන් වෙන්නෙ..?
මගේ ඒ අලුත් ගීතය මේ මස විසිපස් වැනිදා තමයි රිලීස් වුණේ. මම ඉතාලියේ තනිවුණා කියන ගීතය මගේ තාත්තගේ (ධනපාල උඩවත්ත) ගීතයක්. ඒ ගීතය පදරචනා කළෙත් සංගීතවත් කළෙත් මමයි. ඒ ගීතය මගේ තාත්තට ගැලපෙන විදිහට තමයි මම නිර්මාණය කළේ. ඒ 2014 වසරේදී. තාත්තගේ මේ ගීතයට හොඳ ප්‍රතිචාර තිබුණා. අවුරුදු හතරකට පස්සෙ මේ ගීතය මගේ ඔළුවේ මැවුණු විදිහට අලුත් කරලා ආයේ නිර්මාණය කරන්න මට හිතුණා. ඉතින් ඒ උත්සාහය සාර්ථක වුණා.

ඒ ගීතය රීමේක් කරන්න කිහිප දෙනෙක් ගයාන්ට උදව් කළා නේද..?
ඔව්.. ඒකට අපේ සංගීත කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා. අපේ සංගීත කණ්ඩායම කරන්නෙ නුවන් ගුණවර්ධනගේ පුතා වන ගයාන් ගුණවර්ධනයි මමයි එකතුවෙලා. අපි දෙන්නත් ඇතුළුව හයදෙනෙක් මේ සංගීත කණ්ඩායමේ ඉන්නවා. මේ බෑන්ඩ් එකේ නම Plus minus. ඉතින් අපි කට්ටිය එකතුවෙලා මම ඉතාලියේ තනිවුණා කියන ගීතය ආයෙමත් නිර්මාණය කළා.

ගීත ගායනා කරනවාට අමතරව ඔබ හොඳ ශබ්ද පරිපාලකයෙක්..?
ඔව්.. මේ වනවිට මම ජිප්සීස් සංගීත කණ්ඩායමේ ශබ්ද පරිපාලක විදිහට කටයුතු කරනවා. ජිප්සීස් සංගීත කණ්ඩායමේ අලුතින් ආපු බොහෝ නිර්මාණවලට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඊට අමතරව මට වෙනම ශබ්දාගාරයක් තියෙනවා. ඒකෙදී මම වෙනම ගීත පටිගත කිරීම් කරනවා. මම වෙනම සංගීත ඇකඩමියක් පවත්වාගෙන යනවා. මේ දේවලුත් එක්ක මම මගේ කටයුතු කරගෙන යනවා.

ගයාන් මම ඉතාලියේ තනිවුණා ගීතය ලියලා තාත්තට දෙද්දී තාත්තා මොකද කිව්වෙ..?
තාත්තා ඉතාලියේ ගිය වෙලාවක තමයි ඔය වචන ටික ලියාගෙන ආවේ. ඒ වචන මට එච්චර තේරුණෙත් නැහැ. ඒ නගර ගැනයි ඉතාලියේ ලස්සන ගැනයි තමයි ඒ වචනවල ලියැවිලා තිබුණේ. ඊට පස්සෙ තමයි මම ඒක ගීතයකට පෙරළුවේ. ඒ ගීතයට මම තාත්තට ගැලපෙන විදිහට සංගීතය එකතු කළා. තාත්තා ඒ ගීතයට ගොඩක් කැමති වුණා. ඉතාලියේ ඉන්න ගොඩක් කට්ටිය ඒ සින්දුවට ආස වුණා. ඒ අය හොඳ ප්‍රතිචාර ලබාදුන්නා. මට වුණත් තාත්තා හරහා ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒකෙන් ධනපාල උඩවත්තගේ පුතා ගයාන් උඩවත්ත කියලා ප්‍රේක්ෂක පිරිසක් ඇතිවුණා.

ඔබ අධ්‍යාපනය ලැබුවේ මොන පාසලේද..?
මම ඉගෙනගත්තෙ මොරටුව වේල්ස් කුමර විදුහලේ. පුංචි කාලේ ඉඳන්ම මම සංගීතයට ගොඩක් ආස කළා. ඒකට ප්‍රධාන හේතුව අපේ පවුල් පසුබිම වෙන්නත් ඇති. තාත්තා නිසා අපේ ගෙදරට නිතර නිතර කලාකරුවන් එන්න යන්න පටන් ගත්තා. හැබැයි තාත්තා අපි පුංචි කාලෙදීම අපිට නීතියක් දාලා තිබුණා. ඒ තමයි අපිට සංගීතය කරන්න තහනම් කිරීම. තාත්තා අපි පූර්ණකාලීනව සංගීතයට යොමුවෙනවට කැමති වුණේ නැහැ. තාත්තා හැමවෙලේම අපිට කිව්වෙ වෙනත් රැකියාවක් කරන ගමන් කැමතිනම් විතරක් සංගීතය කරන්න කියලා. සංගීතයෙන් විතරක් ජීවත් වෙන්න හිතන්න එපා කියලයි අපි පුංචි කාලෙදී තාත්තා කිව්වෙ. පාසල් අධ්‍යාපනයෙන් පසුව මම බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කළා. මහරගම තරැණසේවා සභාවේ රැකියාවක් කළා. ඒ රුකියාවල අත්දැකීම්වලින් පස්සෙ තමයි මම සංගීතය වැඩිදුරටත් අධ්‍යයනය කළේ. හැබැයි තාත්තා පසුකාලයේදී මම ගැන ගොඩක් සතුටු වුණා.

ගයාන්ට තව ගයාන් කෙනෙක් (ගයාන් ගුණවර්ධන) එකතු වුණානෙ.. මේ මුණගැසීම සිදුවුණේ කොහොමද..?
මුලින්ම මගේ මල්ලී තමයි ගයාන් ගුණවර්ධනගේ හොඳම යාළුවා වුණේ. තාත්තා එක්ක ඉස්සර ෂෝවලට යන්නෙ මගේ මල්ලී. තාත්තගේ ඩ්‍රයිවර් විදිහට තමයි මල්ලී යන්නෙ. ඒ දවස්වල මම රැකියාවක් කරනවනෙ. ඒ දවස්වල මල්ලි A/L ඉවරවුණු ගමන් නිසා තාත්තගේ තනියට ගියා. ඒ කාලෙදී නුවන් අංකල්ව ෂෝවලට එක්කගෙන එන්නෙ ගයාන්. ඉතින් මගේ මල්ලියි ගයානුයි හොඳම යාළුවෝ වුණා. ඊට පස්සෙ වැඩසටහන් දෙක තුනකට ගිහින් අපි දෙන්නත් මුණගැහුණා. ඒ වෙද්දී මට මගේම කියලා ශබ්දාගාරයක් තිබුණේ නැහැ. මට ලැබෙන සින්දු මම ගයාන්ගේ ශබ්දාගාරයේ දාලා තමයි කළේ. ඊට පස්සෙ අපි හොඳ යාළුවෝ වුණා. ඊට පස්සෙ තමයි අපි අපේ අලුත් බෑන්ඩ් එක පටන් ගත්තෙ.

Plus minus බෑන්ඩ් එකට ලැබෙන ඉල්ලුම කොහොමද..?
අපි එළිමහන් ප්‍රසංගවලට වැඩිය සහභාගි වෙන්නෙ නැහැ. වෙඩින්, බර්ත් ඩේ පාටි වගේ උත්සවවලට තමයි අපි වැඩිපුරම සහභාගි වෙන්නෙ. බෑන්ඩ් එකක් විදිහට අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි බෑන්ඩ් එකක් විදිහට රූකාන්ත ගුණතිලක මහතා ඇතුළු බොහෝ කලාකරුවන්ට කලාකාරියන්ට සංගීත කණ්ඩායමක් විදිහට සංගීතය සපයලා තියෙනවා. ඒ නිසා ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපේ බෑන්ඩ් එක හොඳ තැනක තියෙනවා කියලා අපිට හිතෙනවා. ලැබෙන වැඩ ගැන වුණත් අපි සතුටුයි.

මම ඉතාලියේ තනිවුණා ගීතයට අමතරව තව නිර්මාණ කරන්න බලාපොරොත්තුවක් තියෙනවද..?
ඔව්.. තව මගේ පින්තාරු දෙව්ලිය කියලා ගීතයක් ඉදිරියේදී එන්න තියෙනවා. මේ ගීතය හදන්න අරගෙන අවුරුදු තුනක් විතර වෙනවා. ඒ වගේම ඒගොල්ලො කියපු සින්දු කියලා බයිලා සින්දුවකුත් ඉදිරියේදී අපේ බෑන්ඩ් එකේ ඇල්බම් එකත් එක්ක අහන්න, දකින්න පුළුවන් වේවි. 

 

► Text - Dishani   /   Pic - Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00