2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා

සොඳුරියෙ නුඹයි ඒ අම්මා

 2019 පෙබරවාරි 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 275

දුකේදී හැඬුමට සැපේදී 
සිනාසෙන්නට ළඟ ඉඳන් 
තවත් අම්මා කෙනෙකු ඇත්නම් 
නුඹයි ඒ අම්මා 
සොඳුරියෙ නුඹයි ඒ අම්මා
 

අහස මෙන් ලත් චෝදනා 
පොළොව මෙන් දුක් උහුලනා 
මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපදීලා 
සොඳුරියෙ නුඹ සෙනෙහසින් නිමි 
ලොවෙහි රජවීලා 

 

සිතට සැනසුම් කල්පනා 
ගෙනෙන පාදා වාසනා 
තනා ටජ් මහලයක් පිවිතුරු 
සෙනෙහෙ ගංතීරේ 
සොඳුරියෙ නුඹේ රුව 
අඹාගමී මහද මන්දීරේ 

ගී පද රචනය - ශීලා ගම්වර 
සංගීතය        - සරත් දසනායක 
ගායනය         - ටී. එම්. ජයරත්න

 

 

අත අතනෑර සංසාර සුවිසැරිය නෙක කටු කොහොල් කළල් දිය ගිරි දුර්ග මහා කඳු පර්වත තරණය කර ළය විකසිත කිසිදා නොපරවූ ස්නේහයේ කුසුම බැතින් දරා ඔහු හා සපැමිණි ඇයට මම යශෝධරායැයි කියමි. මුව කුලයේ උපන් සඳ හිමි පවස සංසිඳවන්නට සලා කඳුළැලි නෙත් අගින් ඒ කඳුළු පැන් ඔහු පිපාසය නිවන්නට බොන්නට දුන් ඇගේ හදවත හැම භවයකම වදනින් නොකියා ස්නේහයෙන් පසක් කළ ප්‍රේමණීය රහස මම දකිමි. හිමියනි මම මටත් වඩා පෙම් කළෙමි ඔබට....
 
එනයින් සැලමුතු මහා පොළොවක් සේ අසමාන ප්‍රේමයකින් අකම්පාව ඈ සිදුහත් දරානොගත්තානම් තවත් කල්පයක් බෝධිසත්ත්වයන්ට බුදු බව සාක්ෂාත් කිරීමත් ප්‍රමාද වන්නට තිබුණායැයි සිතේ මට -යශෝධාරවගේ විසල් ප්‍රේමය, කැපකිරීම, පරිත්‍යාගය, දරගැනීම සිහිකරද්දී... තවත් යශෝධරාවක් තවත් බෝධිසත්ත්වවරයකුටවත් හමුවේදැයි සිතේ මට මා කවුරුන්දෝ වී ඒ යශෝධරාව කියවද්දී... හිමාල වනයේ සඳගිරි පර්වතය පාමුල කිඳුරු කුලයේ උපන් භවයේ කිඳුරියගේ රූපශ්‍රීයට වසඟ වූ බඹදත් රජු විස පෙවූ හීයක් වස් දඬු රාවයේ මිහිරෙන් හිමාලයේ ගංඟා පතුලේ මත්ස්‍යයන් පවා කුළුගන්වමින් උන් කිඳුරාගේ ළය සිදුරු වෙන්නට විද්දේය. තමාගේ නිර්මල ප්‍රේමයත් පතිදමේ අනුහසත් කියමින් හිමාලයේ ගහකොළ සුළඟ පවා හඬවමින් කිඳුරිය නැගූ විලාපය මහා ශක්‍රයාටත් ඇසුණි. අවසන ඒ කිඳුරු ප්‍රේමයේ මහිමය දැන හඳුනාගත් ශක්‍රයා කිඳුරාට යළි ජීවිතය ප්‍රදානය කළ වගට සඳකිඳුරු ජාතකය කියයි. විමුක්තියේ ද්වාරය හැරගත් අවසන් භවය දක්වා සසර චාරිකාවක් පුරා ඔහු ප්‍රේමිය ඇයයි.. බිරිඳ පමණක් නොවේ ඇය.. බෝධිසත්ව ලේ ධාතුවෙන් ඔහු පැටවුන් කුස හොවාගත් ගැහැනියම පමණක් නොවේ ඇය... අචල විශ්වාසයෙන් මහා පවුරක්ව නිබඳ ඔහු මඟ පහන් කළ සහේළිය පමණක්ම නොවේ ඇය... යශෝධරාවගේ ළය ලෙය සිදුහත් වෙනුවෙන් කිරට නොහැරුණා පමණකියි සිතේ මට.. ඒ සා මවු ගුණයකින් ඈ ඔහුට මවක ද වූවාය... නොඑසේනම් පාරමිතා පූරණය කරනු වස් වෙස්සන්තර රජු දරු පටවුන් දන්දී අඹුවත් දන්දෙද්දී පෘථග්ජන කිසිඳු ගැහැනියකට වෛරයකින් තොරව පරාර්ථයකින් ඉවසා ගත නොහැකි වූ රිදුමක් ඔහු ප්‍රාර්ථනා වෙනුවෙන් ඈ ඉසිලුවේ කෙලෙසද? එනයින් උපමා රූපක කොහිද ඈ ප්‍රේමයට.. ඇගේ ඉවසිලිවන්ත සියලු ගැහැනු ගුණ දහරාවන්ට.
 
සිදුහත් සියලු පාරමිතාවන් සාක්ෂාත් කරලනු වස් කල්ප සරසඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී දම් පිරුවේ විශ්වීය මනුෂ්‍ය සංහතියක් සංසාර දුකනම් මහා සාගරයෙන් එතෙර කරවන අධ්‍යාත්මික ජයග්‍රහණයේ යාත්‍රාව තනන්නටය. ඒ ලෝකෝත්තර අරමුණ වෙනුවෙන් මමත් සිදුහත් චින්තනය පාමුල දොහොත් මුදුන් තබමි. එනමුදු ප්‍රේමය නම් සංසිද්ධිය අස සසර දුර ගමනේ හැම නවාතැන් පොළකදීම ඒ මහා බෝධි සත්ත්වයානෝ යශෝධරාවට දෙවැනි වූවායයි මම විශ්වාස කරමි. මම අදහමි. පිරිමියෙකු නොව ගැහැනියක බුදු බව ප්‍රර්ථනා කරගෙන එවන් සසර ගමනක් ආවානම් යශෝධරාව බිරියක ලෙස දන්දුන් අසමාන ප්‍රේමය කළ පරිත්‍යාගය හා කැපකිරීම සැමියෙකුට කිසිදා බිරිඳක වෙනුවෙන් කරන්නට, ජීවිතය වුව දන්දෙන්නට වුව නොපැකිලෙන ප්‍රේමයක් කරා සේන්දු වන්නට නොහැකි බව මම අදහමි.
 
ආත්මාර්ථයෙන් තොර පරාර්ථයක් ලොව එක් තැනක මිස තව තැනක නැතැයි මම සිතමි. ඒ එක් තැන යශෝධරාවගේ හද මඬල බව මම විශ්වාස කරමි. අහම්බයකින් හෝ තවත් එවන් ගැහැනියක ලොව වෙත්දැයි මම නොදනිමි. ඒ ඈ ගුණ එතරම්ම විරල හෙයිනි. සසර බව සැරියේ එක මොහොතක්වත් තම හිමි සඳට අධ්‍යාත්මිකව හෝ භෞතිකව ද්‍රෝහී කමක් නොකළ සත්‍යවාදී ගැහැනියක යශෝධරා තුළ මිසක සෘෂිවර අසපුවකවත් හිඳීයැයි මට නොසිතේ. සිදුහත්ගේ ප්‍රේමය තුළ නෙක මඟ හැරීම් ඈ පරාර්ථ ගුණයෙන් නොඉවසන්නට සිදුහත්ට සතර පෙර නිමිති දකින්නට පෙර ගිහිගෙය එපාවෙන්නට තිබුණා නොවේද? යශෝදරාවත් හිමි සඳට ගැරහුම් චෝදනා නගන අනාදරණීය වධක බිරියක්ම වූවානම්... 
 
මටත් වඩා ඔබට පෙම් කළ මට දකිනු නොහැකිය ඔබ නිසල මරණය.. දෙනු මැනවි එහෙයින් විවරණ ඔබ නික්ම යන්නට පෙර මට ඔබ හැර යන්නට.. ඒ යශෝධාරාවගේ සමුගැනීමේ ඉල්ලීමයි. කල්ප සැරිසැරියක් පුරා දෙනෙතට කඳුළු නොනගා බොහෝ මඟහැරීම්, වේදනාවන් උසුලා දරාගත් ඒ අප්‍රමාණ ගැහැනිය එකම එක වරක් කඳුළු හැලුවේ ඔහු තමාට හිමි සඳ ලෙස හිමි වන ඔහු - ඇය මුණගැසෙන අවසන් භවය ඒ බව පසක් කරගත් භවයේදී පමණය. ක්ෂණයක් ක්ෂණයක් පාසා දල්ලක් දලු ලෑ මහා වනස්පතියක් වූ ඈ ප්‍රේමයේ සසර අක්මුල් දුටු බුදු නෙත දුන්නාය ඒ විවරණ එදා ඇයට හැරයන්නට භව කතර දුහුවිල්ල... වීතරාගී ස්නේහයෙන්.. රාග රේඛා බිඳහල වීතරාගී ස්නේහයෙන් බුදු සිරි පතුල කුසුමන් සිඹ හදවතින් නික්ම යන්නට ඇත ඒ යශෝධරාවෝ එදා...
යශෝධරාවක් හමුවෙන්නට බෝධි සත්ත්වයකුටම මිස පිනක් ඇත්දැයි පිරිමියෙකුට... ඒ සිතුවිලි අතරේ සැරිසරද්දී නැවතුණි සිත තව තැනක.
 
දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියෙ නුඹයි ඒ අම්මා
 
මහා පොළොව අසංඛ්‍ය ප්‍රමාණයක් මුල් දරාගෙන නිහඬව සිටියි. මහා ගංවතුර සුළි කුණාටු කිසිවකින් අකම්පාව නොසැලී නොබිඳී සිටියි. ඉවසා දරාගත හැකි සීමාවේ අවසන් රේඛාවකදී ඇගේ කම්පාව ඉවුරු තලා ගියත් යළිත් ඈ සියල්ල දරා නිහඬ වෙයි. මාතෘ ගුණ හද මඬල දරාගත් අම්මාවරුන්ගේත් හැටි එහෙමය. ඒ මාතෘ ගුණ එලෙසින්ම හදවර දරාගත් ගැහැනියක ජීවිතේ මහා කන්ද තරණය කරද්දී හමුවේනම් ඇගේ උරහිස ජීවිතයේ අනේක ගිම් නිවන්නට කිසිවක්ම නොඉල්ලා ඇය දන්දෙයිනම් ඇගේ ප්‍රේමය ඔබේ ජීවිතය මුදුනතක ඔසවා තබා ඔබ අධ්‍යාත්මිකවත් භෞතිකවත් සුවපත් කරයිනම් දුක සැප සමව දරා විඳ ගනිමින් ඔබ හා තුටින් ජීවන සුවිසැරිය රුගෙන යානම් ඒ ප්‍රේමණීය බන්ධනය ජීවිතයට මහා ආශීර්වාදයකි.
 
දුකේදී හැඬුමට සැපේදී 
සිනාසෙන්නට ළඟ ඉඳන් 
 
දුකේදී හැඬුමටම නොව ඒ දුක සහෘදව විඳ ගනිමින් ඒ දුකේදී අත්නොහැරෙන්නට අත අල්ලාගනිමින් දිරියක් වෙන්නට ගැහැනියක් ජීවිතය හා එක්වෙයිනම් ඒ ගැහැනිය තවත් අම්මා කෙනෙකුම මිස අන් කවුද?
 
අහස මෙන් ලත් චෝදනා 
පොළොව මෙන් දුක් උහුලනා 
මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපදීලා 
සොඳුරියෙ නුඹෙ සෙනෙහසින් නිමි 
ලොවෙහි රජවීලා
 
අහස මෙන් ලත් චෝදනා.. ඒ ගී පදයෙන් මහා අරැතක් කියවේ. මහා හයියෙන් වැස්සත් අහස වැරදිය. මහා වැස්සක් නොදී සිහින් වැහි රේඛා මුදාහල විට එහෙත් අහස වැරදිය. අහස එසඳ රුවටිලිකාරයෙකි. වැස්ස නිමාකර හිරු කිරණින් ලොව ආලෝකමත් කරන විට පොළොව දවන හිරු දරා සිටීමේ වරදේ වගඋත්තරකරැත් ඒ අහසමය. සඳ තරු අහස මඟ හැර පිටගම් ගියදාටත් අහස අසන දොස් එමටය. එක් අරුතකින් අහස මෙන් ලත් චෝදනායැයි කියන්නේ ඒ හේතු කරණ කොටගෙනයැයි සිතේ. තවත් අතකින් අහස විසල් අනන්තයකි. ඒසා චෝදනා දරන්නට අම්මාවරැන්ටත් අම්මාවරුන් සදිසි ස්නේහවන්ත ගැහැනුන්ටත් හැකියැයි සිතේ.
 
මෑණියන්ගේ සෙනෙහසින් මුල්වරට ඉපදීලා
සොඳුරියෙ නුඹේ සෙනෙහසින් නිමි
ලොවෙහි රජවීලා
 
ළය ලෙය රතු කළ අම්මාගේ ස්නේහයෙන් ජීවිතයට ජීවිතයක් ලද පුතුන් ගැහැනියකගේ මවු ගුණයෙන් සහ ආලයේ සොඳුරැ ආලවට්ටම්වලින් අලංකෘත වූ ලෝකයක රජකු වෙසින් රජවෙන්නට විවරණ ලබයිනම් එය සසර මහා පුණ්‍ය කර්මයක්යැයි සිතේ. ගීයට නිමිත්ත සපයන්නේ ඒ වාසනාව ලද පිරිමියෙකි.
 
සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ් මහලයක් පිවිතුරු
සෙනෙහෙ ගං තීරේ
සොඳුරියෙ නුඹේ රුව
අඹාගමී මහද මන්දීරේ
 
තනා ටජ් මහලයක් පිවිතුරු... එහෙත් ටජ් මැහැල්  යනු පවිත්‍ර ප්‍රේමයේ සංකේතයක් උදෙසා ඉතිහාස සාක්ෂියක්දැයි යන්න මට ප්‍රශ්නයකි. ඉන්දියාවේ අග්‍රා නගරයේ ඉදිකර ඇති 1983 වසරේදී ලෝක උරුමයක් ලෙස නම් කළ වාර්ෂිකව සංචාරකයන් මිලියන 2-4ත් සංඛ්‍යාවක් නරඹන්නට පැමිණෙන මිල කළ නොහැකි මැණික් ඔබ්බවා ඉදිකර ඇති ටජ් මැහැල් යනු සුන්දර අතීත සංස්කෘතික නිමැවුමකි. තර්කයක් නැත. එහෙත් 1631දී ෂා ජහාන් නම් මෝගල් අධිරාජයා තමන්ගේ තෙවැනි බිසව වූ මුම්ටාස් 14වැනි දරු ප්‍රසුතියේදී මිය ගිය කම්පාවෙන් ඔවුන්ගේ ප්‍රේමයේ සදාතනික සාක්ෂියක් ලෙස ඇගේ සොහොන එහි තනවා ඉදිකළායැයි වංශ කතා දෙස් දෙන ටජ් මැහැල් මා දකින්නේ වෙනස් අයුරකිනි. රාජ විභූතිය පෙන්වීමට ෂාජහාන් රජු  මුම්ටාස් දේවියගේ මරණයත් ප්‍රස්තුතයක් කරගත්තා නොවේදැයි මගේ ඇතුළු හද තර්ක කරයි. මක්නිසාදයත් රජුන් යනු එක් බිසෝවුන් කෙනෙකුගේ පහස පමණක් ඉල්ලා සිටි අයෙක් නොවෙයිනම් එතැන ප්‍රේමයක් පවතින්නේ කෙසේද? අධ්‍යාත්මිකව හා කායික ප්‍රේමයෙන් හා සැබෑ අනුරාගයෙන් බැඳිය හැක්කේ එක් ගැහැනියක සමඟ පමණකැයි මම විශ්වාස කරමි. ගැහැනියක විෂයෙහිද එය සනාතන දහමයැයි මම විශ්වාස කරමි. එකඟ වීමට හෝ නොවීමට ඇති අයිතිය මම පිළිගනිමි.
 
එහෙත් සිතට සැනසිල්ලත් නිවීමත් ජීවිතයට සුවපත්වීමත් රැගෙන එන ඇගේ ප්‍රේමය වෙනුවෙන් එය ජීවිතයේ සදාතනික්ත්වයක් බවට පත්කරගන්නට ඒ රුව හදවත නැමැති මන්දිරයේ සොඳුරුම සිත්තම බවට පත්කරගත හැකිනම් එය ජීවනය බවට පත්කරගත හැකිනම් ප්‍රේමයේ තරම මේසා වෙතැයි ලොවට කියනු කුමටද?
 
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර
 
 
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00