The courage’s heart of Irena Sendler කියන්නෙ 2009 හදපු රෑපවාහිනී චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ජෝන් කෙන්ට් හැරිසන් කියන අධ්‍යක්ෂකවරයා. මේ චිත්‍රපටය අමෙරිකාවේ හා පෝලන්තයේ සම නිෂ්පාදනයක්. මේක දෙවැනි ලෝක යුද්ධය කාලෙ සිදුවුණු සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි හදලා තියෙන්නෙ. ඒ සඳහා පාදක කරගෙන තියෙන්නෙ 2007 ලියවුණු චරිතාපදානයක් වන The mother of the Holocaust children by Anna Mileszkwska. ඉරිනා සෙන්ඩ්ලර්ගේ සමාජ සද්කාර්යය මේකෙන් විස්තර කරලා තියෙනවා. ඉරිනා දෙවැනි ලෝක යුද්ධයේදී දළ වශයෙන් යුදෙව් ළමුන් 2500ක් විතර ආරක්ෂා කරලා තියෙනවා. මේ චිත්‍රපටයේ DVD තැටි ලංකාවෙන්ද අපට මිලදී ගන්න පුළුවන්.
ඉරිනා කුඩා කාලයේ ඉඳලා යුදෙව් ළමුන්ට විශාල කරැණාවක්, සානුකම්පිත බවක් දක්වනවා. භෞතික චිකිත්සකයෙක් වුණු ඉරිනාගේ පියා මියයන්නෙ typhus කියන රෝගයෙන්. ඊට පෙර ඔහු යුදෙව් රෝගීන් විශාල සංඛ්‍යාවකට ප්‍රතිකාර කරමින් ඉඳලා තියෙනවා.
ප්‍රථම වතාවට ඉරිනා යුදෙව්වන් මරන්නට නියමවුණු, හිට්ලර්ගේ වධකාගාරයක් වන බෝර්සෝ නගරයේ ගේටෝ වධකාගාරයෙන් යුදෙව් ළමුන් බේරාගැනීමේ යෝජනාව ඉදිරිපත් කළ විගස බොහෝ දෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරනවා, එහෙම අවදානමක් ගන්න බැරි නිසා.
කෙසේ හෝ ඉරිනා සෙන්ඩ්ලර් සාත්තු සේවිකාවක් ලෙස වෙස් වලාගෙන යුදෙව්වන් හුදෙකලා කරලා තියෙන ප්‍රදේශයට ඇතුළු වෙනවා. හිට්ලර් විසින් යුදෙව්වන් හිරකරලා ගාල් කරලා තිබුණේ ඇයි කියලා අද වෙනකොට හැම කෙනෙක්ම දන්නවා. ඉරිනා යුදෙව් දරුවන්ගේ මව්පියන්ට පොරොන්දු වෙනවා, දරුවන් ආරක්ෂා කරගෙන මෙතැනින් එළියට අරන් ගිහිල්ලා යුද්ධය ඉවර වුණාට පස්සෙ මව්පියන්ට බාරදෙනවා කියලා. එහෙම හොරෙන් ගෙනියන දරුවන් කොහෙටද ගෙනියන්නෙ කියලා සඳහනක් කොහේ හරි තියෙනවා කියලත් ඉරිනා යුදෙව් මව්පියන්ට පොරොන්දු වෙනවා.
නමුත් ඒ මව්පියන් තමන්ගෙන් දරුවන්ගේ වෙන්වීම මෙන්ම ඔවුන් තම ආගමික සම්ප්‍රදාය, සිරිත්, විශ්වාසයන්වලින් තොරව වර්ධනය වෙනු ඇතැයි සිතමින් වැළපෙනවා. නමුත් ඉරිනා කියනවා, මේක දරුවන් ජීවතුන් අතර තබන්න කරන කැපකිරීමක් කියලා.
මේ අතර ඉරිනාගේ මේ වැඩවලට උදව් කරන්න ස්ටෙෆාන් කියලා තව යාළුවෙක් මෙයාට එකතු වෙනවා. එයා විශ්වවිද්‍යාල සගයෙක් වගේම යුදෙව් ජාතිකයෙක්. ස්ටෙෆාන්ට ගේටෝ වධකාගාරය ගැන හොඳ දැනුමක්, අවබෝධයක් තියෙනවා. මේ දැනුම උපයෝගී කරගෙන මේ දෙන්නා සැලසුම් කරනවා, දරුවන් මෙතැනින් එළියට ගැනීමේ උපාය උපක්‍රම සකස් කරන්න. ඇතැම් දරුවන් විල්බැරෝ යට පෙට්ටිවල සඟවාගෙන එළියට ගේනවා. ඇතැම් දරුවන් එළියට ගේන්නෙ කසළ කාණුව හරහා. ඇතැම් දරුවන් වධකාගාරයේ ප්‍රධාන ශාලාව හරහා අතින් අත යවමින් එළියට ගේනවා.
කෙසේ වුවද අවසානයේ ඉරිනා හිට්ලර්ගේ කුප්‍රකට ගෙස්ටපෝ බලකාය විසින් අල්වාගෙන වධ බන්ධනවලට යොමුකරනවා. එහිදී ඇයව දැඩි සේ ප්‍රශ්න කිරීම්වලට ලක් කරනවා. නමුත් ඇය කිසිම විදිහකින් කියන්නෙ නැහැ, ඇයට කවුද උදව් කළේ කියලා මේ වැඩේ කරන්න. ඒ අනුව ඇයව වෙඩිතබා මැරීමට නියම වුණත් අල්ලස් ලබාගන්න නිලධාරියෙකුගේ ක්‍රියාවෙන් නිදහස් කරනු ලබනවා. නිදහස් වෙන ඇය සිය රෝගී මව බලන්න ගිහිල්ලා පසුව දුර ඈත ගොවිපොළකට යනවා ස්ටෙෆාන්ව හම්බවෙන්න.
චිත්‍රපටය අවසානයේදී අපට පේනවා ඉරිනා, ස්ටෙෆාන් සමඟින් විවාහ වෙනවා වගේම 2007දී ඇයට නොබෙල් සාම ත්‍යාගය හම්බවෙනවා කියන එක. එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී ඇය සිය උත්සාහය හෙළිකරනවා. එතැනදී ඇය අමතක කරන්නෙ නැහැ, දරුවන්ගේ මව්පියන් ඔවුන්ගෙන් සිය දරුවන් වෙන්කරන්නට කැමැත්ත පළකිරීම සහ ඒ දරුවන් බාරගෙන හදාවඩාගත් නව මව්පියන් ගැන හෙළිකරන්න.
ඒ දරුවන් බාරදෙනු ලබන්නෙ යුදෙව් නොවන මව්පියන්ට. ළමුන්ගේ සැබෑ මව්පියන් යුද්ධයේ වැලිතලාවෙන් වැහිලා යනවා, ඉතා ඛේදජනක විදිහට. ඇතැම් දරැවන් කන්‍යාරාම වෙත යවනු ලබනවා.
හිට්ලර්ගේ වධකාගාරවල අමු අමුවේ ලක්ෂ ගණන් යුදෙව්වන් ඇතුළු තවත් ජාතීන් දැඩි වධ බන්ධනවලට ගොදුරැවෙලා අඟුරු බවට පත්වෙනවා. හිට්ලර්ගේ නාසිවාදය හා දෙවැනි ලෝක යුද්ධයේ කුරිරු බව ගැන ඇති තරම් සිනමා නිර්මාණ බිහිවෙනවා.
යුද්ධයකදී මිනිසුන්ගේ මිනිස්කම් තියුණු ලෙස මතුවීම අපට මේ හැම කලා කෘතියකින්ම දකින්න පුළුවන්. යුද්ධයක් වගේ අතිශය තීරණාත්මක අවස්ථාවක මිනිසුන්ගේ හදවතේ තැන්පත් වූ හැඟීම් මිණිකැට මේ වගේ විවිධාකාර සිදුවීම්වලින් එළියට එන බව මේ චිත්‍රපටය අපට කියලා දෙනවා.
ලාංකිකයන් විදිහට අපිත් යුද්ධයක් අත්වින්දා. මේ යුද්ධය මොනම විදිහකින් හරි අපි හැමෝටම අඩු වැඩි වශයෙන් බලපෑවා. මේ යුද්ධයේදී සැඟවුණු මේ වගේ රසවත් සත්‍ය සිදුවීම් කොතෙකුත් තියෙන්න ඇති. ඒවා මොනම විදිහකින් හරි එළියට ඇවිල්ලා මේ අවකාශයේ තියෙනවානම් අපට ඒ ගැන ලොකු සංවේදීතා ගොඩාක් තියාගන්න පුළුවන්, මොකද, ඒ අත්දැකීම් අපිට ගොඩක් සමීප නිසා. අපි ඉදිරියට ඒ ගැනත් කතා කරන්න බලාපොරොත්තු වන බව ඉරිනා සෙන්ඩ්ලර්ගේ ප්‍රතිහත ධෛර්යයි උත්සාහයයි හරහා මෙහෙම සටහන් කරනවා.
► Text - M Ishaq