2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා

හිතුවක්කාර ආදරය හරි චමත්කාරයි

 2019 පෙබරවාරි 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 125

Art එකේ කැරට්ටුව..

හඬ: සුදත් තිලකසිරි

නිස්කාංසුවේ වෙල්යායක් මැද්දට වැටිලා හුළඟත් එකක් ගෙදර දුවන රෑන ගිරා රංචුවක් දිහා බලාගෙන ආදරය ගැන පොඩි සංවාදයක් කළාම ඒක මොනතරම් ආස්වාදයක්ද? 
මොහොතක් ජීවිතය ඒ විදියට ගෙවලා බලමුද?

ජීවිතේ මඟ හැරුණු තැන් දැක්කම, වෙලාවකට හිතෙනවා අපිට ජීවිතේ අත ඇරිලද කියලත්...  
සතුට ඉබේ ලැබෙන්නෙ නෑ... අපි සතුට හොයාගෙන යන්න ඕන....

ඇත්තටම සතුට කියන්නෙ අපි ජීවිතය දකින විදියට කියලා මට හිතෙනවා.. සුදත්ටත් එහෙමද හිතෙන්නෙ... ? සුදත් කිව්වේ සුදත් තිලකසිරිට....  එයා තමයි අද චරිතය...  
විශේෂ පැහැදිලි කිරීම් නැතුව මම ඔහුව හඳුන්වා දෙන්නම්කො... මේ වෙන කවුරුත් නෙමේ සුදත් තිලකසිරි... සුද්දා කිව්වාම තමයි ෆීල්ඩ් එකේ ගොඩක් දෙනෙක් දන්නෙ. 
සුදත් කියන්නෙ එක වෙලාවක රංගන ශිල්පියෙක්, තව වෙලාවකට අධ්‍යක්ෂවරයෙක්.

හරි සුදත් කොහොමද ජීවිතේ...?
හොඳයි... හොඳින් ඉන්නවා... පහුගිය දවස්වල නිර්මාණ කටයුතු කිහිපයකටම සම්බන්ධ වුණා... මම පදිංචිවෙලා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ නිසා ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නෑ... මේ දවස්වල කරන විශේෂම වැඩේ තමයි මම අධ්‍යක්ෂණය කරන සඳ හැංගිලා ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්... ඒ වැඩ කටයුතුත් එක්ක ජීවිතේ විඳිනවා... 
එහෙම තමයි සුදත්ගේ ජීවිතේ... 

සුදත්ගේ හිතට තදින් දැනිච්ච නිර්මාණයක් එහෙම තියෙනවාද...? ඔයා ගොඩක් ආදරය කරන මතකයෙන් ගිලිහී නොයන වගේ එකක්... හැබැයි ඔයා රඟපාපු එකක් වෙන්නත් බෑ?
ජීවිත කාලය පුරා බලපු විඳපු නිර්මාණ ගොඩක් මගේ ජීවිතයේ තියෙනවා.. ඔයා ඔය ප්‍රශ්නෙ අහපු ගමන්ම මගේ ඔළුවට ආවේ ලංකාවේ නිර්මාණය වුණු ලස්සන වැඩක්... ඒක තමයි ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කරපු  සමනල සන්ධ්වනිය චිත්‍රපටය.

සමනල සන්ධ්වනියට ඇයි  මෙච්චරම ඔබ ඇළුම් කරන්නෙ?
ඒකට හේතු කිහිපයක්ම තියෙනවා... එකක් මම ඒ කතා තේමාවට ගොඩක් කැමතියි... ආදරය ගැන ගැඹුරු කියවීමක් ඒ තිර පිටපතේ ගැබ්වෙලා තියෙනවා... විශේෂම කාරණාව තමයි ජයන්ත චන්ද්‍රසිරි කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ වෙනස් කතා තේමාවන්වලට මම ගොඩක් ඇළුම් කරනවා... ඔහු හරි හිතුවක්කාරයි... අනික තමයි ඒ චිත්‍රපටයේ තියෙන සංගීතය. එය මාව මේ චිත්‍රපටය ඇඳ බැඳ තබාගන්න තවත් හේතුවක් වුණා.. විශේෂයෙන්ම මට මගේ නොවන ආදරයක් තිබුණා... කියන ගීතයට මම ගොඩාක් ආදරය කරනවා... 

මේ චිත්‍රපටයේ ගොඩනැගෙන්නේ තරුණ කොල්ලෙක් වයසින් වැඩි තරැණියකට හිතින් ආදරය කරන කතාවක්.. මේ වගේ අත්දැකීම් අඩු වැඩි වශයෙන් අපි හුඟක් අය ජීවිතයේ අත්විඳලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක නිසාම පොදුවේ ඕනෑම කෙනෙකුට විඳින්න පුළුවන් කතාවක් තමයි සමනල සන්ධ්‍වනියේ තියෙන්නෙ..  හැබැයි නිර්මාණයට ගද්දි මේක ටිකක් විතර වෙනස් අත්දැකීමක්.. කලාතුරකින් තමයි මේ වගේ ආදර කතා චිත්‍රපටවලට උපයෝගි කරගන්නෙ..  ඒ නිසා තමයි මට මේ චිත්‍රපටය මෙච්චරම විශේෂ වෙන්නෙ.. 

සුදත් මේ චිත්‍රපටයේ ඔයා කැමතිම චරිතය කවුද?
මේ චිත්‍රපටයේ රඟපාන සියලුම චරිතවලට මම ගොඩක් කැමතියි... විශේෂයෙන්ම මම උද්දික ප්‍රේමරත්න සහ සූර්යා දයාරැවන් රඟපාන වගීෂ දේවමින්ද්‍රගේ චරිතයට වැඩි ඇල්මක් තියෙනවා... උද්දික සහ සූර්යා ඒ චරිතයට හොඳ සාධාරණයක් කරනවා... අනිත් මම කැමති චරිතය තමයි යශෝධා විමලධර්ම රංගනයෙන් දායකවන පුණ්‍යාගේ චරිතයට...

ඔබ මේ චිත්‍රපටයේ ආසම කරන චරිතය වගීෂගේ චරිතය නේ.. මේ චරිතය ඔබට රඟදක්වන්න හම්බවුණොත් මොනවගේ අත්දැකීමක් වෙයිද ඒක?
උද්දික ඒ චරිතයට කරන්න පුළුවන් උපරිමය සාධාරණය කරලා තියෙනවා... මට හම්බවුණත් මම ඒ චරිතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කරනවා...

මේ චිත්‍රපටය සුදත්ට හම්බවෙන්නෙ කොහොමද?
ජයන්ත චන්ද්‍රසිරිගේ අලුත් වැඩක් ආවොත් මම කොහොමත් බලනවා... එහෙම තමයි මට මේ චිත්‍රපටය මුණගැහෙන්නෙ....

කී වතාවක් ඔබ මේ නිර්මාණය රසවින්දද?
මම මේ චිත්‍රපටය පස්වතාවකට වඩා බලලා තියෙනවා... අදටත් මට නිවාඩුවක් ලැබුණම අඩුම තරමේ මේ චිත්‍රපටයේ ගීත හරි අහනවා...

මේ චිත්‍රපටයේ ඔබව වැඩිපුරම සංවේදී කරපු තැනක් දෙකක් මතකද?
ඔව්... චිත්‍රපටයේ අවසාන විනාඩි කිහිපයේ එක ලස්සන දර්ශනයක් තියෙනවා.... ඒ තමයි යශෝධා විමලධර්ම එහෙම නැත්නම් පුණ්‍යා සහ වාගීෂ මේකප් රෑම් එකේ මුණගැහෙන මොහොත. කාලයක් තිස්සේ වාගීෂ පරිස්සම් කරපු පුණ්‍යාට අයිති ලියුම ආපසු පුණ්‍යාටම බාරදෙනවා... ඇය අහනවා... ඇයි මේ ලියුම මට දෙන්න හිතුවේ කියලා... ඒ වෙලාවෙ වාගීෂ කියනවා මට මගේ ලෝකෙට ආපහු එන්න ඕනෙ කියලා.. අන්න ඒ දර්ශනය මට තදින් දැනුණු එකක්... හැම වෙලාවෙම මම ඒ දර්ශනය මතකයට නඟාගෙන විඳිනවා...

මේ නිර්මාණය අවසානයේ සුදත්ට ඇත්තටම මොන වගේ දෙයක්ද හිතුණේ?
ඒක මාර අමුතු හැඟීමක්... සම්ප්‍රදායයෙන් ඔබ්බට ගිය ආදරය හරි අමුතු චමත්කාරයක් තියෙනවා... ආදරය කියන්නෙ විස්තරාත්මකව තේරැම් කරන්න අමාරු දෙයක් කියලා මට එදා මේ ෆිල්ම් එක බලද්දී තේරුණා.  

මේ චිත්‍රපටය බලන කෙනෙකුට සුදත් හිතන්නේ මොනවගේ ප්‍රයෝජනයක් තියෙයි කියලාද?
මේ ජීවිතය කියන්නෙ හරිම කෙටි තාවකාලික එකක්... මේක විඳින්න ඕනෙ කොහොමද කියන එක ගැන ගොඩක් දෙනකුට ලොකු අවබෝධයක් නෑ. සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් තරගකාරී ජීවිතයකට වැටිලා... ඒකට හේතුව මේ ආර්ථික සහ දේශපාලන වටපිටාව... ආදරය සහ ජීවිතය පිළිබඳ සුන්දර අත්දැකීමක් මේ චිත්‍රපටය බලලා විඳින්න පුළුවන්...
එහෙම තමයි සුදත් කතාවට තිත තිබ්බේ...

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet