2019 මාර්තු 16 වන සෙනසුරාදා

සපත්තු හෑන්ඩ් බෑග් කීවොත් ඉන් එහා දෙයක් නෑ....

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:31 250

ගයනි ඔයාට මුතුව මුණගැහුණ මුල්ම කාලය මතකද?
ඔව්. මුලින්ම මුතු අක්කව මට මුණගැහුණේ හරියටම දැන් අවුරුදු එකොළහකට විතර උඩදියි. මට කටුනායක ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. ඒ ප්‍රසංගයට මුතු අක්කටත් ආරාධනා ලැබිලා තිබුණා. මුතු අක්කව මම රංගන ශිල්පිනියක් විදිහට රූපවාහිනියෙන් දැකලා තිබුණට සැබෑවට ඊට කලින් මම දැකලා තිබුණෙවත් මුණගැහිලවත් නැහැ. ඉතින් කටුනායකදී මට එයාව මුණගැහුණා. මට තාම මතකයි මුතු අක්කා හරි ලස්සන නිල් පාට ඔසරියක් ඇඳලා හිටියා. කොණ්ඩේ බැඳලා හරිම ලස්සනට මුතු අක්කා එදා ඇවිත් හිටියා. ඉතින් මම හරිම ආසාවෙන් මුතු අක්කා ළඟට ගිහින් කතා කළා. ඒක තමයි අපේ මුල්ම මුණගැසීම වුණේ.

මුතු කියන්නේ මොනවගේ කෙනෙක්ද?
මේ අවුරුදු එකොළහ ඇතුළත අපි ඇත්තටම මුණගැහිලා තියෙන්නේ හරිම සීමිත දවස් ගණනක් විතරයි. මම හිතන විදිහට වාර දහයක්වත් අපි මුණගැහිලා නැහැ. හැබැයි අපි ෆෝන් එකෙන් ගොඩක් කතා කරනවා. සමහර වෙලාවට පැය ගණන් එක දිගට අපි ෆෝන් එකෙන් කතා කරනවා. අපි දෙන්නගෙම කාර්යබහුලකම නිසාම අපි දෙන්නටම හමු වෙන්න වෙලාවක් නැහැ. හැබැයි අද වෙනකොට මේ ක්ෂේත්‍රයේ මම ආදරේ කරන සහ මම මගේම සහෝදරියක් විදිහට සලකන පළවෙනි කෙනා මුතු අක්කා කිව්වොත් හරි. ඒ තරමටම මුතු අක්කට මම ආදරය කරනවා වගේම ගොඩක් ගරු කරනවා.

මුතුට කේන්ති යනවද?
මුතු අක්කා එහෙම මම දැනුම්වත්ව ලොකුවට කේන්ති යන කෙනෙක් නෙවෙයි. එයාට එහෙම ලොකුවට කේන්ති යනවා මම දැකලා නැහැ. හැබැයි එයාට අසාධාරණය ඉවසන්න හරිම අමාරුයි. මොකක්හරි වෙච්චි වෙලාවක එයා ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් කතා කරනවා.

ගයනියි, මුතුයි විදෙස් සංචාර කිහිපයකට සහභාගී වුණානේ.. ඒ ගමන කොහොමද?
මුතු අක්කා කියන්නේ හරිම විනෝදකාමී කෙනෙක්. මටත් වැඩිය මුතු අක්කා හැමවෙලේම හිනාවෙලා ඉන්න කෙනෙක්. මම ඒ ඇස් පුංචි කරගෙන හිනාවෙන මුතු අක්කාට හරි කැමතියි. එයා ඕන වෙලාවක හිනාවෙලා ඉන්න කෙනෙක්. සතුටින් ඉන්න කෙනෙක්. එයත් එක්ක යන ගමන් වුණත් හරි විනෝදයි. අපි පලවෙනි වතාවට ටුවර් එකකින් මුණගැහුණේ කොරියාවේ ගිය ගමනෙදි තමයි. අපි දෙන්නා එකම කාමරේ දවස් ගාණක් හිටියා. අපි ඇවිදින්න ගියපු හැම තැනකදීම එකටම තමයි ගියේ. ඒ ගමනේදී තවත් දුරට අක්කත් එක්ක හිතවත් වෙන්න මට පුළුවන් වුණා. ඒ 2017 අවුරුද්දේ.

ඒ සහභාගී වුණු ප්‍රසංගය කොහොමද? සාර්ථකද?
ඔව්. ඉතා සාර්ථකයි. ලස්සනට ඒ ප්‍රසංගය කරන්න පුළුවන් වුණා. මුතු අක්කගෙන් බොහෝ දෙනෙක් හින්දි සින්දු තව තව ඉල්ලුවා. එයා හරි ලස්සනට හින්දි සින්දු කියනවා. ඒක හරිම විනෝද ගමනක්. අපි ගොඩක් වෙලාවට කන්න කැමති කෑම වුණත් එක වගෙයි. ටුවර් ගියාම අපි ඒ ඒ රටවලට ආවේණික කෑම කනවා. ලස්සන තැන් බලන්න යනවා. ඒ ගියාම නම් අපි ලංකාවේ කෑම කන්නේ හරිම අඩුවෙන්. සමහර කෑම කන්න ගිහින් නමක් නැති කෑම කාලා පස්සේ ඒ මොනවද කියලා හිත හිතා හෝටලයෙන් එකන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් අපි දෙන්නගේ අදහස් ගොඩක් වෙලාවට සමානයි. කන්න ගියත් අපි දෙන්නම ආස කරන දේවල් ගොඩක් වෙලාවට එකයි. අපි දෙන්නා යාළුවෝ වුණාට හරියට අක්කයි නංගියි වගේ බැඳීමක් තමයි තියෙන්නේ.

ඔය ගියාම සාප්පු සවාරි එහෙමත් යනවා ඇති නේද?
අම්මෝ ඔව්... ඉඩක් ලැබිච්චි ගමන් අපි දෙන්නා ෂොපින් කරනවා. මුතු අක්කා හරි ආසයි හෑන්ඩ් බෑග්, සපත්තු ගන්න. ඉතින් අපි වැඩිපුරම ෂොපින් කරන්නේ ඒවා ගන්න තමයි. මුතු අක්කාට ලස්සන ලස්සන හෑන්ඩ් බෑග්, සපත්තු ගොඩක් තියෙනවා. ඇඳුමට ගැලපෙන විදිහට එයා ඒවා පාවිච්චි කරනවා. ඇඳුමක් ගන්න ගියත් එයාට ඒක ලස්සනයි කියලා හිතුණොත් මටත් එක ලස්සනයි.

මේ ක්ෂේත්‍රයේ වැඩිය කවුරුවත් මම ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ

මුතු හරි ලස්සනට අඳින්න පළඳින්න ආස කෙනෙක්නේ. එයාගේ විලාසිතා ගැන ගයනි මොකද හිතන්නේ?
ඇත්තමයි එයා හරි ලස්සනට අඳිනවා. එයා එයාට ගැලපෙන විදිහට එයාගේ විලාසිතා තෝරගන්නවා. කොයි වෙලාවකවත් එයාට නොගැලපෙන විලාසිතා එයා ඇඳගෙන ඉන්නවා මම දැකලා නැහැ. ගොඩක් වෙලාවට එයාගේ විලාසිතා එයාම තමයි නිර්මාණය කරගන්නේ. එයා ඕනෑම තැනකට ගැලපෙන විදිහට ලස්සනය, පිළිවෙළට අඳිනවා.

මුතු කියන්නෙ ගායිකාවක් වගේම රංගන ශිල්පිණියක්?
ඔව්.. රංගන ශිල්පිනියක් විදිහටත් ඇය ගොඩක් සාර්ථකයි. හැබැයි එයාගේ දක්ෂතාවයේ හැටියට ඇයට නිර්මාණ ලැබුණු ප්‍රමාණය හරි අඩුයි කියලයි මට හිතෙන්නේ. එයත් එක්ක ඒක ගැන මම පෞද්ගලිකව කතා කරලයි තියෙන්නේ. එයාගේ හැකියාව පෙන්වන්න තාම එයාට අවස්ථාව ලැබුණේ හරිම අඩුවෙනුයි. ගායිකාවක් විදිහට එයා හරි සාර්ථකයි. හින්දි සින්දු හරි ලස්සනට ගායනා කරනවා. ප්‍රසංගයකදී එයා වේදිකාවේ ගීත ගයද්දී ප්‍රේක්ෂකයන්ගෙන් පුදුමාකාර ප්‍රතිචාරයක් මුතු අක්කට ලැබෙන්නේ. එයාට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා. ගායිකාවක් විදිහට එයා ගොඩක් සාර්ථකයි.

ඔයාගේ ජීවිතේ හැම දෙයක්ම මුතුට කියන්න පුළුවන් කියලා ගයනි හිතනවද?
ඔව්. අනිවාර්යයෙන්ම මගේ ජීවිතේ බොහෝ දේවල් මම මුතු අක්කට කියනවා. ඒ වගේම එයාගේ තේරැම්ගැනීමේ හැකියාවක් තියෙනවා. ගොඩක් අය එක්ක අපේ ජීවිතේ හැමදේම කියන්න බැහැනේ. විශ්වාසවන්ත දේවල් කියන්න බැහැ. නමුත් මගේ ජීවිතේ සතුටක් හරි, ප්‍රශ්නයක් හරි ඇති වුණොත් ක්ෂේත්‍රයේ කෙනෙක් හැටියට මම මුලින්ම කියන්නේ මුතු අක්කට තමයි. වෙන කිසිම කෙනකුට මම ඒ හැම දෙයක්ම කියන්නේ නැහැ. දුක සතුට හැමදේම බෙදාහදාගන්න පුළුවන් හොඳ මිතුරෙක් වගේම එයා හොඳ සහෝදරියක්.

මුතු වගේ කෙනෙක් ජීවිතේට මුණගැහිච්ච එක ගැන ගයනිට මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මුතු අක්කා මට හොඳ යාළුවෙක් වගේම හොඳ සහෝදරියක්. ඒ වගේ අක්කා කෙනෙක් ජීවිතයට මුලින් මුණනොගැහුණ එක ගැන හිතේ තියෙන්නේ දුකක්.

මේ දවස්වල ගයනි මොකද කරන්නේ?
මේ දවස්වල මම අලුතින් යුග ගීතයක් කළා. ඒ මමයි නිලාන් හෙට්ටිආරච්චියි එකතු වෙලා. ඒ ආදර බැල්මන් කියන ගීතයයි. ඒක ආදර ගීතයක්. මම විරහා ගීත තමයි වැඩිපුර ගායනා කරලා තිබුණේ. මේක ටිකක් වෙනස් ගීතයක්. ඒ ගීතය ලිව්වේ යසිත් කියලා මල්ලි කෙනෙක්. දෙනුවන් කියන මල්ලි තමයි මියුසික් කළේ. ඒ දෙන්නම ආධුනික, දක්ෂ මල්ලිලා දෙන්නෙක්. අපි ඒකෙ විෂුවල් එකක් කළා. ළගදිම ඒක රසවිඳින්න පුළුවන් වේවි.
ඔන්න ඔහොම තමයි මුතු තරංගා ගැන ගයනි මධූෂා කිව්වේ. දැන් අපි බලමුද ගයනි ගැන මුතු කියන්නේ මොනවද කියලා. ෆෝන් දෙකක් ගන්න ගිහින් දෙන්නට හරි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා. ඒ කතාව අපිට කිව්වේ මුතු.

මුතු මතකද ගයනි ඔයාට මුලින්ම මුණගැහුණේ කොහේදිද කියලා?
මට ගයනිව මුලින්ම මුණගැහුණේ ප්‍රසංගයකදී. එදා අපි දෙන්නා මුණගැහිලා කතා කළා. හැබැයි ෂෝ එකේ දින වකවානු මට හරියට මතක නැහැ. මට වඩා ඒ හැම දෙයක්ම මතක නංගිට තමයි. (මුතු ඇත්තම කිව්වා. ඒ කිව්ව විදිහටම ගයනිට ඒ හැම දෙයක්ම මතකයි. මුතු ඇඳගෙන හිටපු ඇඳුමේ පාට පවා ගයනිට හොඳට මතකයි)

ගයනි කියන්නේ මොනවගේ කෙනෙක්ද?
ගයනි නංගිව මම යාළුවෙක් කියනවට වඩා මම හිතන්නේ ගයනි කියන්නේ මට මගේම සහෝදරියක් කියලා. දුක, සතුට හැමදේම බෙදාගන්න පුළුවන් හොඳ සහෝදරියක් විදිහටයි මම ගයනිව දකින්නේ.

ගයනිගේ ගායන හැකියාව ගැන මුතුට මොකද හිතෙන්නේ?
ගයනිට තියෙන්නේ අමුතුම ලස්සන කටහඬක්. කාගෙත් හිත ඇඳගන්න පුළුවන් හරි ලස්සන කටහඬක් එයාට තියෙනවා. එයා වැඩිපුරම විරහා ගීත තමයි ගායනා කරන්නේ. ලංකාවේ ගොඩක් ගායිකාවන්ට නැති මොකද්දෝ වෙනස් හඬක් ගයනිට තියෙනවා. ප්‍රසංගවලදී වුණත් බොහෝ දෙනා එයාගේ ඒ හඬට හරි ආසයි. ඕනෑම තැනක එයාගේ ඒ හඬ හඳුනාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එයාට ආවේණික වෙනස් හඬක් තමයි එයාට තියෙන්නේ. එයා ගායනා කරන දික්කසාද පෙම්බරී කියන ගීතයට මම හරි ආසයි.

ගයනිගේ විලාසිතා ගැන මොකද හිතෙන්නේ?
එයා කවදාවත් නොගැලපෙන විලාසිතා කරන්නේ නැහැ. එයා කවදාවත් නොගැලපෙන, කැත විලාසිතා කරන්නේ නැහැ. එයාගේ ඇඳුම්වල පිළිවෙළක් තියෙනවා. අපි පිටරට ගියාමත් එයා ලස්සන ලස්සන ඇඳුම් පැළඳුම් තෝරගන්නවා. හැබැයි ඒ හැමදෙයක්ම එයාට ගැලපෙනවා.

එයාට කේන්ති යනවද?
එයාට එහෙම ලොකුවට කේන්ති යන්නෙනම් නෑ. හැබැයි අසාධාරණයක් දැක්කොත් ගයනි නංගිට කේන්ති යනවා. ඒ හැර එයා ගොඩක් තැන්වලදී ගොඩක් ඉවසනවා.

විදෙස් සංචාරයකට ගියාම අමතක නොවන සිදුවීම් එහෙම වෙලා නැද්ද?
අම්මෝ එහෙම දේවල් වෙලා තියෙනවා. කොරියාවේ ගිය ගමනේදී අපි දෙන්නට ෆෝන් දෙකක් ගන්න ඕන වුණා. කොහොමටත් රටවල්වලට ගියාම අපි ෂොපින් කරන එක තමයි වැඩිපුරම කරන්නේ. ඉතින් කොරියාවේ ගිය ගමනේදී අපි දෙන්නට ෆෝන් දෙකක් ගන්න ඕන වුණා. ඉතින් එහෙම දන්න කියන කඩවල් එහෙමත් නැහැනේ. ඔන්න ඉතින් අපි දන්න අයියා කෙනෙක් අපි දෙන්නට ෆෝන් දෙකක් ගන්න කියලා ගොඩක් දුර එක්කගෙන ගියා. ෆෝන් අරගෙන අපි ලංකාවට ආවා කියමුකෝ. අනේ ඒ ෆෝන් එක ලංකාවේ වැඩ කරන්නේ නැහැ. අපි ටුවර් ගියාම වැඩුපරම කන්නේ ඒ රටේ කෑම. ආයෙ ඉතින් දෙන්නත් එක්ක එක එක කෑම අහ බලනවා.

ගයනි වගේ යාළුවෙක් මුණගැහුණු එක ගැන මුතුට අද මොකද හිතෙන්නේ?
මේ ක්ෂේත්‍රයේ වැඩිය කවුරුවත් මම ළඟින් ආශ්‍රය කරන්නේ නැහැ. ඒ හැමෝම ඒක සුහදයි. හැබැයි ගයනි මට ගොඩක් සමීපයි. කඑයා මම හිතන විදිහට තමයි හිතන්නේ. මිනිස්සුන්ගේ හිත් රිද්දවන්න හරි අකමැතියි. ඒකෙන් අපි හිත් රිද්දවගන්නවා. අපි දෙන්නා දුක් වෙන අවස්ථා බොහෝයි. ඕනෑවටත් වඩා මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් මටයි ගයනි නංගිටයි වැරදුණු තැන් තියෙනවා. ඇත්තටම ගයනි කියන්නේ මට මගේම සහෝදරියක් වගේයි.

මේ දවස්වල මුතු මොකද කරන්නේ?
මේ දවස්වල මම මගේ අලුත් ගීතයේ විෂුවල් එකට සූදානම් වෙනවා. ඒක දිව්රාලා කියන්නම්^ කියන ගීතයයි. ඒක ලිව්වේ සචිත්‍ර චතුරංග. ඒක මියුසික් කළේ චන්දන වල්පොලයි. ළඟදිම ඒකේ විෂුවල් එක කරන්න බලාපොරොත්තු වෙනවා.


► Text - Dishani / Pic – Internet

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00