නිරෝෂා... මේ දවස්වල හරි අපූරු සුන්දර අත්දැකීමක් විඳිනවනේ... ඒ අත්දැකීම වචනවලට ටිකක් කියමුද...?
ඇත්තටම ඔව්... ඒක හරි අපූරු අත්දැකීමක් තමයි. මායි අසේලයි විවාහ වුණේ 2008 අවුරුද්දේ. වසර කිහිපයක්ම අපි ආදරේ කරලා තමයි අපි විවාහ වුණේ. අවුරුදු ගාණක් අපේ ආදරේ පරණ වුණත් තාමත් ඒ අදරේ එදා වගේම තමයි. අසේල අවුරුදු අටක් විතර හිටියේ විදෙස් ගතවෙලයි. වරින් වර එයා ලංකාවට ආවට එයා රැකියාව කළේ විදේශ රටකයි. නමුත් දැන් අවුරුදු දෙකකට කලින් එයා ස්ථිරව නතර වෙන්න ලංකාවට ආවා. ඉස්සර ඉඳන්ම අසේලයි මමයි දෙන්නම කතා වෙලා තිබුණේ කවදාහරි අපේම කියලා ස්ථාවරයකට එනතුරු දරු පැටියෙක් හදන්නේ නැහැ කියලා.
ඉස්සර අපේ තාත්තලා තනියම එක්කෙනෙකුගේ වැටුපෙන් අපිව බලාගත්තා තමයි. නමුත් දැන් ලෝකේ යන විදිහට එක්කෙනෙක් රස්සාවක් කරලා ජීවිතේ ගෙනියන්න අමාරුයි. අසේල තාත්තා කෙනෙක් විදිහට එයාගේ ස්ථාවරත්වයට එනකන් වගේම මට මගේ පැත්තෙන් මාත් ස්ථාවරයකට එනකන් මම අම්මා කෙනෙක් වෙන වගකීම් ගන්න පුළුවන් ස්ථාවරයක් එනකන් මම ඒ දවස එනතුරු බලාගෙන හිටියා. අපි චූටි කාලේ අපි වින්ඳ සැප සම්පත්වලට වඩා අපේ දරුවන්ට සැප සම්පත් ලබලා දෙන්න අපි කැමතියිනේ. ඉතින් ඒ වගකීම් ගන්න පුළුවන් හොඳම කාලය මේ කියලා අපිට හිතුණා.
දරු පැටියෙක් කුසට ආවට පස්සේ අම්මා කෙනෙක්ට කන්න හිතෙන ආස කෑම බීම තියෙනවානේ... නිරෝෂටත් ඒවගේ ආසාවල් තිබුණාද...?
අනේ... මට එහෙම විශේෂ ආසාවල් ආවේ නැහැ. මට දරු පැටියෙක් ලැබෙන්න ඉන්නව කියලා දැනගන්නට පස්සේ හැමෝම “මොනවද කන්න ආස කියලා අහන්න ගත්තා. හැබැයි මට එහෙම ආසාවල් ඇති වුණේ නැහැ. බොහෝම සාමාන්‍යයයි. එහෙම කෑම බීම ලොකුවට වෙනස් වුණේ නැහැ. බඩගිනිවෙලා කනඑක හැරුණුකොට වෙන ආසාවල් ඇතිවුණේ නැහැ. ඩාන්සින් කරන නිසා අපි ඩයට් කළානේ. හැබැයි දැන් එහෙම බැහැ. දැන් බඩගිනි වෙලාවට කනවා.
ඇත්තම කියන්න... නිරෝෂා ආසාවෙන් ඉන්නේ දුවෙකුට ද...? පුතෙකුට ද...?
මම ඩාන්සින් කරන නිසාම වෙන්නත් ඇති මම ආසාවෙන් ඉන්නේ නම් දුවෙක්ට තමයි. එතකොට ඉතින් ලස්සනට චූටි චූටි ගවුම් අන්දවලා ලස්සනට කොණ්ඩේ එහෙම පීරන්නත් පුළුවන්නේ. හැබැයි ඉතින් පුතෙක් වුණත් කමක් නැහැ. අපේමනේ... අසේලට නම් එහෙම ගාණක් නැහැ. එයා පුතෙක්ට වගේම දුවෙක්ටත් හරි කැමතියි.
දරු පැටියා ලැබුණට පස්සේ මහගෙදරට පදිංචියට යනවාද...?
ඔව්... අපි දැන් අපේ ගෙදරට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. අපේ ගෙදරට පිටිපස්සේ තමයි මගේ මහගෙදර තියෙන්නේ. දෙපැත්තේ මගේ අක්කයි, නංගියි ඉන්නවා. ඒ අයට දැන් බබාලා ඉන්නවා. අපේ පරම්පරාවේ ඉන්නෙම කොල්ලො... අසේලගේ අක්කලා වුණත් අපිට ලොකු ඈතක් නැහැ. අපි හැමෝම ඉන්නේ එකම ගමේ... ඉතින් ඒ නිසා මට ලොකු බරක් බයක් නැහැ. ඒ නිසා දරුවව ගේන්නේත් අපේම ගෙදරට තමයි.
නෑදෑ පරපුරෙන් අලුත් සාමාජිකයව පිළිගන්න සූදානම කොහොමද...?
ඒක නම් උපරිමයි... මගේම අක්කයි නංගියි හැරුණු විට මට මගේම ළඟම නෑදෑ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම දැන්ම ඉඳන් හැම දෙයක්ම බාර අරගෙනත් ඉවරයි... “මම තමයි මුල්ම ඇඳුම හදන්නේ... කිය කියා හැමදේටම සහයෝගය දක්වනවා. කෑමක් බීමක් හැදුවත් දැන් මුලින්ම මගේ පංගුව මට එවනවා. දැන්ම ඉඳන් එයාලා ඕන කරන දේවල් ගෙනත් දෙනවා. ඒ නිසා දැන් මට එහෙම බඩු මුට්ටුවත් ගන්නත් නැති තරම්.
පිය පදවියට අසේලගේත් සූදානම කොහොමද...?
අම්මෝ... දැන් එයා පුදුම සතුටකින් ඉන්නේ. මාව පුදුම ආදරයෙන් බලාගන්නවා. අපි ආදරේ කරලා බැන්දා වුණාට ඒ කාලේදී කරන ආදරයයි, බලාගැනිල්ලයි, දැන් මේ දක්වන ආදරයයි, බලාගැනිල්ලයි හරිම වෙනස්. එයා හැමවෙලේම කියන්නේ “පරිස්සම් වෙන්න... කියලයි. පුංචි පුංචි වැඩ කරන්න දෙනවා. මේ කාලේදී වැඩ නොකර හිටියොත් ඒක දරුවා ලැබෙද්දී ප්‍රශ්නයක් වෙන නිසා ඒ වැඩ කරද්දීත් අසේල මම ළඟට වෙලා ඉන්නවා. ඇත්තටම අසේලගේ ඒ ආදරය මට හොඳටම දැනෙනවා.
අම්මා කෙනෙක්ට ජීවිතේ ප්‍රථම දරු උපත ලබද්දී හරි අපූරු අත්දැකීම්වලට මුහුණ දෙනවනේ... නිරෝෂාට ඒක දැනෙන්නේ කොහොමද...?
ඇත්ත... ඒක නම් හරිම අපූරුයි තමයි... බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තු මුල්ම කාලේදී කුස ටික ටික ලොකුවෙන හැටි මම වින්දා. ඒක හරිම වෙනස් අත්දැකීමක්. ඊට පස්සේ චූටි පැටියා දඟලද්දී ඒක මට දැනෙනවා. ටිකක් හරි වෙනස් අත්දැකීමක් ලැබුණොත් මම ටග්ගාලා අම්මටයි, අක්කලාටයි කතා කරලා තියනවා. “බයවෙන්න එපා... ඔහොම තමයි... කියලා. ඒ අය හිනාවෙලා කියනවා. ඇත්තටම ජීවිතේ විඳපු ඒ අත්දැකීම් හරිම අපූරුයි. දැන් මේ දවස් ඉක්මනට ගෙවෙනකන් මම බලාගෙන ඉන්නවා.
මේ දවස්වල කලා කටයුතු කොහොමද...?
දැන් නම් ඒ කලා කටයුතු ඔක්කොම නවත්තලයි තියෙන්නේ. කරගෙන හිටපු වැඩ මේ ආරංචිය ලබන්න කලින් මම ඉවර කළා. මෙහෙම ඉදිද්දීත් කරන්න පුළුවන් නිර්මාණ දෙකකට මට ආරාධනා ලැබුණා. නමුත් මේ දරු පැටියා වෙනුවෙන් මම ඒ කාලය ගතකරන්න ඕනේ... මේ කාලයේදී ලබන අත්දැකීම් මට සුන්දරව ගත කරන්න ඕනේ. ඒ නිසා මම ඒ නිර්මාණ බාරගත්තේ නැහැ. මගේ නර්තන කණ්ඩායමේ වැඩකටයුතු කරගෙන යනවා. මම නර්තනයේ නොයෙදුණාට “නිරෝෂා තලගල විත් යූ... කියන නර්තන කණ්ඩායමේ වැඩ දිගටම කෙරෙනවා.
චූටි බබා ඉපදුණාට පස්සේ නිරෝෂා කොයි තරම් කාලයක් කලාවෙන් තාවකාලිකව අයින්වෙයිද...?
නර්තන කණ්ඩායමේ වැඩ කටයුතුනම් නතර වෙන්නේ නැහැ. හැබැයි මගේ පළමුවෙනි දරුවා නිසා මට ඒ දුරුවා වෙනුවෙන් වැඩි කාලයක් වෙන්කරන්න මම ආසයි. දරු පැටියා ඉපදුණාට පස්සේ මුල්තැන දෙන්නෙත් ඒ පුංචි දරුවා වෙනුවෙනුයි. ඒ නිසා කලාවෙන් කොයිතරම් කාලයක් මම ඈත්ව ඉදීවිද කියලා තාම හරියටම කියන්න බැහැ.
► Text - Dishani / Pic - Internet