2019 මාර්තු 09 වන සෙනසුරාදා

දැලේ එල්ලිලා හොරෙන් බැලුවේ ආසාව වැඩිකමට

 2019 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 80

චින්තකට සංගීතය පිළිබඳ ඇල්මක් ඇතිවුණේ පාසල් යන කාලෙදමද?
ඔව්.. මට මුල්ම ආසාව ඇතිවුණේ අපේ ගෙදර පරිසරයෙනුයි. ඒ කාලේ අපේ ගෙදර තිබුණු රේඩියෝවෙන් සින්දු ප්‍රචාරය වෙද්දි මගේ තාත්තා මේසෙට හරි අපූරුවට තාල දැම්මා. එතකොට මම ගොඩක් පොඩියි. තාත්තා මේසෙට ගහද්දි ඒ හඬ මම අහගෙන හිටියා. ටික දවසක් යද්දි රේඩියෝ එකෙන් ගීත ප්‍රචාරය වෙද්දි මම මේසෙට තට්ටු කරලා ඒ තාලය අල්ලගන්න උත්සාහ කළා. ඊට පස්සේ අපේ ඉස්කෝලෙ සංගීත තරගවලට ළමයි පුරුදු වෙද්දි මම ඒ දිහා බලාගෙන හිටියා. ඇත්තටම ඒක මගේ දින චර්යාවක් වුණා. සමහරදාට  පන්තිවලට යන්නෙ නැතිව මම ඒ සංගීත පුරැදු වෙන දිහා හොරෙන් බලාගෙන හිටියා. සංගීත පන්තියේ දැලේ එල්ලිලා මම ඒ දිහා බලාගෙන හිටියා.

චින්තක ඉගෙනගත්තේ මොන පාසැලේදිද?
මම රත්නපුර ධර්මපාල විද්‍යාලයෙන් තමයි ඉගෙනගත්තේ. මේසෙට තට්ටු කරලා සංගීතයට ආසකළ නිසාමද මන්දා මම මුලින්ම තබ්ලා වාදනය කරන්න තමයි ආස කළේ. ඒ වගේම සබරගමු නර්තන ශිල්පීන් එක්ක අපේ පවුලට ලොකු බැඳීමක් තිබුණා. මගේ මාමලා සබරගමු නැටුම් කරන අය. ඒ නිසා  මම බෙර ගහන්නත් ආස කළා. මම මුලින්ම ගැට බෙරය සහ මඟුල් බෙරය ගහන්න පෙළඹුණා. ඊට  පස්සේ තමයි තබ්ලා ගහන්න පටන්ගත්තේ.

චින්තකට ගීත ගැයීමේ හැකියාවක් නැද්ද?
ඉස්කෝලෙදි මම ගීත ගැයීමටනම් නැඹුරුවක් වුණේ නැහැ. ඇත්තටම කිව්වොත් ගීත ගැයීමේ ලොකු හැකියාවක් මට නැහැ. මට මතකයි පුංචි කාලේ ගීත ගායනා කිරීමේ තරගවලට තෝරගනිද්දි මට ගීත ගයන්න බැහැ කියලා කට්ටිය මට එක එක දේවල් කිව්වා. දැනටත් එහෙම තමයි. දැනටත් මට සින්දු කියන්න ආසාවකුත් නැහැ. සින්දු කියන්නත් බැහැ.

චින්තක සංගීතයට ඇල්මක් දක්වද්දි ගෙදරින් ලැබුණු සහයෝගය කොහොමද?
පොඩි කාලේදීත් මට මගේ අම්මා තාත්තා ගොඩක් උදවු කළා. ඒ සඳහා අදාළ ගුරුවරු යටතේ ඉගැන්වූවා. සංගීතය ගැනවත් ඒ හරහා මෙච්චර දුරක් යන්න පුළුවන් කියලා ලොකු අවබෝධයක් නැහැනේ. මට මතකයි මාව තබ්ලා පන්තියකට දැම්මට පස්සේ මට තබ්ලාවක් ඕනේ කියලා ගෙදරට කිව්වට පස්සේ දවසක් මගේ තාත්තා කොළඹ ගිහින් ලොකු පොහොර බෑග් එකක දාගෙන මොකද්දෝ දෙයක් මට ගෙනත් දුන්නා. හරිම කුතුහලයක්. ඒක දිග හැරලා බලද්දි තමයි මම දැක්කේ ඒ පොහොර බෑග් එකේ තිබුණ තබ්ලාව. එතකොට මම හත වසරේ විතර ඇති. එදා මම හරියට සතුටු වුණා.

පාසල් අධ්‍යාපනයෙන් පස්සේ චින්තක විශ්ව විද්‍යාල ප්‍රවේශයට කොළඹට ආවා?
ඔව්. පාසල් තරගවලින් මම වාදනයෙන් ජයග්‍රහණ බොහොමයක් ලබාගත්තා. මම කොළඹට ආවේ විශ්ව විද්‍යාලයටත් එක්කමයි. රත්නපුරේදි එතෙක් මට මුණගැහුණේ මියුසික් කියලා සින්දු වාදනය කරපු තරගවලට ගියපු සාමාන්‍ය කොටසක්. හැබැයි කොළඹ ආවට පස්සේ මම වේදිකා නාට්‍ය බැලුවා. නිර්මාණවලට දායක වෙන්න අවස්ථාව ලැබුණා. නදීක ගුරුගේ, කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා ලියනගේ වැන්නන් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඔවුන් එක්ක වැඩ කරද්දි ලංකාවේ හොඳම ගිටාර් වාදකයෝ පවා මට මුණගැහුණා. කැම්පස් ආපු මුල් කාලෙදිම මට ඕඩියෝ ඉංජිනියර් කෙනෙක් විදිදහට වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා. ඇත්තටම ඒ සම්බන්ධව මම ලොකුවට ඉගෙනගෙන තිබුණේ නැහැ. ඒ ස්ටූඩියෝ එකක වැඩ කරපු අත්දැකීම් එක්ක මම කොහොමහරි ඒකත් ගැටගහගත්තා.

තාල චිත්‍රපටය මුල්ම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයයි. එහෙම නේද?
ඔව්.. පාලිත පෙරේරා තමයි මට තාල චිත්‍රපටයට කතා කළේ. ඒ වෙනකොට චිත්‍රපට කරලා නොතිබුණාට කෙටි චිත්‍රපට විස්සක් විසිපහක් විතර සංගීතයෙන් දායකත්වය ලබලා තිබුණා. ඒවා දැකලා තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂ පාලිත අයියා මට තාල චිත්‍රපටයේ සංගීත නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණේ. ඊට පස්සේ මම ඒ නිර්මාණයේ හරිම ආසාවෙන් වැඩ කළා. ඒ ලොකේෂන් එකේ ඉඳලා මම ඒ අත්දැකීම් ලබාගත්තා. ඒක මගේ පළමුවැනි චිත්‍රපටය. ඒ චිත්‍රපටයට මාව දායක කර ගැනීම ගැන පාලිත අයියට මම ගොඩක් ස්තූති කරන්න ඕනේ.

තාල ඔබේ මුල්ම චිත්‍රපටය වුණාට ඊට පසුව ජයන්ත චන්ද්‍රසිරිගේ ඝරසරප චිත්‍රපටයටත් දායක වෙන්න ලැබුණනේ?
ඔව්. ජයන්ත අයියගේ ඝරසරප චිත්‍රපටයට කලින් මට ජයන්ත අයියගේ හංකිති දහතුන නාට්‍යයට සංගීතයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා.

මේ දිනවල තාල චිත්‍රපටය සිනමාහල්වල තිරගත වෙනවා. ඒ හරහා චින්තකට ලැබෙන ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?
හැමෝම කියන්නේ හොඳයි කියලා. වෙනස් නැවුම් සංගීතයක් චිත්‍රපටයට ලබා දීලා තිතයෙනවා කියලයි කට්ටිය කියන්නේ. මටත් ඉතින් හරි සතුටුයි. අඩුපාඩු ඇති. හැබැයි පාලිත අයියත් මගේ සංගීතයට ගොඩක් කැමති වුණා.

ඝරසරප චිත්‍රපටයේ සංගීතයට වැඩි ඉඩක් වෙන්වුණු අපූරු නිර්මාණයක්. ලාංකීය බෙර නාදයත්, ජන සංගීතයත් මුසු වුණු මේ චිත්‍රපටය ඔබට අභියෝගයක්ද?
ඔව්. අනිවාර්යයෙන්ම. ඇත්තටම ඒක මගේ ජීවිතේ ලොකු අත්දැකීමක්. ජයන්ත චන්ද්‍රසිරි වගේ අධ්‍යක්ෂකවරු සංගීතයත් එක්ක තමයි තිර පිටලත ලියන්නේ. මුලින්ම මට තිබුණේ ඒ චිත්‍රපටයේ ගීත දෙක නිර්මාණ කිරීමටයි. ඒකට ජයන්ත අයියගෙන් හොඳ ප්‍රතිචාරයක් මට ලැබුණා. ඔහු එක් කතාබහ කරද්දී මම ඒ අදහසට අනුව සංගීත නිර්මාණය කරන්න ඕන වුණා. ඉදිරියේදී තිරගත වීමට නියමිත විසාකේසගේ පාංශු චිත්‍රපටයටත් මම සංගීතයෙන් දායක වුණා. ඒ වගේම ජැක්සන් ඇන්තනී මහතාගේ චිත්‍රපටයකටත්, අනන්ත රාමනන් කියන දමිළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ චිත්‍රපටයකටත් සංගීතයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ ඉදිරියේදී බලාගන්න පුළුවන්.

 

► Text - Dishani  /   Pic -  Internet