2019 මාර්තු 02 වන සෙනසුරාදා

ඒක මහ අමුතුම චිත්‍රපටයක්

 2019 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 12:31 186

මේ දවස්වල ජයසිරි මොකද කරන්නේ?
මේ දවස්වල නිර්මාණ කිහිපයකම වැඩ කරනවා. පසුගිය කාලවලදී අපි කරපු හඳගමගේ අසන්ධිමිත්තා චිත්‍රපටයේ වැඩකටයුතු ඉවර කළා. ඒක ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැකබලාගන්නට පුළුවන් වේවි. ඊට අමතරව මනෝරත්නගේ හඳ නිහඬ නෑ වේදිකා නාට්‍යයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ වේදිකා නාට්‍යක් වරින්වර වේදිකාගත වෙනවා. ඊට අමතරව කෙටි චිත්‍රපටයකත් වැඩ කළා. තව චිත්‍රපට සහ නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. හැබැයි තාම ඒවාවල වැඩ පටන්ගත්තේ නැහැ. ඒ වගේම සිඳූ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලටත් සුපුරුදු විදිහට සහභාගී වෙනවා.

හඳගමගේ අසන්ධිමිත්තා චිත්‍රපටය වගේම ඔබ රඟපාන චරිතයත් ටිකක් වෙනස්. ඒ චරිතය ගැන ජයසිරිට මොකද හිතෙන්නේ?
අසන්ධිමිත්තා චිත්‍රපටයේ මම දායක වෙන චරිතය ගැනනම් මට කියන්න බැහැ. ඒක අමුතුම වර්ගයේ චිත්‍රපටයක්. මෙතෙක් කල් අපි පෙන්වපු, අපි දැකපු චිත්‍රපටවලට වඩා හාත්පසින්ම වෙනස් නිර්මාණයක්. මම හිතන විදිහට විචාරකයන් පවා විශාල අර්බුදයකට මේ චිත්‍රපටය ගෙනයාවි. පශ්චාත් නූතනවාදී කියන ලේබල් මේ චිත්‍රපටයට අලවන්න ඕනෙ නෑ. මම මේක දකින්නේ කොමඩියක් විදිහටයි. හැබැයි ඔය කියන බාල විහිළු මේ චිත්‍රපටයේ නැහැ. යමක් හිතන්න පුළුවන් චිත්‍රපටයක් විදිහට මම අසන්ධිමිත්තා හඳුන්වනවා. අසන්ධිමිත්තා චිත්‍රපටයේ තියන විශේෂත්වය තමයි ප්‍රේක්ෂකගාරය චිත්‍රපටයත් එක්ක සම්බන්ධ කරන්නේ නැතිකම. හැමවෙලේම ප්‍රේක්ෂකයා ඉන්නේ චිත්‍රපටයේ සිද්ධ වෙන දේවල්වලින් තමා පිළිබඳව අධ්‍යයනයත් එක්කයි. තමා ගැනම කියවීමත් මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරනවා. සාමාන්‍යයෙන් ඉස්සර පෙන්නපු චිත්‍රපට බලලා ඒවත් එක්ක ප්‍රේක්ෂකයා බැඳෙනවනේ. විජය කුමාරණතුංග වගේ වෙනවා. මාලනී ෆොන්සේකා වගේ වෙනවා. ගීතා කුමාරසිංහ වගේ වෙනවා. ඒ චරිත එක්ක බැඳෙන්න ප්‍රේක්ෂකයන් උත්සාහ දරනවා. නමුත් මීට කලින් ධර්මසිරි පතිරාජ කරපු චිත්‍රපටවල ඉන්න චරිතයන් වෙන්න කිසිම ප්‍රේක්ෂකයකු කැමති වුණේ නැහැ. ඒක පතී හඳුන්වලා දුන්නා. ඒ වගේම හඳගමගේ අසන්ධිමිත්තා කියන මේ චිත්‍රපටයත් ජීවිතය ගැන විශාල කතාන්දරවක් කියනවා. ඒක ගොඩක් වෙනස්. ඒ ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට අසන්ධිමිත්තා තුළින් දකින්නට ලැබේවි. ඒ නිසා නොබෝ කලකින් තිරගත වෙන අශෝක හඳගමගේ අසන්ධිමිත්තා චිත්‍රපටය බලන්න කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒක වෙනස්ම අත්දැකීමක් වේවි. කතා කරන්න දෙයක් ඉතිරි වේවි. මට හිතන විදිහට අසන්ධිමිත්තා කියන්නේ වෙනස් වූ, අමුතු වූ, මෙතෙක් ලංකාවේ නිර්මාණ නොවුණු චිත්‍රපටයක්.

ජයසිරිගේ ළමා කාලය ගැන අපි ටිකක් මතක් කරමුද?
ළමා කාලය කියලා මට එහෙම සුන්දර ළමා කාලයක් තිබුණේ නැහැ. මම වැඩිපුර ගෙදර නෙවෙයි හිටියේ. ඉස්කෝලවල් කිහිපයකම ඉගෙනගත්තා. සමහර කාලවලදී ඉස්කෝලෙ හොස්ටල්වල ජීවිතේ ගෙවුණා. තවත් සමහර කාලවලදී නෑදෑ ගෙවල්වලත් ජීවිතේ ගෙවුණා. ඇත්තටම මගේ බාල කාලය ගැන කතා කරන්න මම වැඩිය කැමතිත් නැහැ. අපිට ආර්ථික කරදර තිබුණේ නැහැ. නමුත් මම නැවතිලා හිටපු තැන්වලින් මම වාසය කරපු තැන්වලින් මට ලැබුණු නොසැලකිලිකම් හින්දම මගේ ළමා කාලය ගෙවුණේ කැමැත්තකින් නෙවේ. ඒ නිසා ඒ ජීවිතය ආයෙ ආයෙ මතක් කරන්නවත් මම කැමති නැහැ. හැබැයි ඉතින් ඒ හැමදේම මගේ අද ජීවිතේට ගොඩක් ප්‍රයෝජනවත් වුණා කියලා මට හිතෙනවා.

ඔබ පාසැල් කිහිපයකම ඉගෙනගත්තා?
ඔව්... මම මුලින්ම ගාල්ල කිතුලම්පිටිය සී.සී. බාලක පාසලෙන් ඉගෙනගත්තා. මම හෝඩියෙ ඉඳන් තුන්වැනි පන්තියට වෙනකන් ඉගෙනගත්තා. අවුරුදු දෙකයි මම ඒ පාසැලෙන් ඉගෙනගත්තේ. මට ඩබල් ප්‍රමෝෂන් එකක් ලැබුණා. ඊට පස්සේ මාතර ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ පාසලේ කුමාරතුංග මුණිදාසයන් පවා උගන්වලා තිබුණා. ශාන්ත විද්‍යාලෝක විද්‍යාලයෙන් තමයි මම විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්නේ.වුණු විශ්ව විද්‍යාල ජීවිතය හරි අපූරු ඇති නේද?

ඔව්.. විශ්ව විද්‍යාල ජීවිතය පුදුම ජොලි ජීවිතයක්. අපි විශ්ව විද්‍යාලවලට ඇතුළු වූ කාලයේදී ලංකාවටම විශ්ව විද්‍යාල තුනයි තිබුණේ. ඒ ලංකා විශ්ව විද්‍යාලය, විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලය කියලා. ඒකෙන් මම ඇතුළත් වුණේ ලංකා විශ්ව විද්‍යාලයට. ආණ්ඩුවේ තිබුණ උසස් පාඨශාලා පත්‍ර විභාගෙන් පාස් වුණාට පස්සේ ඒ අය කෙළින්ම විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබලා තියෙනවනම් ඒ අයට ලංකා විශ්ව විද්‍යාලයට තමයි ඇතුළත් කරගත්තේ. ඉතින් මාවත් ඒකට ඇතුළත් කරගත්තා.

විශ්ව විද්‍යාලයේදීද ඔබ කලාවට නැඹුරු වුණේ?
ඔව්. මම කලා කටයුතුවලට නැඹුරු වුණේම විශ්ව විද්‍යාලයේ ඉද්දි තමයි. මම 1965 අවුරුද්දේදී තමයි විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ. ඒ කාලේ විශ්ව විද්‍යාලයේ නාට්‍ය සංගමයේ සංස්කාරක වුණේ මමයි. ඉතින් අපි මාස දෙක තුනකට සැරයක් නාට්‍ය උළෙලක් විශ්ව විද්‍යාලයේ පවත්වනවා. ඒකෙදි හෙන්රි ජයසේන නාට්‍ය උළෙලක්, සරස්චන්ද්‍ර නාට්‍ය උළෙලක්, සුගතපාල සිල්වා නාට්‍ය උළෙලක්, ගුණසේන ගලප්පත්ති නාට්‍ය උළෙල වගේ නාට්‍ය උළෙල කිහිපයක්ම පැවැත්වුවා. සුගතපාල ද සිල්වා මගේ ඉතාමත් හිතවත් මිත්‍රයෙක් වුණා. මට වඩා ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් වුණ බන්දුල විතානගේ ඔහුත් එක්ක ඉතාමත් කිට්ටුයි. ඔය අතරේ පේරාදෙණිය හිටපු පතීත් මගේ හොඳ මිත්‍රයෙක් වුණා. ඔය මිත්‍ර සම්බන්ධකම් එක්ක නාට්‍යවලට තියෙන ඇල්ම කලාවට තියෙන ආසාව මටත් ඇති වුණා. කලාවට ආදරේ කරන පිරිසක් එක්ක ගැවසෙද්දී කලා උණක් මටත් ඇති වුණා.

ජයසිරි දායක වුණ මුල්ම නිර්මාණය මොකද්ද?
හරිම බඩු හයක් කියන නාට්‍යයේ දෙවැනි නිෂ්පාදනයේ රඟපාන්න මටත් අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ඉතින් වේදිකා නාට්‍ය බොහෝමයකට දායකවෙන්න මට අවස්ථාව ලැබුණා.

විශ්ව විද්‍යාල ජීවිතෙන් පස්සේ ඔබේ මුල්ම රැකියාව මොකද්ද?
විශ්ව විද්‍යාලයෙන් පස්සේ මගේ මුල්ම රැකියාව වුණේ ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. අදනම් ඒ වගේ තැන්වලට යන්න කාගෙ හරි පන්දමක් තිබුණොත් ඇතිනේ. ඒ කාලේ එහෙම නැහැ. සුදුස්සාට සුදුසුකම ලැබුණා. මම සම්මුඛ පරීක්ෂණ තුනකට සහභාගී වෙලා තමයි ඒ රැකියාව ලබාගත්තේ. අපි ඇතුළු වෙද්දී අධ්‍යක්ෂක ජෙනරාල් සභාපති වුණේ නෙවිල් ජයවීර මහතායි. අපිත් එක්ක ගුවන්විදුලි සංස්ථාචවට ඇතුළු වුණ සමහරු අද මියගිහින්. තවත් සමහරු හොඳ කලාකරුවන්. තිලක් ජයරත්න, යූ. ආරියවිමල්, දයා තෙන්නකෝන්, පියදාස රත්නසිර, අපි ඔක්කොම එකට ගුවන්විදුලියට එකතු වුණු සමකාලීන අය.

ගුවන්විදුලි සංස්ථාව ඔබට මොන වගේ තැනක් වුණාද?
ගුවන්විදුලි සංස්ථාව තමයි ඒ කාලේ තිබුණ එකම සන්නිවේදන ආයතනය වුණේ. ඒ කාලේ රූපවාහිනිය, එෆ්. එම්. නාලිකා එහෙම තිබුණේ නැහැ. ඒ නිසා ගුවන්විදුලියට නොයන කලාකාරියක්, කලාකරැවෙක්, මහාචාර්යවරයෙක්, පඬිවරයෙක් නැති තරම්. හැමෝම ගුවන්විදුලි සංස්ථාවට ආවා. ඒ නිසා ඇත්තටම ගුවන්විදුලිය කියන්නේ ඒ කාලේ විශ්ව විද්‍යාලය වගේ තැනක්. අද නම් ඒක කොයි ආකාරයෙන් විග්‍රහ කරන්න බැරි තැනක්. කලාකාරයෝ හැමෝම එතැනදී මුණගැහුණා. ඒ වගේ තැනක රැකියාවක් කරනවා කියන්නේ විශාල අත්දැකීම් ගොන්නක් ජීවිතේට එකතු වුණු තැනක්. මුළු කලා ලෝකයම මම එතැනින් හඳුනගත්තා.

ඊටපස්සෙද ඔබ චිත්‍රපටවලට දායක වෙන්නේ?
ඒ කාලේ ඉඳන්ම ඉතින් චිත්‍රපටවලට දායක වුණා. පතී මගේ මිත්‍රයෙක්නේ. ඒ නිසා පතී එක්ක එකතු වෙලා චිත්‍රපටවල වැඩ කළා. ගුවන්විදුලියේ ඉද්දි මම දේශපාලනය කළා. බාලාතම්පොගේ වෘත්තීය සමිතියේ හැත්තෑ හත ඡන්දයේදී ජේ. ආර්. ජයවර්ධනට විරුද්ධව වැඩ කරලා අපි පැරදුණා. ඒ නිසා මම ගුවන්විදුලියෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා කලාවට යොමු වුණා.

අද වෙද්දි බොහෝ නිර්මාණවලට දායක වුණු අත්දැකීම් බහුල කලාකරුවෙක් විදිහට ජයසිරිට චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න හිතෙන්නේ නැද්ද?
ඔව්.. අධ්‍යක්ෂණය කරන්නත් මම ආසයි. හැබැයි මට අධ්‍යක්ෂණය කරන්න තරම් තවමත් ඉවසීමක් නැහැ. අධ්‍යක්ෂකවරයකුට හොඳ ඉවසීමක් තිබිය යුතුමයි. මම ළඟ ඒ ඉවසීම නැහැ. මගේ තිර පිටපතකුත් මට තියෙනවා. අධ්‍යක්ෂණකය කරන්නත් ආසයි. බලමු මැරෙන්න කලින් මා තුළ ඒ ඉවසීම ගොඩනැගුණොත් මම අධ්‍යක්ෂණය කරාවි. හැබැයි ඉතින් රඟපාන එක ඊට වඩා නිදහස්.

අධ්‍යක්ෂණය කරන්නට ඉවසීම නැති වුණාට ඔබ අතින් හරි අපූරැ ගීත නිර්මාණ කිහිපයක්ම බිහිවුණා. විශේෂයෙන් උඳුම්බරා හිනැහෙනවා ඉර අඳුරට නැති වෙනවා වගේ ගීත?
ඔව්. ගීත වගේම කෙටි කතා මගේ අතින් ලියවුණා. මෑත කාලෙදිත් මම ගීත කිහිපයක්ම ලිව්වා. සංගීත් විජේසූරියටත් ගීත කිහිපයක්ම දීලා තියෙනවා. ඉදිරියේදී ඒවා බොහෝ දුරට නිර්මාණ වේවි. ඊට අමතරව පසුගිය කාලයේදී ටෙලි නාට්‍ය කිහිපයකටත් ගීත ලිව්වා. ඔය අතරින් මම මුලින්ම ලියපු ගීතය පතීගේ බඹරු ඇවිත් චිත්‍රපටයේ උඳුම්බරා හිනැහෙනවා ගීතය. ඒක පතීගේ ඉල්ලීමට ලියපු ගීතයක්. රුක්මන් නිරෝෂ්ගේ සුළඟ මත මොහොතක් කියන ටෙලි නාට්‍යයට මම ලියපු කසුන් කල්හාර ගායනා කරපු ගීතයත් බොහෝ ජනප්‍රිය වුණා. වේදිකා නාට්‍යවල මම රඟපාන කාලවලදී අපි ඒවට සම්බන්ධ වුණේ මුදල් ප්‍රශ්න නිසා නෙවේ. නාට්‍යවලින් අපි බලාපොරොත්තු වුණේ ආත්ම තෘප්තියයි. ඒ නිසා වෙන්නත් ඇති ඒ කාලෙදී හොඳ නළු නිළියන් බිහි වුණා. මට මගේ ජීවිතේ අලුත් බලාපොරොත්තු නැහැ. මට දූවරු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නත් හොඳට ඉගෙනගත්තා. ඉතින් මගේ බිරිඳ එක්ක දරුවන් එක්ක අපි හොඳින් ජීවත් වෙනවා. ජීවිතේ මේ එකවිදිහට හොඳින් ජීවත් වෙනවා.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00