2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

ඉඳලා ඉඳලා කලන්තෙත් දැම්මලු

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 81

වත්මන් නවක පරපුරේ කලා ශිල්පීන් ඇත්තටම වාසනාවන්තයි. මොකද, ඒ අයට රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා.
ඒත් ඒ කාලෙ, ඒ කියන්නෙ අවුරුදු 25කට 30කට එහා රඟපාන්න එනවයි කියන්නෙ ඉතින් වෙනමම චැලෙන්ජ් එකක්.

අද රංගන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ බොහොමයක් දෙනා අඩු වැඩි වශයෙන් ඒ කට්ට කන්න ඇති.

මෙන්න මේ ප්‍රවීණයත් අද දක්ෂ නළුවෙක්, ගායකයෙක් වගේම නිෂ්පාදකවරයෙක්. නළුවෙක් වෙන්න ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම එයාට තිබිලා තියෙන්නෙ ලොකු පිස්සුවක්.
ඉස්කෝලෙන් අස්වෙලා රඟපාන්න අවස්ථාවක් ලබාගන්න නොකාපු කට්ටක් නැති තරම්ලු, ඇවිද්ද පාරවල් කියලා වැඩක් නැහැලු.

ඔන්න ඒ කාලෙ එක්තරා අධ්‍යක්ෂකවරයෙක් මෙයාට කියලා, චාන්ස් එකක් දෙන්න කැමතියි, පහුවදා උදේ හයට ප්‍රසිද්ධ සිනමාහලක් ඉස්සරහ ඉන්න කිව්වලු. කොල්ලට කලින් දවසෙ මුළු රෑම නින්ද ගිහින් නැහැ.
උදේ හයට කලින් කියපු තැනට ඇවිත් තියෙන්නෙ කිලෝමීටර් 5ක් විතර පයින් ඇවිදලා. ඔන්න උදේ 8 වෙද්දී ඩිරෙක්ටර් ආවලු, වෑන් එකකින්. ඒකෙ ජනප්‍රිය නළු නිළියො කිහිපදෙනෙක් ඉන්නවා මෙයා දැකලා.
මල්ලි ඔහොමම ඉන්න. මම ඉක්මණින් මේ ආටිස්ට්ලා ටික ලොකේෂන් එකේ දාලා එනවා ඔයාව ගන්න, අධ්‍යක්ෂකවරයා එහෙම කියලා ගියාලු.

දවල් 12ත් වුණා, 2ත් වුණා. මිනිහා එන පාටක් නැහැ. බඩගින්නයි, තිබහයි, අව්වයි ඉවසගෙන හිටිය කොල්ලා කලන්තෙ දාලා වැටිලා. වටේ පිටේ හිටිය මිනිස්සු ඇවිත් කතාව ඇහුවම මෙයා සිද්ධිය කියලා.
පිස්සු නටන්න එපා මල්ලි. බනිස් ගෙඩියක්වත් කාලා ගෙදර යන්න, කෙනෙක් කිව්වලු.
ඒත් කොල්ලට යන්න හිතක් නැහැ.

කළුවර වැටීගෙන එද්දී බලාපොරොත්තු සුන් කරගත් කොල්ලා පයින්ම ගෙදර ඇද්දලු.
 

මටනම් සල්ලි ලොකුයි

මේ දෙන්නානම් කිව්ව සැණින් කවුරුත් දන්න හඳුනන කලා ශිල්පීන්. අඩුම ගාණෙ සතියකට වරක් මුණගැහිලා රෑ කෑමකටවත් සෙට්වෙන අඹ යෙහෙළියන්. මේ දෙන්නගෙ යාළුකමට අවුරැදු 15ක් 20ක් විතර වෙනවා.
ඔන්න ඔහොම ඉන්නකොට මේ දෙන්නගෙන් එක් ශිල්පිනියකට චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න අවස්ථාවක් ලැබෙනවා. ප්‍රධාන චරිතයට එයාගෙ ඔළුවට ආවෙ ඇගේ හොඳම මිතුරිය.
මම දන්නවා උඹ මට බැහැ කියන්නෙ නැති බව. මගේ පළවැනි වැඩේ ප්‍රධාන චරිතය උඹ කරන්නම ඕනෙ, මිතුරිය කිව්වලු.

අයියෝ අවුලක් නැහැ. ඒත් මට දවසකට රුපියල් 50,000ක් දීපන්..
මොකා? උඹට දවස් 10කට වැඩ තියෙනවා. විහිළු කරනවද?

විහිළු නෙවෙයි බං. අපේ යාළුකම් වෙනයි. සල්ලි වෙනයි.
අනේ මටනම් යාළුකම් ඔක්කොටම වඩා වටිනවා...

යාළුකම් කෙසේ වෙතත් මටනම් සල්ලි තමයි ලොකු, ඇය ගත් කටටම කිව්වලු.

 

දොරවල් වහලා හැංගෙනවලු

පිටරටවල්වල ජීවත්වෙන අපේ ශ්‍රී ලාංකිකයන් තරම් අපේ කලාවට, අපේ කලා ශිල්පීන්ට ආදරේ කරන, ගරු කරන තවත් පිරිසක් නැතුව ඇති. අපේ ජනප්‍රිය, ප්‍රවීණ කලා ශිල්පීන්ට ඒ රටවල්වල ඉල්ලුම වැඩිවෙලා තියෙන්නෙ ඒ නිසයි.
පිටරට වෙසෙන එක්තරා ශ්‍රී ලාංකික පවුලක් මේ දිනවල නිවාඩුවට ඇවිත් ඉන්නවා.

ඒ අය කියන සමහර කතා ගැන ඇත්තටම පුදුම හිතෙනවා.

සාමාන්‍යයෙන් සමාජජාලා අඩවිවල ලක්ෂ ගණන් මිනිස්සු නැරඹුවයි කියන සමහර අයගෙ සින්දුවල රඟපාපු කට්ටිය, සින්දු කියපු කට්ටිය වගේ අයත් මේ කියන රටවල්වලට යනවලු, පොඩි පොඩි සංදර්ශනවලට.
අනේ අපිනම් ඒ වගේ කට්ටිය ආවම ගෙවල්වලින් එළියට බහින්නෙවත් නැහැ. ගෙවල් ලොක් කරලා ඇතුළටම වෙලා ඉන්නවා. ඒක සැපයි.

 

 

► Text - Mithra

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00