හොලිවුඩ් සිනමාවට ආදරය කරන රසික රසිකාවියන්ට ඇකඩමි සම්මාන උළෙල එහෙමත් නැත්නම් කවුරැත් දන්නා පරිදි ඔස්කාර් සම්මාන උළෙල කියන්නේ සුන්දර රැයක්. අවුරුද්දක් පුරාවට ආසාවෙන් නැරඹූ සිනමා පට වගේම තමන්ගේ ප්‍රියතම හොලිවුඩ් තාරකාවන් දැකුම්කලු වෛවර්ණ ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා ඇවිත් සම්මාන දිනාගන්නවා බලන්න හැමෝම ආසයි. ඉතින් 91 වැනි ඔස්කාර් සම්මාන උළෙල පහුගිය සතියේදී පැවැත්වුණා. රසබර කතා ගොඩක් පිරුණු මේ සුන්දර රාත්‍රියට ඔබත් එක්ක ගමන් කරන්නයි මේ සූදානම.
වෙනත් ඕනෑම සම්මාන උළෙලකදී වගේම ඔස්කාර් සම්මානවලදීත් රතු පලස මතින් ඇවිද ගෙන එනවිට තමයි තාරකාවල හැබෑ ලස්සන දකින්න පුළුවන්. ලෝකේ ඉන්න විශිෂ්ටතම විලාසිතා නිර්මාණවේදින්ගේ මිලාධික විලාසිතා නිර්මාණවලින් සැරසී එයාලා රතු පලස මතින් උත්සව ශාලාවට ඇතුළු වෙනවා.
මෙවර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත නාම පහුගිය ජනවාරි මාසයේදීම නම් කෙරුණා. ඒ නිර්දේශිත නම් අතර A star is born සිනමා පටයේ සුවිශේෂී රංගනයක් ඉදිරිපත් කළ ජනප්‍රිය පොප් ගායිකා ලේඩි ගාගාත් සිටීම විශේෂත්වයක්. කොහොම නමුත් හොඳම නිළිය සම්මානය දිනාගත්තේ The Favorite චිත්‍රපටය වෙනුවෙන් ඔලිවියා කොල්මන්. ඒ අතර බොහිමියන් රප්සෝඩි සිනමාපටයේ ෆ්‍රෙඩි මර්කරිගේ චරිතය නිරූපණය කරමින් ඉදිරිපත් කළ විශිෂ්ට රංගනය වෙනුවෙන් රමි මලෙක්ට හොඳම නළුවා සම්මානය හිමිවුණා.
හොඳම චිත්‍රපටය ලෙස නම් කෙරැණේ, Green Book සිනමා පටයයි. නමුත් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස තේරී පත්වුණේ මෙක්සිකානු සිනමාපටයක් වූ ROMA හි අදියුරැ අල්ෆොන්සෝ කුවාරොන්. මේ හොඳම ත්‍රිමාන සජීවීකරණ චිත්‍රපටය ලෙස Spider-Man: Into the Spider-Verse සම්මාන දිනාගත්තා. ප්‍රධාන සම්මාන කාණ්ඩ අතුරින් වැඩිම සම්මාන ගණනක් හිමිකරගත්තේ බොහිමියන් රප්සොඩි වීමත් කැපී පෙනුණා. හොඳම නළුවාට අමතරව, හොඳම සංස්කරණය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම ශබ්ද සංස්කරණය යන සම්මානත් ඊට හිමිවුණා.
ඒ වගේම මෙවර සම්මාන හිමිකර ගැනීමේදී හොඳ විවිධත්වයක් දකින්න ලැබුණු බවටත් බොහෝ විචාරකයින් අදහස් දැක්වූවා. හොඳම නළුවා, හොඳම සහාය නළුවා, හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාරෑපී ඉදිරිපත් කිරීම ආදී සම්මාන රාශියක්ම ලොව විවිධ කලාපවලට සම්භවයක් ඇති පුද්ගලයින්ට හිමිවීම ඊට හේතුවයි.
A star is born චිත්‍රපටය තිරගත වූ දා ඉඳන්ම බ්‍රැඩ්ලි කූපර් සහ ලේඩි ගාගා ගේ ගැලපීම ගැන ගොඩක් සිනමා රසිකයෝ කතා කළා. ඉතින් ඒ ගැලපීම මෙදා ඔස්කාර් උළෙලේ වේදිකාව මතට ගෙන ඒමටත් ඒ දෙදෙනා සමත්වුණා. ඒ එම සිනමා පටයේ Shallow කියන ගීතයට හොඳම ගීතයට හිමි සම්මානය හිමිවීමයි. ඉදින් තිරයේ තිබුණු සුන්දරත්වය වේදිකාව මතට ගෙන එමින් එම ගීතය සජීවීව ගායනා කරන්න බ්‍රැඩ්ලිත් ලේඩි ගාගාත් අමතක කළේ නැහැ.
මේ ගීත ගායනය ගැනත් මේ වනවිට හොලිවුඩය පුරා විවිධ කට කතා මැවෙනවා. ඔවුන් දෙදෙනා ඉතාම හොඳට ගී ගායනය ඉදිරිපත් කළා විතරක් නෙමේ, ගීතය අවසානයේදී ඔවුන් දෙදෙනා කොයිතරම් සමීපවෙලා හිටියාද කියතොත් මුළු ප්‍රේක්ෂකාගාරයම හිතුවේ ඔවුන් දෙදෙනා සිපගනීවි කියලයි. ඒ වගේම ඔස්කාර් රාත්‍රියට සති කිහිපයකට කලින් ලේඩි ගාගාගේ පෙම්වතා ඇයව හැරගොස් තිබීමත් මොවුන් දෙදෙනා අතර රහසිගත ආදරයක් ඇති බවට සාක්ෂියක් බවයි හොලිවුඩයෙන් ආරංචි වෙන්නෙ.
ඔස්කාර් රාත්‍රියේ තවත් අමතක නොවන සිදුවීමක් තමයි BlacKkKlansman චිත්‍රපටය සඳහා හොඳම තිර රචනයට වූ සම්මානය හිමි බව නිවේදනය කළ පසු එම සම්මානයේ හිමිකරැ වූ ස්පයික් ලී වේදිකාවට පැමිණි මොහොත. ඒ වෙලාවේ බ්‍රියේ ලාසනුත් වේදිකාව මත හිටියා. වේගයෙන් වේදිකාවට පැමිණි ස්පයික් මුලින්ම කළේ උඩපනිමින් ඔහුට සම්මානය ප්‍රදානය කිරීමට පැමිණ සිටි සැමුවල් ජොන්සන් බදාගැනීමයි. අන්තිමේදී සැමුවෙල්ට ටික වෙලාවක් ස්පයික්ව වඩාගෙන ඉන්නත් සිද්ධ වුණා.
ඔලිවියා කොල්මන් තමන්ට හොඳම නිළිය සම්මානය ලැබුණු පසු කළ කතාව ගැනත් ගොඩක් අය විවිධ මත පළ කරනවා. සමහරුන්ට අනුව ඒක හරිම විනෝද ජනක කතාවක්. පළමු වතාවට ඔස්කාර් සම්මානයකට නිර්දේශ වෙච්ච ඇය තමන්ට එම සම්මානය හිමිවීම ගැන අදහාගත නොහැකි ප්‍රීතියකින් කතාකළා.
“මේක නම් හරිම පිස්සුවක්. මට ඔස්කාර් එකක් ලැබුණා. හිතාගන්නවත් බෑ.”
ඒ වගේම හත් වතාවක් ඔස්කාර් හොඳම නිළිය සඳහා නිර්දේශ වුණත් එම සම්මානය ලබාගන්න නොහැකි වුණු ග්ලෙන් ක්ලෝසන්වත් ඇය තමන්ගේ ස්තූති කතාවේදී මතක් කළා.
“ග්ලේන් ඔයා තමයි මගේ ආදර්ශය. අවුරුදු ගාණක් තිස්සේ. ඔයා එක්ක තරග කරලා කීයටවත් මේ සම්මානය දිනාගන්න මට වුවමනා කළේ නැහැ. මට සමාවෙන්න. මගේ සැමියා වගේම හොඳම මිතුරා තමයි එඩ්. අවුරුදු විසි පහක් තිස්සේ එයා තමයි මට වැඩියෙන්ම සහාය වුණු කෙනා. මම දන්නවා ඔයත් මේ වෙලාවෙ සතුටට අඬනවා කියලා” ඒ වගේම ඇය කතාව නිමකළේ ලේඩි ගාගාට හාදුවක් පියාසර කර යවමිනුයි.
මෙවර සම්මාන උළෙලේ විශේෂත්වයක් වුණේ කිසිම සන්නිවේදකයෙකු දකින්න නොලැබීමයි. මේ නිසා සම්මාන උළෙල නීරසව ගෙවී යාවි කියලා ගොඩක් දෙනෙක් හිතුවත්, රාත්‍රිය පුරා තිබුණු විවිධ ඉදිරිපත් කිරීම් සහ හාස්‍යෝත්පාදක චිත්‍රපටිවල ජවනිකා තුළින් සභාවට විනෝදය ගෙන එන්න සංවිධායකයෝ සමත් වුණා.
හොඳම නළුවා සම්මානය අතට ගනිමින් රමි මලෙක් තමන්ගේ ප්‍රධානම ස්තූතිය පුදකළේ ෆ්‍රෙඩි මර්කරිගේ සංගීත කණ්ඩායමටයි. ඒ තමන්ව ඒ චරිතයට තෝරාගැනීමට ඔවුන් ලබාදුන් සහාය නිසායි.
“මිත්‍රයිනි, මේ සම්මානය වෙනුවෙන් මම සදා ඔබේ ණයකරුවෙක්” මලෙක් පැවසුවා. හැබැයි කතාකරලා අවසන් වෙලා ආපහු තමන්ගේ ආසනය වෙත යද්දී මලෙක්ව වේදිකාවෙන් බිමට ඇදගෙන වැටීමත් විශේෂ සිද්ධියක්. හැබැයි එයින් ඔහුට හෝ ඔහු අතේ තිබුණු සම්මානයට කිසිම අනතුරක් වුණේ නැහැ.
මේ අතර රතු පලස මතදී බිලී පෝටර් දිහාවටත් ගොඩක් දෙනෙක්ගේ ඇස් යොමුවුණා. මොකද ඔහු ඇඳගෙන ඇවිත් තිබුණු ඇඳුම ගැහැනු පිරිමි දෙවර්ගයටම අයත් නොවන එකක්. ඒකෙ උඩුකය ටක්සිඩෝ කෝට් එකක් වගේත් ඉනෙන් පහළ කොටස දිග ගවුමක් වගේ තමයි සකස් කරලා තිබුණේ. ඒක ඇත්තටම අපූරු විලාසිතා අත්හදාබැලීමක් කිව්වත් වැරදි නැහැ.
► Text - Suranga