සබා ඩග්ලස් හැමිල්ටන් කියන්නේ කෙන්යාවේ වනගත කඳවුරක ජීවත්වන කාන්තාවක්. ඇයත් ඇගේ සැමියා වන ෆ්‍රෑන්ක් සහ දරුවන් තිදෙනා කෙන්යාවේ අලින්, සිංහයන්, දිවියන් වැනි වගේම ගෝනුස්සන්, නාගයන් ඇතුළු විෂ ඝෝර සතුන් මැද ජීවත් වෙන පවුලක්. බීබීසී පුවත් සේවය වෙනුවෙන් වීඩියෝ නිර්මාණය කරන ඈ, විටින් විට ලොව පුරා සංචාරය කරමින් අලින් සමඟ ඇගේ පවුල ගෙවන ජීවිතය ගැන සමාජයට කියා දෙනවා.
සබා කෙන්යාවේ පදිංචියට එන්නේ තමන්ගේ තාත්තා අනුගමනය කරමිනුයි. ඔහු සත්ත්ව චර්යා විද්‍යාඥයෙක්. එහෙමත් නැත්නම් වනජීවී අධ්‍යයනය කරන්නෙක්. වැඩිදුර අධ්‍යාපනයෙන් පස්සෙ සබාත් කෙන්යාවේ පදිංචියට ඒමට තීරණය කරන්නේ ඈ හමින් සුදු වුණත් කෙන්යාව තමන්ගේ ජන්ම භූමිය ලෙස සැලකූ නිසායි.
තම පියාගේ මවුරට වුණු ස්කොට්ලන්තයේ ඈ උසස් අධ්‍යාපනය සඳහා කෙටි කලක් වාසය කළත් ඈට ඉක්මණින්ම සාමාන්‍ය ලෝකයේ ජීවිතය එපා වෙනවා. එය සිර කඳවුරක් බවයි ඇගේ හැඟීම. ඒ නිසාම නැවතත් ඈ අප්‍රිකාවට පැමිණෙනවා. වාසනාවකට ඈට තමන්ගේ හැඟීම් දැනීම්වලට ගැලපෙන සහකරුවකුත් හමුවෙනවා. ඔහු අලි පිළිබඳ විශේෂඥයෙක්.
2009 වසරේ සිට කෙන්යාවේ ජීවත් වන ඔවුන් දෙදෙනාට ඉන්නේ දැරියන් තිදෙනෙක්. සබා තමාගේ ලෝක සවාරිය අතරතුර පවත්වන දේශන මාලාවේදී තමන්ගේ දරුවන්ගේ ලෝකය විස්තර කරමින් එම දේශන පවත්වනවා.
උදාහරණයකට ඇගේ දරැවන් අයිපොඩ්, යූ ට්යුබ්, ඉන්ටර්නෙට් විතරක් නෙමෙයි, බාබිඩෝල් බෝනික්කන්ගෙන් පවා තොරව ගත කරන ජීවිතය ඈ අපූරුවට ප්‍රතිනිර්මාණය කර පෙන්වනවා. බෝනික්කන් වෙනුවට දුනු ඊතල වාගේ ගෝත්‍රික දරුවන්ට අනන්‍ය වූ කෙළි සෙල්ලම් සමඟ තම දරුවන් ගත කරන ජීවිතය ගැන ඈ කතාකරන්නේ ලොකු සැනසිලිදායක බවකිනුයි.
“මගේ ළමයි තුන්දෙනා දවසක කෙන්යාව හැරයාවි. හැබැයි එයාලට ලෝකෙ ඕනම තැනක ජීවත් වෙන්න පුළුවන් විදිහේ හයියක් දෙන්න මටයි ෆ්‍රෑන්ක්ටයි පුළුවන් වුණා. ඒ මේ අප්‍රිකානු ජීවිතය නිසායි” සබා පවසනවා.
කොහොම වුණත් ඔවුන් ජීවත් වෙන කඳවුරට සමීපයෙන් ඇති ප්‍රදේශයකට දිවියෙක් කඩා පැන පුද්ගලයන් 13 දෙනකු මරා දැමූ බව සබා සැළවෙනවා. ඇය කරන්නේ ඇගේ දැරියන්ගේ ආරක්ෂාවට ඔවුන් හා අවට ප්‍රදේශයේ වාසය කරන සම්බුරු ගෝත්‍රිකයකුගේ සහාය ලබාගැනීමයි. දිවා කාලය පුරාවට සබාගේ කුඩා දැරියන් සමඟ හිඳිමින් ඔවුන්ට ආරක්ෂාව සපයන්නට මෙම පිරිමි නැනී කටයුතු කරනවා.
“හැබැයි ඔහුගෙන් ඔවුන්ට ආරක්ෂාව විතරක් නෙමේ, ලොකු දැනුමකුත් ලැබෙනවා. සමහරදාට ඔහු කෝටු කෑලි අතුල්ලලා ගින්දර මතුකරගන්න ආකාරය ගැන දුවලා පුදුමයෙන් කතා කරනවා. තවත් දවසක ඔහු කියන අරුම පුදුම කතාන්දර ගැන අපටත් ඇවිත් කියනවා” සබා පවසනවා.
මේ කරුණු සියල්ල කැටිකරගනිමින් ඇය මේ දිනවල එංගලන්තය පුරා තමන්ගේ දේශන මාලාවක් පවත්වනවා.
ඩේලි මේල් ඇසුරෙන්
► Text - Suranga