දුවයි පුතාලා දෙන්නයි එකම දවසේ විවාහ වුණා. දැන් නිදහස්ද?
නැහැ. දෙමවුපියන්ට කවදාවත්ම දරුවන්ගෙන් නිදහසක් නැහැ. මම ඒ අයගෙන් එහෙම නිදහසක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒ අය අපෙන් නිදහස් වෙන එක අපිට එහෙම සතුටක් නෙවෙයි.
එකම දවසේ දරුවෝ තුන්දෙනාගේම විවාහය සිදුකරමු කියන අදහස ඔබේ. ඒ අදහස හැබෑ වුණ දවස ආයෙත් මතක් කළොත්?
මම මගේ ජීවිත කාලයට වෙඩින් කීයකට සහභාගී වෙලා ඇත්ද? මම දැක්ක ආකර්ෂණීයම විවාහ උත්සවය තමයි මේක. එකම දවසේ තුන්දෙනෙක් විවාහ වීම හරි සුවිශේෂියිනේ.
එහෙම ආකර්ෂණීයම විවාහ උත්සවය ඔබේ දරුවන්ගේ වීම ආඩම්බරයක් නේද?
ඔව්.. ඔව්... ඒ ආකර්ෂණීයම උත්සවය මගේ දරුවන්ගේ වීම ගැන ඇත්තටම මට තියෙන්නේ අහිංසක ආඩම්බරයක්. මම එදා හරිම සතුටක් ලැබුවා. ඒක ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්. අදටත් මට ඒක විස්තර කරන්න අමාරුයි. මට වෙලාවකට හිතෙනවා මේ ඇත්තටම හීනයක්දෝ කියලත්. ඒ තරමටම ඒ දවසට මම හරිම ආදරෙයි. මව්පියන්ට බලාපොරොත්තු කියන දේවල් ඉවරයක් නැහැ. මව්පියන් විදිහට අපිටත් ඒ බලාපොරොත්තු අපේ දරුවන් ගැන තියෙනවා. ඒ දරුවන්ගේ විවාහය ලස්සනට කරන බලාපොරොත්තුවත් අපිට තිබුණා. අද ඒ බලාපොරොත්තුව හරි අපූරුවට ඉෂ්ඨ වුණා. ඉතින් ඒ ගැන තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්.
එක දරුවෙක්ගේ විවාහ උත්සවයට අම්මා තාත්තා හරිම කාර්යබහුලයි. දරුවන් තුන්දෙනෙක්ගේ විවාහ උත්සවය වෙනුවෙන් මේ අම්මා කොච්චර කාර්යබහුල වෙන්න ඇත්ද?
ඇත්තටම ඒ දවස්වල අපිට ලොකු පීඩනයක් තිබුණා. හැබැයි අපේ දරුවෝ හය දනාම ඒ අයගේ වැඩ කරගන්න මටයි ජැක්සන්ටයි ලොකු සහයෝගයක් දුන්නා. ඒ වගේම අපේ පවුලට එකතු වුණ දරුවන් තුන්දෙනාගේ පවුලේ අයද ඒකට ලොකු සහයෝගයක් දුන්නා. චාරිත්‍ර වාරිත්‍ර එකම වෙලාවක කරද්දී ඒක හිතට ලොකු තිගැස්මක්. පෝරුව ළඟ අම්මා ඉන්න ඕනෙනේ. ඒ වෙලාවෙ දරුවො තුන්දෙනා ගාවම අපි ඉන්න ඕනෙනේ. අපිට හොඳ Wedding planer කෙනෙක් හිටියා. ඔහුගෙන් අපිට ලොකු සහයෝගයක් ලැබුණා. ඒ අය අපිත් එක්ක සාකච්ඡා වට කිහිපයක් පවත්වමින් ඒ දේවල් ප්ලෑන් කළා. එක්කෙනෙක්ගේ වෙඩින් එකක් කරනවට වඩා ඒක ලොකු තිගැස්මක් ඇතිකරපු දවසක්. හැබැයි ඒ වෙනුවෙන් හොඳ සැලසුමක් තිබුණා. ඒ හොඳ සැලසුමට අනුව තමයි ඒ වැඩ ටික කෙරුණේ. සියල්ල සැලසුම් කරලා තිබුණත් ඇත්තචටම ඒ මොහොතේ හිටියේ සෑහෙන දෙගිඩියාවකින්. හැබැයි ඒ හැම දෙයක්ම හරි අපූරුවට වෙලාවට සිද්ධ වුණා.
කාගෙ අතේද හරි ඔරලෝසුව තිබුණේ?
අපි හැමෝගෙම අතේ හරිම වෙලාව තිබුණා. කොහොමත් එදා අපි හැමෝම ඔරලෝසුවලයි, අපේ ෆෝන්වලයි හරි වෙලාව දාගෙනයි හිටියේ. ඉතින් ඒ වෙලාවට අපි හැමෝගෙම වැඩේ ඉතින් අතේ තියෙන ෆෝනුයි, අතේ බැඳපු ඔරලෝසුයි බල බලා වෙලාව කියන එකයි.
මෙච්චර ලොකු පිරිසක් එක්ක තුන්ගොල්ලන්ටම කතා කරන්න වෙලාව තිබුණද?
ඇත්ත.. අපේ දරුවන්ගේ වෙඩින් එකේ පිරිස වැඩිවීම නිසා ඒ දේ පොඩ්ඩක් මඟහැරුණා තමයි. පාර්ශව දෙකක් හිටියනම් උත්සවය අතරමැදදි මේස ගාණේ ගිහින් අනිත් කෙනාට හඳුන්වා දෙන්න පුළුවන් තමයි. මේ උත්සවයේදී ඒ වැඩේ කරන්න අපිට වෙලාවක් තිබ්බේ නෑ. පළවෙනි දවසේනම් දුවලට ලොකු ගවුම් ඇඳගෙන එහාට මෙහාට යන්නත් චුට්ටක් අමාරුයිනේ. දෙවැනි දවසේ කට්ටිය වැඩි නිසා ඒකත් මඟහැරුණා. හැබැයි ආපු හැමෝම පුතාලා දුවලා ළඟට ගිහින් කතා කළා. විෂ් කළා. මායි ජැක්සනුයි ඒ ආපු හැමෝ ගාවටම ගිහින් කතා කළා. ඇත්තටම එදා ඉතින් අපිට හරිම කාර්යබහුල දවසක් තමයි.
දුව මනමාලියක් විදිහට, පුතාලා දෙන්නා මනමාලයන් විදිහට ඇඳලා ඉන්නවා දකිද්දි මේ අම්මට මොකද හිතුණේ?
අම්මෝ..... හරිම සතුටක් දැනුණා. ඒක වචනවලට පෙරලන්න මට තේරෙන්නේ නැහැ. මට ඒ තුන්දෙනාගේ මුහුණුවලින් ඒ තුන්දෙනාගේ ළමා කාලය මතක් වුණා. පුංචි කාලේ එකට සෙල්ලම් කරපු අක්කා මලෝ තුන්දෙනා එහෙම ලස්සනට ඇඳලා ඉද්දි මොන අම්මද සතුටු නැත්තේ? ඒකම තමයි අපි අපේ සින්දුවත් කිව්වේ. ඒ ගීතයේ එක තැනක මේ තරම් ඉක්මනට කොහොමද - අපේ තරමට ලොකු වුණේ - කියනවද පොඩි පැටවුණේ මට - එදා ළඟ හුරතල් වුණේ - මෙදා මට සම වී පෙනේ
(අදටත් කුමාරිට ඒ ගීතය ගයද්දි ඇස්වලට කඳුළු පැමිණි නිසා ගීතය අතරමඟ නතර කළා)
පුතාලා දෙන්නයි ජැක්සනුයි එකට ඉදිද්දි මොකද හිතුණේ?
චූටි පුතා අප්පච්චි වගේම රුවුල වවලා හිටියා. හැබැයි ඉතින් චූටි පුතාගේ පෙනුමනම් ටිකක් මම වගේ නේද? (පුතාලට අම්මගේ ආදරේ ඒ වගේ) මට ඉතින් ජැක්සන්ගේ තරුණ කාලේ මතක් වුණා. අද ඉතින් අපි දීග ගියපු දරුවන්ගේ අම්මයි තාත්තායි. ඒ හැඟීම හරිම ආදරණීයයි.
දුව පුතාලා විතරක් නෙවෙයි අම්මයි, තාත්තයිත් හරි ලස්සනට හිටියා.
බොහොම ස්තූතියි එහෙම කිව්වට. ජැක්සන්ගේ ඇඳුම් ඩිසයින් කළේ වීල්ස් එකේ නාමල් බාලචන්ද්‍රයි. පළවෙනි දවසේ මගේ ඇඳුම මට ඕන විදිහට මම හදාගත්තා. දෙවැනි දවසේ මගේ ඇඳුම්, හැඩවීම් හැමදෙයක්ම මම කළේ මගේ දුවට ඕන විදිහටයි. දුව තමයි ඒ සාරිය අරන් දුන්නේ. මම කොණ්ඩ විලාසිතා දාන්න කොහොමත් ආස නෑනේ. ඔසරිය ඇන්දොත් කොණ්ඩෙ බැඳගෙන යනවා. සාරිය ඇන්දොත් ගොතාගෙන යනවා. ඕකනෙ මගේ ස්ටයිල් එක. ඉතින් දෙවැනි දවසේ දුවට ඕන විදිහට තමයි මම මගේ ඇඳුම්, පැළඳුම්, විලාසිත ටික කළේ.
විවාහ උත්සවයේ තිබුණු තවත් සුවිශේෂී සිදුවීම් මොනවද?
එතනට ගියාම ඉතින් හැමදෙයක්ම සුවිශේෂී වුණා. ඒ හැම දෙයක්ම හරිම ලස්සනට සිදු කෙරුණා. අපි කවදාවත් පෝරැ තුනක් එකදිගට තියෙනවා දැකලා නැහැනේ. මනාල යුවල වාඩිවෙලා අසුන් තුනක් එක දිගට තියෙනවා දැකලා තිබුණේ නැහැනේ. ඉතින් විවාහ උත්සවයට ආපු හැමෝම ගොඩක් සතුටු වුණා. ඒක විශේෂ දවසක් වුණා.
දරුවන් තුන්දෙනා ගෙදරින් පිටවෙලා ඒ ගෙදර තනිවුණ මුල්ම දවසේ මොකද හිතුණේ?
මෙහෙමයි. අපේ ගෙදර මෑතකදී හැමෝම කවදාවත් එකට ඉඳලා නෑ. කවුරු කවුරුහරි වැඩ දාගෙන හිටියේ. ඒ දවසෙත් එහෙම ලොකු විශේෂයක් දැනුණේ නැහැ. දරුවෝ තුන්දෙනා විවාහ වුණා කියලා දුකක් මගේ හිතට දැනුණෙ නෑ. ඒ දරුවන්ගේ සතුට. ඒ දරුවන්ගේ අනාගතය. අපි හැමවෙලේම දරුවන්ගේ සතුට ගැන හිතලයි සතුටු වුණේ.
දැන් ඉතින් මේ දරුවන්ගේ පදිංචියත් වෙනස් වෙයි නේද?
මාධවී දුව විවාහ වුණ මිලාන් පුතාගේ බටුවත්ත ගෙදරට පදිංචියට යනවා. හැබැයි ඉතින් බටුවත්ත කියන්නේ අපිට විනාඩි දහයේ දුරක්. මම ඉතින් බලන්න ආස වෙච්චි ගමන් එහෙ යනවා. එහෙම නැත්නම් ඒ දෙන්නත් අපේ ගෙදර එනවා. චූටි පුතා විවාහ වුණු දුවට බත්තරමුල්ලේ ගෙයක් තියෙනවා. ඒ නිසා ඒ දෙන්නා එහේ පදිංචි වුණා. අකිල පුතා තමයි දැන් ගෙදර අපිත් එක්ක ඉන්නේ.
සජිත් ළඟදිම විදෙස්ගත වෙනවා නේද?
ඔව්... චූටි පුතාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා එයාලා විදෙස්ගත වෙන්න සූදානම් වෙනවා. ඒ නිසා තමයි මේ විවාහ උත්සවය ඉක්මන් කෙරැණේ. ඉතින් වැඩිපුර අධ්‍යාපනයට ඒ අය ළඟදිම විදෙස්ගත වේවි. අපි ඒ අයට කියලා තියෙන්නේ ඔයාලා රට යන්න ඕනේ. ගිහිල්ලා ඉගෙනගන්න ඕනේ. හැබැයි ඉගෙනගන්න දෙයින් තමුන්ගේ රටට සේවයක් කරන්න ඕනේ කියලයි.
දරුවන්ගේ විවාහය අවසන් වුණ ගමන් කුමාරි වත්තට ආවේ ඇයි?
අනේ... මම ගහකොළට හරි ආදරෙයි. මම ගණේමුල්ල වත්තෙයි, දඹුල්ලේ වත්තෙයි පළතුරු, එළවළු වවලා තියෙනවා. පහුගිය දවස්වල මේ වැඩත් එක්ක ඒවට සාත්තු කරන්න මට බැරි වුණා. මේ අව්වට ගස්කොළං මැලවිලා. මට දුකේ බෑ. මම ඒවට සාත්තු කරන්න ආවා.
► Text - Dishani