ජීවිතයේ මගේම කරගෙන සමරන දවස් අපේ ජීවිතවල තියෙනවා... ඒත් එක් වසරක මගේම කරගෙන සමරන ජීවිතයේ ආදරණීය මතකයක් සංසිද්ධියක් ඊළඟ වසරේ ඒ විදිහට සමරන්න ඒ අය අපේ ජීවිතවල ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන්. ජීවිතය ඊළඟ මොහොතේ අපි වෙනුවෙන් දෙන දෙය ගැන කොහොමද දන්නේ අපි...? ඇත්තටම ජීවිතය කියන්නේ ඒ තරම් අවිනිශ්චිතයක්... නමුත් අපි කවුරුත් ජීවිතය මඟ නොහැර ජීවිතය වෙනුවෙන් තත්ත්පරයක් ගානේ කොච්චර දේවල් හොයනවද...? දෙවියන්ගෙන් කොච්චර දේවල් ඉල්ලනවද? ඒ තමයි මිනිස්සුන්ගේ ස්වභාවය...
සුළඟක් වගේ ඇවිත් යන එන අයත් එක්ක ජීවිතය බෙදාහදා ගැනීමක්ද ඇත්තටම ජීවිතය කියන්නේ... හුඟක් වෙලාවට ජීවිතය බෙදාගන්න අපි ඉඩක් ඉල්ලන හුඟක් අයට අපි වෙනුවෙන් වැය කරන්න කාලයක් නෑ... මිනිස්සු මිනිස්සු වෙන්නේ හුස්මක් වැටෙන හින්දා විතරමද හිතෙන තරමට වෙලාවකට මිනිස්සු යාන්ත්‍රිකයි... ඒ යාන්ත්‍රික වෙච්ච මනුස්ස යන්ත්‍රවලින් තමයි අපි අධ්‍යාත්මික හා භෞතික බැඳීම් ඉල්ලන්නේ....
ජීවිතේ කොතන ගිහින් කොතන නවතිනවද කියන්න අපි කවුරැත් දන්නේ නෑ... අපි ඉල්ලන දේ වගේම නොඉල්ලන දේත් ජීවිතය අපිට දෙනවා... අපි ජීවිතය කියලා එකතු කරගන්නේ ඒ සියල්ල... ඒත් අපි කොයි විදිහට ජීවිතය ගැන අර්ථ දැක්වුවත් අපි හැමදෙනාම අවසානයේ ජීවිතය වෙතින් ඉල්ලා හිඳින්නේ සතුට... ඒත් අපි හුඟක් දෙනෙක් නොලබන්නෙත් සතුට... ඇයි අපිට සතුට එච්චරම දුරස් හැඟීමක් වෙන්නේ... සතුට අපි ඉල්ලන්නේ බලාපොරොත්තු වෙන්නේ තමන් තුළින් නෙවෙයි... අපි සතුට ඉල්ලන්නේ අනිත් අයගේ ජීවිත වලින්.... අපි සතුටින්ද නැද්ද තීරණය කරන්නේ අපි නෙවෙයි අනිත් අය... අවසානයේදී අපිට අපිව අත්හැරිලා... ජීවිතේ ළඟපාත ගැවසිච්ච අය අපිව අත්හැරලා එයාලගේ ජීවිත හොයාගෙන ගිහින්...
ඒත් අපි ජීවත්වෙන්න කෙනෙක් හොයනවා... අපි ජීවිතේ නවතින්න තැනක් හොයනවා... ඒ කෙනා සහ තැන සමහරවිට අපිට ජීවිතේ කවදාවත් මුණනොගැසෙන්න පුළුවන්... ස්වභාව ධර්මය ඒ තරම් අසාධාරණ වෙන්නේ ඇයි කියලා සමහර වෙලාවට හිතෙනවා... ලෝකය එකම යායක් කීවට ඒ එකම යාය ඇතුළෙ අපි අසමාන ජීවින් කොටසක්... අපි හැමෝම තමන්ව හැරෙන්න අනිත් හැමදේම හොයනවා. මේ ලෝකය පිරික්සමින්... ඒත් සැනසිල්ල හමුවෙන්නේ තමන් සොයාගත් දිනෙකම විතරයි...
ලෝකයම අල්ලට අල්ලන්න හදන ඔබ ජීවිතයේ එක කාලපරිච්ජේදයක් ඔබව හොයන්න වෙන් කරන්න. සංසාර දුක ජීවිත කළුවරට යා වෙන දුර අඩුවෙයි... ඔබට ඔබ හමුවූ දිනෙක ඔබ මේ ලෝකයේ කවුරුත් හොයන එකක් නෑ.