2019 මාර්තු 23 වන සෙනසුරාදා

සින්දු කියන්න ගිහින් වෙඩි තියන්නත් ඉගෙන ගත්තා

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:31 163

ජානක ලොකු වැඩකට මේ දවස්වල සූදානම් වෙනවනෙ. ඒ ගැන විස්තර ටිකක් කියමු..?
ඔව්.. මගේ සෞම්‍යවන්තියේ ගීත ප්‍රසංගය මාර්තු මස 31 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පවත්වන්නට සූදානම් වෙනවා. ඒ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙන්නෙ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එදිනට ගී ලොවේ සෞම්‍යවන්තයා ලෙසින් මා පිළිබඳ 25 වසරක ආවර්ජනාත්මක කෘතියක්ද එළිදක්වනවා. ඊට අමතරව දරු සෙනේ මනරම් නමින්ද රෑ හඳපානේ නමින්ද සී.ඩී.පට දෙකක් නිකුත් කරනවා. එදින ප්‍රසංගය මෙහෙයවන්නෙ ක්‍රිෂාන්ත දයානන්ද විසින්. නර්තනය ඉදිරිපත් කරන්නෙ චන්න විජේවර්ධන නර්තන කණ්ඩායමයි.

ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට සෞම්‍යවන්තියේ ගීත ප්‍රසංගය රසවිඳීමට අවස්ථාව ලැබෙන්නෙ නැද්ද..?
නැහැ. ඇත්තටම ඒක ගැනනම් කියන්නම ඕනෙ. මේක ටිකට් ගහලා කරන ප්‍රසංගයක් නෙවෙයි. ආරාධිත පිරිසකට විතරයි මේ අවස්ථාව උදාවෙන්නෙ. දිගු නිහැඬියාවකින් පසුව තමයි මගේ ප්‍රසංගයක් මේ විදිහට පවත්වන්න මම තීරණය කළේ. බොහෝ දෙනා මට මේ ප්‍රසංගය දිගින් දිගටම පවත්වන්නැයි යෝජනා කළා. බලමු.. ඉදිරියේදී ඉතා ඉක්මණින් මෙවැනි ප්‍රසංග කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අපි ජනකගේ ළමා කාලය ගැන ටිකක් කතා කරමු. ඔබේ උපන් ගම වෙන්නෙ පොළොන්නරුව..? 
ඔව්. මගේ මව්පියන් නව ජනපද ආරම්භ වීමත් සමඟම පොළොන්නරැවේ ජීවත් වෙන්න පටන් ගත්තා. මගේ තාත්තා දකුණේ. තාත්තගේ උපන් ගම ගාල්ල. අම්මා උඩරට කාන්තාවක්. තාත්තා ගොවිතැන් තමයි කළේ. අපේ පවුලේ මට සහෝදර සහෝදරියන් නව දෙනෙක් ඉන්නවා. පවුලේ මම හය වැනියා.

පොළොන්නරු රෝහලේ ඉපදුණු ඔබගේ ළමා කාලය ගෙවුණේ කොහොමද..?
මගේ ළමා කාලය හරි අපූරුයි. මම ළමා කාලය ගෙව්වේ රාජ්‍යත්වයක් තිබුණු පරිසරයකයි. පොළොන්නරුවේ ඉපදුණු, ඒ පරිසරයේ දුව පැන හැදුණු වැඩුණු මම අදටත් මගේ ගමට අතිශයින්ම ගරු කරනවා. පුංචි කාලේ ඉඳන් ඒ ගමේ තිබුණු ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳව මම හොයලා බැලුවා. අපේ වටේටම වැව්, පොකුණු, ඇළ දොළ, ගංඟා තමයි තියෙන්නෙ. ඒ නිසා අපි නිතරම දැක්කෙ කොළ පාටට දිස්වුණු ගමක්. කර්කෂයි කියලා කිව්වට එහෙම එකක් මගේ ගමේ තිබුණේ නැහැ. දියකඩිති හැමතැනම. ඒ නිසා ඒ මහ පොළොව හොඳටම සශ්‍රීකයි. අපි ඇති තරම් ඔරු පැද්දා. ඇති තරම් ගංඟාවල පැනලා නෑවා. හරියට අපි මාළු වගෙයි. අදටත් අපිට ඕනෑ තරම් දුරක් පීනන්න පුළුවන් වෙලා තියෙන්නෙ ඒ අතීතය නිසාම තමයි. අපි වැඩිපුරම ළමා කාලය ගෙව්වේ සොබාදහමත් එක්කම තමයි. ඒ ගමේ හැම අඟලක්ම මට හොඳට හුරුයි. ගමේ පන්සල එක්ක ගොඩක් සමීපයි. ඇත්තටම පොළොන්නරුව පින්බිමේ ඉපදීමත් මගේ වාසනාවක්.

සමහරු මට මායිම් ගම්මාන ගායකයා කියලත් කීවා

ජානක ඉගෙන ගත්තෙ මොන පාසලේද..?
මම මුලින්ම ඉගෙන ගත්තෙ පොළොන්නරුව ශාන්ති පෙරපාසලෙන්. මට තාම මතකයි, ඒ පෙරපාසලෙදීත් මම ගීත ගායනා කළා. ඊට පස්සෙ මම මූලික අධ්‍යාපනය ලැබුවේ පොළොන්නරුව තෝපාවැව මහා විද්‍යාලයෙන්. පසුව මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. මේ පාසල් දෙකේදීම මම සංගීතයට බොහෝ නැඹුරු වුණා. පාසලේදී මම තමයි ගායකයා. මට මුලින්ම සංගීතය ඉගැන්වුවේ පාසලේ සුමනදාස ගුරුතුමා සහ ඉන්ද්‍රානි විජයලතා ගුරුතුමියයි.

පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔබේ මුල්ම රැකියාව වුණේ ගීත ගැයීමයි...?
නැහැ. මුලින්ම මම තාත්තාට කුඹුරු වැඩවලට උදව් කළා. මම හැමවෙලේම උත්සාහ කළේ කොහොමහරි දියුණු වෙන්නයි. ඒ නිසා ඉස්කෝලෙන් අයින් වුණු ගමන් රැකියාවල් කිහිපයකටම ඇප්ලිකේෂන් දැම්මා. රැකියාවල් කිහිපයක්ම කළා. ඔය අතරේ මම මහවැලි අමාත්‍යාංශයේ සුළු කොන්ත්‍රාත්කරුවෙක් ලෙස ලියාපදිංචි වුණා. මට ඕන වුණේ මගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්නයි. ඒ නිසාම මගේ ලොකු අක්කා රුපියල් ලක්ෂයක ණය මුදලක් මට දුන්නා. මම ඒකෙන් මගේම කියලා කොන්ත්‍රාත් ආයතනයක් පටන් ගත්තා.  

ජානක ගායකයෙක් බවට පත්වෙන්නෙ කොහොමද..?
ඉස්කෝල දෙකේදීම මම ඉතින් ගායකයනෙ. මට තාම මතකයි මම උසස්පෙළ ඉගෙන ගන්න පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයට ඇතුළත් වුණු වෙලේම ඒ පන්තියෙ ළමයි සින්දුවක් කියන්න කියලා මට රැග් එකක් දුන්නා. මාත් හරිම ආසාවෙන් සුනිල් එදිරිසිංහයන් ගායනා කරන පිණිබර යාමේ ගීතය ගායනා කළා. එයින්ම මම රාජකීයෙත් හොඳ ගායකයෙක් වුණා.

පාසලේ ගායකයා වුණු ඔබ වේදිකාවේ ගායකයා වුණේ කොහොමද..?
පාසල් යන කාලෙදීම මම සුපර් ෆ්‍රෙන්ඩ්ස් කියන සංගීත කණ්ඩායමට එකතුවෙලා ගීත ගායනා කළා. එක පාරක් මම උතුරුමැද පළාතේ හොඳම ගායකයා හැටියටත් සම්මාන දිනාගත්තා. ඒ නිසාම මට සංගීතයට විශාල ඇල්මක් ඇතිවුණා. මම අද ඉතා ආදරයෙන් මතක් කරන්න ඕනෙ සුපර් ෆ්‍රෙන්ඩ්ස් සංගීත කණ්ඩායමේ සිසිල් සහ සිරිල් විජේසිංහ මහත්වරුන්. ඔවුන් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නෙ. මම ප්‍රාදේශීය ගායකයෙක් ලෙස කාලයක් කටයුතු කළා. ඒ නිසා පොළොන්නරුව සහ ඒ අවට ගම්වල පවත්වන ප්‍රසංගවලට මට ආරාධනා බොහොමයක් ලැබුණා. ඒ විතරක් නෙමේ, විවිධ උත්සවවල ගීත ගයන්නත් මට ආරාධනා ලැබුණා. ඒවායින් මට සුළු මුදලකුත් ලැබුණා.

කාලයක් යුද හමුදාවට බැඳෙන්න හීන දැකපු ජානකට රණවිරුවන් වෙනුවෙන් ගීත ගායනා කරන්නත් අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. ඔව්. කාලයක් මගේ ලොකුම හීනය වෙලා තිබුණේ යුද හමුදා නිලධාරියෙක් වෙන්න. නමුත් ඒ අවස්ථාව මට උදාවුණේ නැහැ. රට වෙනුවෙන් යුද්ධ කරන රණවිරුවන් කෙරෙහි මගේ හිතේ ලොකු ගෞරවයක් එදත් තිබුණා. අදත් තියෙනවා. ඒ නිසාම යුද්ධය පැවති ප්‍රදේශවල රණවිරුවන් වෙනුවෙන් පැවැත්වූ හැම සංගීත ප්‍රසංගයකටම කිසිදු මුදලක් නොගෙන මම සහභාගි වුණා. වෙඩි නොවදින ඇඳුම් ඇඳලා, හෙල්මට් දාලා, හෙළිකොප්ටරවල නැඟලා ගිහින් අපි ඒ රණවිරුවන් වෙනුවෙන් ගීත ගායනා කළා. බෝට්ටු, නැව්, ඩ්‍රෝන යාත්‍රාවල පවා යන්න අපිට පුළුවන් වුණා. ඒ කාලේ හමුදා නිලධාරීන් එක්ක කිට්ටු සම්බන්ධකම් තිබුණු නිසාම ඉලක්කයට වෙඩි තැබීමට පවා මම පුහුණුවක් ලැබුවා.

ඔබට සමහරු මායිම් ගම්මාන ගායකයා කියන්නෙ ඇයි..?
මම ජීවත් වුණු පොළොන්නරුව අවට සියලු ගම්මානවලට සමහරු කිව්වෙ මායිම් ගම්මාන කියලයි. ඒ කාලේ ඒ ගම්මාන නිතර ත්‍රස්තවාදී ප්‍රහාරවලට ලක් වුණා. මේ කාලෙදී තමයි සමහරු මට මායිම් ගම්මාන ගායකයා කියලා කිව්වේ.

ප්‍රසංග වේදිකාවේ ගී ගයමින් සංගීතය ඇරුඹූ ඔබ ගුවන්විදුලි ගායකයෙක් වුණේ කොහොමද..?
1990 අවුරුද්දෙ මම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයකට ඉදිරිපත් වුණා. මට ආසිරි පතන්නෝ කියන අලුත් ගීතයක් තමයි මම එදා ගායනා කළේ. ඒ ගීතය පියදාස මල්ලවාරච්චි මාස්ටර් තමයි මුලින් ගායනා කළේ. එදා අපි සරල ගී පරීක්ෂණයට සහභාගි වුණේ තිරයකින් වෙන්වුණු විනිශ්චය මණ්ඩලයක් ඉදිරියෙයි. ගීතය ගායනා කළාට පස්සෙ මම ඒ තිරය මඳක් මෑත් කරලා බැලුවා. එදා මාව විනිශ්චය කරලා තිබුණේ සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතායි. එදා මාව ගුවන්විදුලියේ සරල ගී ගායකයෙක් ලෙස ශ්‍රේණිගත වුණා. සරල ගී ගායකයෙක් ලෙස සමත් වුණත් මට ගුවන්විදුලියේ සරල ගීතයක් ගයන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා මම පොළොන්නරැව මහජන බැංකුවෙන් රුපියල් 75,000ක ණය මුදලක් අරගෙන 1992 අවුරුද්දෙ මගේම ගීත හතරක් මගේ වියදමින්ම පටිගත කර ගත්තා. ඒ තමයි අපි කතා නොකර ඉමු, මා අවදි නොකළ මැන, තව දිනක් ගෙවුණා සහ පිනිමුතු සිහිලැල් යාමේ කියන ගීත හතර. 

පොළොන්නරුවේ ඉඳන් කොළඹට ආපු ගමන එච්චර ලෙහෙසි නොවෙන්න ඇතිනෙ. ඒ අතීතය අපි ටිකක් මතක් කරමු...?
ඇත්තටම දුෂ්කරයි තමයි. හැබැයි ඒ දුෂ්කර ජීවිතයත් මම සතුටින් බාරගත්තා. මට තාම මතකයි, මුලින්ම සරල ගී පරීක්ෂණයට කොළඹ ආපු දවසෙ මම ගෙදරින් කමිසයකුයි කලිසමකුයි හොඳට මැදලා නවලා බෑග් එකේ දාගෙනයි කොළඹ ආවෙ. මහ රෑ නවය හමාරට විතර කෝච්චියේ ආපු ගමන පහුවදා පාන්දර පහ හමාරට විතර මම කොටුවට ආවා. කොළඹ නගරය ගැන මම දැනගෙන හිටියෙ නැහැ. ඇඳුම් ඩීසල් ගඳයි. කළු පැල්ලම්වලින් පිරිලා. කොළඹ පාරේ යන කෙනෙක්ගෙන් අහගෙන මම කෙසෙල්වත්තෙ නාන ළිඳකට ගිහින් නාගෙන තමයි අර බෑග් එකේ තිබුණු ඇඳුමත් ඇඳගෙන ගුවන්විදුලි සංස්ථාවට ගියේ. ආයේ ඉතින් රෑ වෙලා ගෙදර යන්න බස් තිබුණේ නැහැ. ඊට පස්සෙ අමරසේන වඩුගේට කෝල් කරලා මහරගමට ඇවිත් ඔහුගේ නිවසේ රැය පහන් කරලා තමයි මම පහුවදා ආයෙමත් පොළොන්නරුවට ගියේ.

ඔබට විශාරද ගුණදාස කපුගේ ශූරීන්ව ළඟින් ඇසුරු කරන්නත් අවස්ථාව ලැබුණා නේද..?
ඔව්.. විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ බිරිය වන ප්‍රේමා අක්කා අපේ ගමේම කෙනෙක්. ප්‍රේමා අක්කා මගේ අක්කගේ හොඳ යාළුවෙක්. පොළොන්නරුවේ කම්පන ප්‍රසංගය පැවති වෙලාවක මට ඔහුත් එක්ක හොඳින් කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. එතුමා ඉදිරියේ මම ගීත කිහිපයක්ම ගායනා කළා. ඔහු මගේ හඬ අගය කළා. ඔහුගේ ජීවිතේ අවසාන වසර දහය දොළහ කාලයේදී මට ගුණදාස කපුගේ මහතාව ළඟින් ඇසුරු කරන්න අවස්ථාව ලැබුණා. ඒ ඇසුරු කිරීමේදී ඔහුගෙන් මම බොහෝ දේ ඉගෙන ගත්තා. සාහිත්‍ය, පොතපත කියවීම, සංගීතය, මිනිසුන්ට ආදරය කිරීම ආදී බොහෝ දේ මම ඔහුගෙන් ඉගෙන ගත්තා.

අද ජානක විශාරද සංගීතවේදියෙක්. මේ ගමන එන්න ඔබට ගුරුහරුකම් ලබාදුන්නෙ කවුද..?
සංගීතයේ ශාස්ත්‍රීය පැත්ත ක්‍රමානුකූලව ඉගෙන ගන්න මට ඕන වුණා. ඒ අනුව කාලයක් මට සංගීත් නිපුන් මංජුලා සෙනෙවිරත්න යටතේ සංගීතය හැදෑරුවා. ඊට පස්සෙ සංගීත් නිපුන් මනෝංජරී යටතේ වසර අටක් ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය හැදෑරුවා. ඇගේ මඟපෙන්වීම යටතේ පී.වී. නන්දසිරි කලා කේන්ද්‍රයට අනුබද්ධ ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨයෙන් ප්‍රථම පන්තියේ සංගීත විශාරද උපාධිය ලබාගත්තා. ගිටාර් වාදනය හා බටහිර සංගීතය පිළිබඳ සංගීතවේදී කීර්ති පැස්කුවල් යටතේ වසර හයක් පමණ මම ඉගෙන ගත්තා. 

ඔබේ ආදරණීය බිරිය හා දරු දෙදෙනා ගැනත් අපි කතා කරමු..?
මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවෙන්නෙ මම පාසල් අධ්‍යාපනය හදාරන කාලෙදීමයි. ඇය දුලානි. අපේ ආදරයට ගොඩක් බාධා ආවා. ඒත්.. ඇය හැමදාම මාත් එක්ක හිටියා. 1989 මාර්තු මස 9 වැනිදා අපි විවාහ වුණා. ඇය මගේ ජීවිතයට ලොකු හයියක් වුණා. මගේ පුතා දුලංජන. දුව අයෝධ්‍යා. පුතා මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරනවා. දුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා.

 

► Text - Dishani  /   Pic -  Sumudu