2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා

මට කරන්න දෙයක් එයා ඉතුරු කරලා නෑ...

 2019 පෙබරවාරි 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

- කමල් අද්දරආරච්චි

කමල් අද්දරආරච්චි කියන නම කියන්නම්.... වෙන මුකුත් නොකියා ඉන්නම්..... ඒ හොඳටම ඇති නේද?
කමල් කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම...?

ඔහු හිනාවක් දාගෙනම කතාවට මුලපිරුවා.....
හොඳින් ඉන්නවා.... මේ දවස්වල වැඩි අවධානය ව්‍යාපාරික කටයුතුවලට තමා දීලා තියෙන්නෙ... තව මගේ ගොඩ කාලෙක ඉඳන් තියෙන සිහිනයක් තියෙනවා ඒක තමා මගේ වැඩකටයුතුවලට පහසුවෙන්න වෙනම පරිශ්‍රයක් නිර්මාණය කරන එක... ගොඩක් මහන්සිවෙනවා ඒ සිහිනයට ඉක්මනින් ළඟාවෙන්න. 

කමල් අද්දරආරච්චිගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු... ජීවිතේම පැයක දෙකක රූප රාමු කිහිපයකට කැටි කරපු  නිර්මාණයක් ගැන... කතාකරමුද...? ඒක තව කෙනෙකුට විඳින්න තරම් වටින එකක් නම් මරු.

හරි අපි කතාකරමු...
කමල්ගෙන් ලැබුණු කෙළින් උත්තරෙත් එක්ක වැඩේ පටන් ගත්තා...

මම ‍ගොඩක් ආසකරන නිර්මාණ නම් ගොඩක් තියෙනවා... 
අපි ෆිල්ම් එකක් ගැන කතා කරමු. මගේ හිත ගියේ මිලෝස් ෆෝමන් 1975 නිර්මාණය කරපු  One Flew Over the Cuckoo’s Nest කියන ෆිල්ම් එකට....
මේ චිත්‍රපටය දේශපාලන චිත්‍රපටයක්ද, මනෝවිද්‍යාත්මක චිත්‍රපටයක්ද? නැත්නම් අසාධාරණයක් වෙනුවෙන් සිස්ටම් එකක් වෙනස් කරන්න හදන චිත්‍රපටයක්ද කියලා එකපාරටම ග්‍රහණය කරගන්න අමාරු ෆිල්ම් එකක්... ඒත් මේ චිත්‍රපටයේ ඇතුළාන්තයේ මේ හැමදේකටම දාගන්න පුළුවන් කතා ප්‍රස්තූතයක් තියෙනවා...

මේ කතාව ගොඩනැගෙන්නේ මානසික රෝහල් පසුබිම් කරගෙන... මේ චිත්‍රපටය නරඹද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මානසික රෝහලත් අපි ජීවත්වෙන සමාජය වගේ කියලා... ඒකට හේතුව තමයි මේ රෝහලේ සිදුවෙන සිදුවීම් හරිම තාත්ත්විකයි...  සාමාන්‍යයෙන් අපි දන්න විදිය තමයි මානසික රෝහලක් වුණාම ඒකෙ ඉන්න අය විකාර වැඩකරන අය කියලානෙ... ඒත් මේකෙ එහෙම නෑ...

මේ වගේ පරිසර වටපිටාවක් තුළ මැක්මර්ෆී කියලා පුද්ගලයෙක්ව මානසික රෝහලට අරගෙන එනවා... කාලයක් යද්දි අපිට තේරෙනවා... මේ මනුස්සයට පිස්සු නෑ.. වෙන අරමුණක් නිසා තමයි ඔහු මේ මානසික රෝහලට ඇවිත් තියෙන්නෙ කියලා... ඒක තමා ඔහු යම්කිසි වැරැද්දක් කරලා නීතියෙන් ගැලවීම සඳහා... කරන උපායක් විදියට... 

දැන් තමයි... හොඳම හරිය.... පිස්සෙක් නොවන මිනිහෙක් ඇත්තටම පිස්සො ඉන්න තැනකට ඇවිල්ලා ඒ අයත් එක්ක එකට ජීවත්වෙන විදිය තමයි මේ චිත්‍රපටයෙන් දිග ඇරෙන්නෙ... අපි පිස්සන් කියලා ලේබල් ගහපු මිනිස්සු එක්ක මැක්මර්ෆී කියන මනුස්සයා සාමාන්‍ය ජීවිතයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ මිනිස්සුන්ට යම්කිසි මානසික සහනයක්, මඟපෙන්වීමක් කරන්න වෑයම් කරනවා... මේ රෝහලේ විවිධ විවිධ පන්තිවල, විවිධ විවිධ වයස්වල රෝගීන් ඉන්නවා... ඒ අය රෝගීන් වුණත් ඒ අයගේ අවශ්‍යතා විවිධයි... මොකද මානසික රෝහලක වැඩසටහන යන විදියක් තියෙනවා... බෙහෙත් දෙන්නෙ එක වෙලාවක, මියුසික් දාන්නෙ තව වෙලාවක, කන්න බොන්න දෙන්නෙ ඔක්කොටම එකට... මෙතන තරුණ අයත් ඉන්නවා.. ඒ අයට වෙනමම අවශ්‍යතා තියෙනවා... මේ සියලුදෙනාගේ අවශ්‍යතා වෙනුවෙන් මැක්මර්ෆී පාලන අදිකාරියත් එකක් ගැටුම් ඇති කරගන්නවා... සමස්ත සගයන් වෙනුවෙන් ඔහු පෙනී සිටිනවා. මැක්මර්ෆීගේ  චරිතයට පණ පොවන්නේ ජැක් නිකල්සන් ඔහු හරි දක්ෂ විදියට ඒ චරිතය නිරූපනය කරනවා. එක මොහොතක මැක්මර්ෆී මානසික රෝහලේ බස් එක හොරෙන් අරගෙන අනිත් සගයනුත් ඒ බස්එකට දාගෙන ට්‍රිප් එකක් යනවා. ඔවුන් යන්නෙ බෝට් යාඩ් එකකට.. ඒ බෝට් යාඩ් එකේ ඉන්න මනුස්සයා දකිනවා මානසික රෝහලේ බස් එක බෝට් යාඩ් එක අසල නවත්තල තියෙන බව. ඔහු ඇවිත් විමසනවා... ඔබලා කවුද කියලා... මැක්මර්ෆී තමන්ගේ සගයන්ව අඳුන්වා දෙනවා මේ ඔක්කොමලා දොස්තරවරු, මහාචාර්යවරු, ආචාර්යවරු කියලා... ඒ යාඩ් එකේ හිටපු මනුස්සයා ඒ කතාවට රැවටෙනවා.. මැක්මර්ෆී ඇතුළු සගයන්ට සවාරියක් යන්න මේ බෝට් යාඩ් එකේ මනුස්සයා බෝට්ටුවක් දෙනවා... මේ අය හොඳට විනෝදවෙලා නැවත රෝහලට එනවා.  මේ අයට ආවට පස්සෙ රෝහලේ ඉන්න පාලකවරියට තේරෙනවා තවදුරටත් මැක්මර්ෆීව මෙල්ල කරන්න බෑ කියලා.. ඔහුට ‍මොළයට ප්‍රතිකාරයක් කරන්න කියලා එක්ක ගිහින් ඔහුට කරන්ට් එක අල්ලනවා.. පස්සෙ ඔහු ටිකක් ඔත්පල වෙනවා... මේ චිත්‍රපටය පුරාවට අපිට දකින්න ලැබෙනවා යම් අරමුණක් වෙනුවෙන් මිනිසුන්ව දැඩිලෙස තලා පෙලා අසරණ කරන හැටි... මිනිස්සුන්ගේ ඉතා සියුම් හැඟීම් තෙරුම් නොගෙන ඔවුන්ව අයුතු ලෙස පාලනය කරන්න යෑමෙන් වෙන ඛේදවාචක හරි අපූරු චිත්‍රපටයක් විදියට ගොඩනගලා තියෙනවා. මේ චිත්‍රපටයේ එන්ඩ් එක මම නොකියා ඉන්නම් නේදෙ? මොකද මේක චිත්‍රපටය තව කෙනෙක් බලනවා නම් අවසානය කීමෙන් ඒ චිත්‍රපටයේ රසය අඩුවෙන්න පුළුවන්.. නිසා... 

One Flew Over the Cuckoo’s Nest කියන නමත් හරි විශේෂයි. මේ නමේ සිංහල තේරුම තමයි... එක් කොහාගේ කුඩුව උඩින් පියඹලා ගියා කියන එක... අපේ ළමා කාලේ, නැත්නම් බාලාංසයේ ඉංග්‍රීසි කියමනක් තියෙනවා... එක්කෙනෙක් ගියා නැගෙනහිරට... One Flew Over the Est තවත් එක්කෙනෙක් ගියා බටහිරට... One Flew Over the west තව එක්කෙනෙක් ගියා කොහාගේ කූඩුව උඩින්... කියලා... කොහා කවදාවත් කූඩු හදන්නෙ නෑනෙ... ඒකෙ තේරුම තමයි කවදාවත් යන්න බැරි ගමනක් කියන එක... මම දැකපු හරිම අර්ථාන්විත චිත්‍රපටයක් තමයි One Flew Over the Cuckoo’s Nest කියන්නෙ... දැනුත් මට මතක් වෙද්දි හරි සංවේදීයි.. ඒ චිත්‍රපටයේ සිද්ධි...

One Flew Over the Cuckoo’s Nest එක ඇතුළේ කමල්ට කැමතිම චරිතෙකුක් ඇති නේද?
කතා දෙකක් නෑ මැක්මර්ෆීගේ චරිතයට තමයි මම කැමති. ඒ චරිතයට ජැක් නිකල්සන්ට ඒ කාලේ හොඳම නළුවාට හිමි සම්මානය පවා ලැබුණා... මේ චිත්‍රපටයේ පාලකවරියටත් හොඳම නිළිය සම්මානය ලැබුණා... ඇකඩමි සම්මාන ගණනාවක් ලබාගත් චිත්‍රපටයක් තමයි One Flew Over the Cuckoo’s Nest කියන්නෙ...

කමල්... මානසික රෝහලේ මැක්මර්ෆී  වෙලා බලමුද? 
හ්ම්.... කමල්ගෙන් සුසුමක්....

මම හිතන්නෙ නෑ... මට කරන්න දෙයක් ජැක් නිකල්සන් ඉතුරැ කරලා තියෙනවා කියලා.. මට විතරක් නෙමේ... වෙනකාටවත් ඉතුරු කරලා නෑ කියලයි මගේ අදහස...

මේ වගේ විප්ලවීය චරිත කමල්ට සැබෑ ජීවිතය මුණගැහිලා තියෙනවාද?
මැක්මර්ෆී වගේ චරිත හරිම අව්‍යාජයි..  අපිට ලංකාවේ මුණගැහෙන බහුතයක් විප්ලවීය චරිත තනිකර සුදු චරිතනේ... ඒ අය කිසිම වැරැද්දක් කරලා නෑ කියලා මවාපාගෙන තමයි ඉන්නෙ.. බොරුවෙන් තමයි ඒ අය ජීවත්වෙන්න උත්සාහ කරන්නෙ.. සැබෑ විප්ලවීය චරිත නෙමේ... මේ චිත්‍රපටයේ ඉන්න මැක්මර්ෆීගේ චරිතය කළු සුදු දෙකම තියෙන චරිතයක්. හරිම කලාතුරකින් තමයි අපිට මේ වගේ චරිත මුණගැහෙන්නෙ.. 

මේ චිත්‍රපටය අහම්බෙන්ද දැක්කා වෙන්න බෑ නේද? කී වතාවක් බැලුවද මේක?
මතක විදියට මේ චිත්‍රපටය මට මුණගැහෙන්නෙ  මම පාසලේ යන කාලේ.. එත කොටම මම පාසලේ රංගනය හදාරනවා....  චිත්‍රපට ශාලාවට ගිහින් තමයි ‍මේ  චිත්‍රපටය නැරඹුවේ.  ‍මේ චිත්‍රපටය මම හත් අටපාරකට වඩා බලලා ඇති... 

මේ නිර්මාණයේ ඔබේ හිතට තදින් දැනුණු තැනක් මතකද ?
ඔව් එක තැනක් තියෙනවා... මැක්මර්ෆීව පාලන අධිකාරියට කරදයක් වෙලා... ඔහුව අඩපණ කරන තැන... ඒ අවස්ථාව හරිම සංවේදී.... මොකද හරිම නිදහසේ හිටපු මනුස්සයෙක්ව කුරිරු විදියට හිංසනයට පත්කිරීම හරිම කනගාටුදායක අවස්ථාවක්.. 

චිත්‍රපටය අවසානයේ කමල් ලබාගත්ත ඵලය මොකක්ද? 
මේ චිත්‍රපටයෙන් බලලා ඉවර වුණාම මට දැනුණේ මම සමාජ අධ්‍යනයක් කරාවගේ කියලා.. සුවිශේෂි සමාජය විග්‍රහයක් තියෙනවා ඒ තුළ.. ව්‍යාංගාරථයෙන් සමාජයේ තියෙන හිඩැස් තැන් හරි අපූරුවට පෙන්නලා තියෙනවා.. සං‍කේතාත්මක විදියට හැම චරිතයකින්ම සමාජය හැම පැතිකඩක්ම නියෝජනය කරනවා. අමෙරිකානු  සමාජයේ තියෙන විෂමතාවන් තමයි නිර්මාණයක් විදියට ඉදිරිපත් කරේ...  හැබැයි කාටවත් කියන්න බෑ... ඒක අ‍ෙමරිකන් කතාවක් කියලා... ලෝක ජීවත් වන අපි හැමෝටම මේකෙන් ගන්න දේවල් තියෙනවා.. 

One Flew Over the Cuckoo’s Nest චිත්‍රපටයේ එන්ඩ් එකේදී කමල්ට ඇත්තම දැනුනෙ මොන වගේ හැඟීමක්ද?
පළවෙනි සැරේ මේ චිත්‍රපටය බලනකොටම විනෝදාමක් චිත්‍රපටයක් කියලා තමයි මට දැනුණේ... නමුත් දෙවැනි සැරේ බලනකොට මේ විනෝදය යටින් තියෙන ඛේදවාචකය මම දැක්කා.... ඇත්තටම දුකක් දැනුණා....

 

► Text - Danushka Wijesiri   /   Pic- Internet