2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අහසේ තරු පායනකම්ම අපි අද වයින් බොමු

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

තද රතු පැහැ වයින් වීදුරැවෙන් දැනුණු ළා තිත්ත රස මුසු වෙච්ච රස ඝනකම් චීස් රසත් සමඟ අපි විඳිමින් හිටියා. ඒ හැන්දෑව ළා රත්තරන් පාට මෘදු ලෙසින් තැවරිච්ච සෞම්‍ය හැන්දෑවක්. අපි වාඩිවෙලා හිටියේ සඳලුතලයේ එලාගත් විසල් පැදුරක. ඈත අහස දීප්තිමත් වර්ණ සමුදායකින් දිදුලමින් තිබුණා. ඒ වලාකුළුවල ලා රෝස පැහැය යාන්තමින් ඇගේ කම්බුල් මතත් තැවරී තිබුණා. ඒ වර්ණවත් කම්බුල් දෙස මා බලා සිටියේ හැඟීම්බර බැල්මකින්. ඒ බැල්මේ රැඳී තිබුණේ සුන්දර මිත්‍රත්වයක පැහැයක් බව ඇයටත් වැටහී තිබුණ ලෙසින් ඇය මා දෙස බලා මද සිනාවක් පෑවා.

මම හුඟක් හැන්දෑවල්වලදී මෙතන ඉඳගෙන චීස් කකා වයින් බොනවා... හැන්දෑ වෙන්න වෙන්න හරිම සීතලයි... මොකක්දෝ සැනසිල්ලක් දැනෙනවා හිතට... වෙලාවකට හොඳට පොරවගෙන නිදාගන්න හිතෙනවා.
තනියම ඉද්දි කාට තුරුල් වෙන්නද?

මම මටම තුරුල්වෙලා නිදාගන්නවා...
ජීවිතේ හැමදේම අවසානයේ නතර වෙන්නෙ මහා දුකක් ළඟ... ජීවිතේ බෙදා ගන්න කෙනෙක් ළඟ නෑ කියන එකත් වෙලාවකට හරි දුකක්... 
වෙලාවකට හිතෙනෙවා ජීවිතේ ඔක්කොම අත්හැරලදාලා සිස්ටර් කෙනෙක් වෙන්න.
My god... උඹට එහෙම හිතෙනවද?
හ්ම්... 
මටනම් බෑ ජානා දෙවියන්ට වුණත් කැපවුණු ජීවිතයක් ගතකරන්ට... දෙවියනේ කියලා මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙත් පුදුමාකාර නිදහසක්. 
වෙලාවකට ඒ නිදහසත් හිතට මහ වදයක් දුල්යානා... කවුරැ හරි ජීවිතේ ආදරෙන් බාරගෙන මගේ කියලා ළඟ ඉන්නවනම් ඕනැම කැපකිරීමක් කරලා ජීවිතේ අලුත්ම විදිහකට මුල ඉඳන් පටන් ගන්න හිතෙනවා.
ජීවිතේට නිදහස වගේම ආදරයත් ඕනැ ජානා... අපි කොච්චර නෑ කීවත් අපි අපිටත් හොරෙන් විඳවනවා.
උඹ පල්ලියේ විදිහටම වෙනස්වෙලා... කොහොමද දුල්යානා නීති, කොන්දේසි ඇතුළේ හිරවෙලා ජීවත් වෙන්නෙ... අනේ දෙවියනේ මටනම් බෑ එහෙම ජීවත් වෙන්න 
ජීවිතේ සමහර දේවල් ලබාගන්න අපිට කැපකිරීම් කරන්න වෙනවා... සමහරවිට සමහර දේවල් අත්හැරලම දාන්න වෙනවා... මට වෙලාවකට හිතෙනවා ජීවිතේ මුල ඉඳලා ආයෙත් පටන් ගන්න 
ජීවිතේ මුලක් මැදක් අගක් කෙළවරක් නෑ... අපි කවුද දන්නෙ අපි අපේ ජීවිත පටන් ගත්තෙ කවද්ද කොතනින්ද කියලා.... හැමදේකම තියෙන්නෙ අවසානයක් විතරයි... කෙළවරක් නෑ 
මෙච්ච්රද වයින් තියෙන්නෙ?
නෑ... ඇයි? 

මම ඉස්සර තනියම වයින් බෝතලයක් බොනවා... මම ආසයි රතු වයින් බිබී ඔහේ තේරැමක් නැති හීනවල එල්ලිලා ඉන්න 
උඹට ඕනැ තරමක් බීපන්... මගේ අල්මාරියේ තට්ටුවක්ම තියෙන්නෙ වයින්, බියර්, ෂැම්පේන්...
උඹ හරි සැහැල්ලු ජීවිතයක් ගෙවලා තියෙන්නෙ... මම ගතකළේ ඊට‍ කොච්චර වෙනස් ජීවිතයක්ද? දෙවියනේ මම දෙවියන් වහන්සේ වෙනුවෙන්ම කැපවෙන්නත් හිතුවා 
උඹ සිස්ටර් කෙනෙක් වෙන්න හිතුවා 
ඔව්... 

උඹට පුළුවන්ද ඒ විදිහෙ ජීවිතයක් ගෙවන්න... ඒ තරම් නීති රෙගුලාසි කොන්දේසි අස්සෙ හිරවෙච්ච ජීවිතයක් 
එක අතකින් හැම බැඳීමකින්ම නිදහස් වෙච්ච ජීවිතයත් හරි සැහැල්ලුවක් 
ඒත් ඒ සැහැල්ලුව ඇතුළෙ මොකක්දෝ විඳවීමක් තියෙනවා 
සමනළ තට්ටක් වගේ සැහැල්ලු ජීවිත අපට හම්බවෙන්නෙ හරි කලාතුරකින් 
මම චීස් පෙත්තක් කාලා මුරුක්කුවක් කටේ දා ගත්තේ තවත් වයින් වීදුරැවක් පුරවා ගන්න ගමන් 
අන්න බලපන් අහසෙ එක පැත්තකුත් වයින් පාට ගැහිලා
අහසෙ තරු පායනකම්ම් අපි අද වයින් බොමු