2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා

හොඳ ටෙලියක් කරන්න ලාබෙට බැහැ

 2019 පෙබරවාරි 02 වන සෙනසුරාදා, ප.ව. 12:30 98

ඒකාකාරී ටෙලිනාට්‍යවලින් මේ රටේ ප්‍රේක්ෂක ජනතාව හෙම්බත් වී සිටි අවදියක තමයි සකූගේ කතාව විකාශය වෙන්න පටන් ගත්තේ. සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් ජාතීන් ද, විශේෂයෙන් කුඩා ළමුන් ද සකූගේ කතාවට දැඩි ලෙස ඇලුම් කිරීම ගැන මම ඇත්තෙන්ම සතුටු වෙනවා. මේක මගේ මුල්ම ටෙලි නාට්‍ය නිර්මාණයනේ. මීට කළින් මම නිර්මාණය කළ ආදරණීය කතාවක්, දේදුණු වැස්ස වගේ චිත්‍රපට සාර්ථක වුණෙත් ඒ සදහා මා උපයෝගී කළ විචිත්‍රත්වය නිසයි. සකූගේ කතාව සාර්ථක වෙන්නත් ඒ සිනමාරූපී බව, සංගීතමය බව හා විචිත්‍රත්වය ඉවහල් වෙලා තිබෙනවා. සකූගේ කතාවට එකතු වෙලා ඉන්න සෑම ශිල්පියෙක්, ශිල්පිනියක්ම, කාර්මික ශිල්පියෙක්ම, අපි හැමෝම වැඩ කරන්නේ එක පවුලක් වගේ සහෝදරත්වයෙන් හා අනෝන්‍ය අවබෝධයකින්. ඒ  හැමෝගෙම කැපවීම නිසයි අද ලංකාවේ අංක එකට අපි පත්වෙලා ඉන්නේ

ප්‍රියන්ත කොළඹගේ කතාව පටන්ගත්තේ එහෙමයි.

මෙහි සාර්ථකත්වයට බලපෑ අනෙකුත් කාරණා ගැන කිව්වොත්...
එකක් මේකෙ තියෙන සංගීතමය පැත්ත. අනික මේ කතාව තුළින් අපි කතා කරන්නේ පවුලක හා සාමාන්‍ය මිනිසුන්ගේ බැඳීම් ගැන. මේ මානුෂීය බැඳීම් ගැන අපි කතා කරන්නේ දේශීය දෘෂ්ඨි කෝණයකින්, අපේකම රැක ගනිමින්. මේ රටේ මිනිස්සු ඇබ්බැහි වෙලා හිටියේ ඉන්දියානු, කොරියානු ටෙලි නාට්‍ය හරහා අපේ ඔළු ගෙඩිවලට දාපු ඒ රටේ මිනිස්සුන්ගේ සංස්කෘති, ඒ අයගේ ජීවන රටා, ඒ අයගේ පවුල්වල බැඳීම්වලට. අපි ඒක සම්පූර්ණයෙන් කනපිට හරවලා සුවිශාල වෙනසක් ඇති කළා.

මෙතෙක් කල් අපට ඒ වෙනස දකින්න නොලැබුණේ ඇයි?
විවිධ හේතු තියෙන්නට ඇති. ඒත් මා දකින එක හේතුවක් තියෙනවා. මේ විපර්යාසයට ආසන්නම හේතුව ඒක වෙන්න පුළුවන්. හොඳ නිර්මාණයක් ලාබෙට කරන්න බැහැ. ඒ වෙනුවෙන් ලොකු පිරිවැයක් දරන්නට සිදු වෙනවා. ඒත් මට අවශ්‍ය සහයෝගය ලැබෙද්දී මට විශ්වාසයක් තිබුණා මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඒත් ගුණාත්මක නිර්මාණයක් හොඳ බජට් එකක් තිබිය යුතුයි. සකූගේ කතාවෙන් අපි ඒ අභියෝගය ජය ගත්තා. මේ ටෙලි නාට්‍ය වෙනුවෙන් අපට ගෙවූ වැඩි මුදලට අපි සාධාරණයක් ඉටු කළා කියලා මට හිතෙනවා. ඒ සාර්ථකත්වය නිසාම මට වෙනත් නාළිකා දෙකකින් ආරාධනා ලැබුණා මෙවැනි ලස්සන නිර්මාණ කරන්න. අපේ රටේ දක්ෂ නිර්මාණවේදින් ඉන්නවා. ඒත් ඒ අයට හොඳ නිර්මාණයක් කරන්න නිසි පහසුකම්, විශේෂයෙන් පිරිවැය ලැබෙන්නේ නැහැ. විදෙස් ටෙලි නාට්‍ය බලෙන් මිනිස්සුන්ට පෙන්වන නාළිකාවලට මේක හොඳ ආදර්ශයක්.

හොඳ නිර්මාණයක් අවශ්‍යනම් හොඳට ගෙවන්න, වැඩි මුදලක් ගෙවා ලබා ගන්නා නිර්මාණවලට වැඩි දැන්වීම් ප්‍රමාණයක් ලබා ගන්නට නාළිකාවලට හැකි වෙනවා. ඇතැම් පිරිස් සකූගේ කතාව පිටරටක කොපියක් කියලා පෙන්නන්න උත්සාහ කළා. ඒත් අවසානයේදී ඒ සියලු උත්සාහයන් පරාජය වුණා. සකූගේ කතාව අපේම කතාවක් කියන එක මුළු රටම දැන් දැනගෙන ඉවරයි.

නාළිකාවලින් වැඩි මුදලක් ලබාදී මිළදී ගන්නා හැම නිර්මාණයක්ම සාර්ථක වෙනවා කියලද ඔබ කියන්නේ?
මම කියන්නේ මේකයි. නාළිකාවකට අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ ප්‍රේක්ෂක පිරිසට හොඳ, ගුණාත්මක බවින් පිරිපුන් නිර්මාණයක් ලබා දෙන්න, ඒ සඳහා ඒගොල්ලන්ට වැඩි මුදලක් ගෙවන්න වෙනවා. මොකද අඩු මුදලට කොලිටි දෙවල් ලැබෙන්නේ නැහැ. ඒත් අනිත් පැත්තෙන් නිර්මාණවේදියාට වගකීමක් තියෙනවා ඒ විශ්වාසය කඩ නොකර හොඳ නිර්මාණයක් කරන්න.

සකූගේ කතාවට මම ගොඩක් මහන්සි වෙලා තෝරාගත්තේ හොඳම, ලස්සනම දර්ශන තල. සකූගේ නිවසට අපි තෝරගත්තේ කුරුණෑගල බතලගොඩ වැව ආශ්‍රිත ගමක්. ඒ වගේ තැන් අපට ළඟ පාතකින් හොයාගන්නත් තිබුණා. ඒත් ඒ තරම් දුර ගියේ කතාවේ අලංකාරය, චමත්කාරය වැඩි කරන්න. අපි මැණික් පතල හැටියට බලංගොඩ පැත්තෙන් දර්ශන තලයක් හොයාගත්තා. මේවට වියදම් යනවා. නමුත් වැඩේ ලස්සන වෙනවා.

ආදරණීය කතාවක්, දේදුණු ආකාසේ වැනි හදවතට ආමන්ත්‍රණය කළ ආකර්ෂණීය නිර්මාණ හදපු ඔබට ටෙලි නිර්මාණයක් හදන එක පහසු වුණාද?
ටෙලි නාට්‍යයක් හදන එක ලේසි නැහැ චිත්‍රපට හදනවා වගේ. ඒත් මුලු රටේම ජනතාව ජාති ආගම් භේදයකින් තොරව නරඹන ටෙලි නාට්‍යයක් හැදුවම දැනෙන තෘප්තිය වචනවලින් විස්තර කරන්න බැහැ. හොඳ නිර්මාණයක් හදනවා කියන්නේ භාවනාවක් වගේ.

අනික අපි රූපගත කරන තැන්වලට සකූගේ කතාව නරඹන ප්‍රේක්ෂක පිරිස් අපි හම්බවෙන්න අපිත් එක්ක කතාබහ කරන්න එනවා. සමහරු කෑම බීම හදාගෙනත් එනවා. ඒ සුහදත්වයට අපිත් හරි කැමතියි. අපේ දේශීය ටෙලි නාට්‍ය කලාවේ අභිවෘද්ධියට මෙය හොඳ අත්තිවාරමක් වෙනවාට කිසිම සැකයක් නැහැ.

 

► Text — Ramesh Uvais

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00