සොබාදහමට ඔයා ආදරය කරනවද? ඔයා සඳ ගැන, ගංඟාවන් ගැන, මහා සාගර ගැන, කඳු, තුරු මේ මහ පොළොව ගැන කොච්චර දේවල් මට කියලා දීලා ඇත්ද? අපි කාටවත් තනි තනියෙන් අයිති නැති කොච්චර දේවල්වලට අපි පොදුවේ ආදරය කරනවද? ඒ ආදරයේදී අපි කවුරුත් අයිතියක් ගැන හිතන්නේ නෑ... ඒත් සඳට මගේ සඳ කියන්න අපිට පුළුවන්. සොබාදහමේ හැම වස්තුවක්ම අපිට මගේ සහ මගේම කරගන්න පුළුවන්... හුස්මක් වැටෙන දේවල් විතරමද අපි මගේ සහ මගේම වෙන්න නම් අයිතියත් ඕන කියලා හිතන්නේ... ඒ එහෙම වෙන්නෙත් කොහොමද? අපේ ලෙයින් අපේ කිරෙන් නූපදින නොහැදුන දරුවන්ට අපි අපේ දරුවන් කරගෙන ආදරය කරනවා... මිතුරු මිතුරියන්ට අනිත් හැම සමාජ සම්බන්ධතාවයක් තුළ පවතින බැඳීම්වලට ආදරය කරන්න අපිට අයිතිය කියන සාධකය වැදගත් නෑ... ඒත් ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රේමය කියන බන්ධනයේදී අපි භෞතිකව හිමිකමක් නැත්නම් අධ්‍යාත්මිකව හරි අයිතිය හොයනවා.
ලෝකය ඉදිරියේ අත් නොහැරෙන්න අල්ලගන්න බැරි අත් අපි ලෝකයෙන් සඟවාගත් අපේම ලෝකයකදී අත් නොහැරෙන්නම අල්ලා ගන්නවා. මගේ සහ මගේම කරගන්න බැරි කෙනෙක් අපි හදවතින් මගේ සහ මගේම කරගන්නවා... ඒත් යථාර්ථය ළඟ ඒ හැම බන්ධනයක්ම ශේෂ කරන රිදුම් අප්‍රමාණ වෙන්න පුළුවන්. ඒ රිදුම් ගැන මට හුඟක් කියලා දුන්නේ තවත් එක් ගැහැනියක්... ඇගේ නම එමා බෝවාරී... ගුස්ටාච් ප්ලෝබෙයාර් කියන ලේඛකයා තමයි එමා බෝවාරී කියන පොත ලීවේ... තමන්ගේ හදවත ජීවිතය තමන් ඉල්ලා හිඳින ආදරය තේරුම් ගන්න පුළුවන් පිරිමියෙක්ව එමා ජීවිතයේ අන්තිම තත්ත්පරය දක්වා හෙව්වා. ඒත් ඈ සෙවූ ඔහු කවදාවත් ඇයට මුණගැසුණේ නෑ... අවසානයේ ඇය ආදරය වෙනුවට මරණයට මාවතක් සෙව්වා... ජීවිතය සහ ආදරය වෙනුවට මරණය ඉල්ලා සිටියා...
කෙනෙක්ට එමාව ගණිකාවක් ලෙස නිර්වචනය කරන්න පුළුවන්... එමා ආදරය ඉල්ලගෙන ගිය හැම පිරිමියෙක්ම හෙව්වේ එමාගේ හදවත නෙමෙයි සිරැර... ඒ සිරුර උන්ට රිසි රිසි පරිදි දන් දීගෙන එමා ජීවිතය සුවපත් කරන ආදරය අංශුමාත්‍රයක් ඉල්ලගෙන ඒ හැම පිරිමියෙක් ළඟම යාදින්නක වුණා... ඒත් දෙවියන් වහන්සේ පිරිමින්ට ආදරය ගැන හිතන්න දකින්න හිත නොරිදා ආදරය කරන්න උගන්වා නැතැයි සිතෙන තරමට එමා ඒ හැම පිරිමියෙක්ගෙන්ම ලැබුවේ නොසලකාහැරීම් සහ මඟහැරීම් විතරයි...
එමා වෙනුවෙන් මේ ලෝකයේ හැම පිරිමියෙක්ගෙන්ම මට මෙහෙම ඉල්ලන්න හිතෙනවා... ඇය ඉල්ලන ප්‍රේමය ජීවිතය ඔබට ඇය වෙත දෙන්න බැරිනම් ඔබේ සතුට සැනසිල්ල වෙනුවෙන් ඇයට ඔබේ ජීවිතයේ අඩියක්වත් තියාගන්න බැරි ඉසව්වකට එන්න කියලා අඬගහන්න එපා... ඇය ඉන්නේ වේදනාවෙන් හුදෙකලාවෙන් වෙන්න පුළුවන්... ඒත් ප්‍රේමයේ අප්‍රමාණ රිදුම්වලට වැඩියෙන් ඒ වේදනාවන් සුවදායකයි... ආදරය ප්‍රේමය ළඟ ජීවිතය ගැන දර්ශන ඉදිරිපත් කරන දාර්ශනිකයන් මුනිවරුන් පවා සංවේදී නොදරුවන් සේ හඬා වැටෙන්න පුළුවන්... ඒ තමයි ප්‍රේමයේ ස්වභාවය... ඒ ප්‍රේමයට ගරහන්න එපා... අවමන් කරන්න එපා... ඔබේ සතුට කියන්නේ ඇගේ රිදුම නෙවෙයි... සමහරවිට ඇය ඔබට දක්වන ප්‍රේමය ඔබ ඇගේ මරණය තෙක් වටහා නොගන්නා ප්‍රේමයක් වෙන්න පුළුවන්... ඇය ඔබට දක්වන භක්තිය දෙවියන්ට සමාන ගෞරවය ඔබට කිසිදු වටිනාකමක් නැති ඔච්චමක් වෙන්න පුළුවන්... ඇගේ ඉවසීම දරාගැනීම ඔබට ආයුධයක් විතරක් වෙන්න පුළුවන්...
එමා ජීවිතයේ දෙවියන් සේ ඇදහූ ප්‍රේමය වෙනුවෙන් හැම පිරිමියෙක්ගෙන්ම ලැබුවේ බැල්ලියක සේ කුණු බැණුම්.... ඇගේ ජීවිතය ඒ හැම පිරිමියෙකුටම හිස් අම්බලමක් විතරයි... ඒත් දෙවියන් වහන්සේ ප්‍රේමය කීවේ ඊට වඩා හුඟක් උතුම් දෙයකට... දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබට හැඳිනිය හැකිනම් පමණක් ගැහැනියකට පෙම් කරන්න... එමා වෙනුවෙන් මේ ලෝකයේ හැම පිරිමියෙකුටම එහෙම කියන්න මට හිතෙනවා.