මම ඒ හඬ අසා සිටියෙමි... නාඳුනනමුත් මට කී ඒ කතාව මම අසා සිටියෙමි...
මට ඔය සින්දුව අහගෙන ඉන්න බෑ... මගේ ඇස් දෙකට කඳුළු එනවා... අදටත්... දැනට අවුරුදු විසි දෙකකට ඉස්සර මගේ ජීවිතේ හුඟක් ළඟින් හිටපු මගේ යාළුවා ජීවිතේ අත්හැරලා ගියා... අපි ඉගෙන ගත්තේ කොන්වන්ට් එකක... පුංචි කාලෙ ඉඳන් එයා මගේ යාළුවා... මගේ ජීවිතේ මම දැකපු ලස්සනම කෙල්ල එයා... ඔව් අදටත්... එයා තරම් ලස්සන කෙනෙක් මම දැකලා නෑ... අවුරුදු 16 වෙද්දී එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා... එයා වෙන ජාතියක වෙන ආගමක කෙනෙක්. ඒ වගේම වෙන කෙනෙක්ගේ අයිතිකාරයෙක්... එයාට නපුරක් වෙයි කියලා හිතුණු හින්දම මම එයාව ඒකෙන් ගලවගන්න හුඟක් උත්සාහ කළා. ඒ නිසා එයා මගෙන් හුඟක් ඈත්වුණා. ඒලෙවල් විභාගය ළංවෙලා දවසක කොන්වන්ට් එකේ අපේ පන්තිය ළඟට එයා ආවා... ඇවිත් හුඟ කාලයකට පස්සේ මට කතා කළා. ඒ කතා කළේ මගේ අත්දෙක තද කරගෙන අල්ලාගෙන... අද මට හිතෙනවා එයා මට යන්නම් කියලා කියන්න වෙන්න ඇති ඒ ආවේ කියලා... ඒත් මට එදා එහෙම හිතුණෙ නෑ... ඒලෙවල් විභාගය තියෙද්දී මගේ ඩෙස්ක් එකට ඩෙස්ක් කිහිපයක් එහායින් එයාගේ ඩෙස්ක් එක තිබුණේ. එයා එදා විභාගයට ආවෙ නෑ... ඒ ඇයි කියලා කල්පනාවෙන් මම විභාගය ලීවෙත්... එදා හැන්දෑවේ මං දැනගත්තා එයා එයාගේ බෝයිෆ්රෙන්ඩ්ගෙන් වෙච්ච වැරැද්දක් නිසා සියදිවි නසාගෙන කියලා. මට එයාව ඒ විදිහට දකින්න බැරි නිසා මම එයාව බලන්න ගියේ නෑ... ඒත් මම ආය කවදාවත් ගැහැනු ළමයෙක් යාළුවෙක් විදිහට මගේ ජීවිතේට එකතු කරගත්තේ නෑ... ඒ හිස්තැන මම එයා වෙනුවෙන්ම ඉතුරු කරා... එයා හිටපු තැන එයාගේ මතකය වෙනුවෙන්ම ඉතුරු කළා... ඔය සින්දුව ඇහෙද්දී මට කඳුළු එන්නේ මගේ යාළුවා මතක් වෙලා...
ගීතයක් අහද්දී ඇස් අග්ගිස්සට කඳුළු එන්න තරම් හිත සංවේදී වෙන්නේ ඒ ගීතයේ ප්රස්තුතය ආත්මීය ප්රකාශනයක් විදිහට දැනෙද්දී... හදවතේ සියුම් ස්නායුවක් පවා ඉසියුම් ලෙස පාරවද්දී... ඒ මගේම කතාවක නිල නොවන ඇමුණුමක් සේ දැනෙද්දී... හැඟෙද්දී... සමහරවිට ඒ ගීතය ලියවෙන්න හේතු වූ අනුභූතිය ඊට හාත්පසින්ම වෙනස් ඇති... ඒත් ඒ ගීතය ආත්මීය ප්රකාශනයක් ලෙස දැනෙන්න ගීතයේ සැඟවෙච්ච අරැතක් හදවතේ කොතැනකට හරි කිඳා බහිනවා. හදවත විසින් සංවේදී ලෙස ඩැහැගන්න ඒ මූලය හදවතේ කොතැනක හරි ගැඹුරැ ඉසව්වක ඉඩක් ඉල්ලගෙන පැලවෙනවා. මේ ගීතය ගැන නාඳුනන ඇය කී කතාව අහද්දී මගේ හිතට ආවේ එහෙම හිතුවිල්ලක්.
මරණය කියන්නේ අපි කාටවත් අවසඟව යන්න බැරි නියත දහමක්. උපත කියන පරිච්ඡේදයෙන් ඇරඹෙන ජීවිතය කියන මහා පුස්තකය නිමාව දකින්නෙ මරණය කියන අවසන් පරිච්ඡේදයෙන්... ඉරණමේ කොතනක හරි තැනක මරණයේ නියත තොටුපොළ කරා ජීවිතේ යාත්‍රාව සේන්දුවෙන දවස වෙලාව ලියැවිලා ඇති...
සංසාර චාරිකාව අපි යන්නෙ එන්නෙ උපත හා මරණය කියන අත්වාරුවේ එල්ලිලා... අපි එනවා යනවා... ඒත් පැමිණීමේදී ආදරණීයන් විඳින සතුට ජීවිතය අත්හැර යද්දී වේදනාවක් ලෙස හදවත හඬවනවා... තුරුණු වියේ සමුගැනීමක් සිත පතුල දහස් වර හඬවන වේදනාවක් ජීවිතයට එකතු කරන්න පුළුවන්... තමන් ආදරය කරන පෙම්වතා හෝ පෙම්වතිය ඒ අයුරින් ජීවිතයෙන් සමුගැනීම සිය දහස් වාරයක් හද සන්තානය හඬවන වේදනාවක් වෙන්න පුළුවන්. මේ ගීතයට පාදක වුණෙත් ඒ විදිහම සත්‍ය අත්දැකීමක්. පෙම්වතා සහ පෙම්වතිය වෙන් කරන්න බඳින විසල් පවුරක් අවසානයේ ඇය සියදිවි නසාගන්න මානසිකත්වය කරා රැගෙන යනවා. ආදරයක් අත්හැරුණු දවසක දැනෙන වේදනාව තරම්ම මරණයෙන් බන්ධනයක් වෙන්වෙන තැන ඇතිවෙන වේදනාවත් හුඟක් ගැඹුරුයි... ඒ වේදනාව ගැන වේදනාත්මක චිත්තරූප මවන ගීතයක් ලෙස මේ ගීතය මම දකිනවා.
සිනාවක් හෝ කඳුළක් ඇස් අග දිලිසෙන්න ආය පියාගත් ඒ නෙතු කවදාවත් විවර වෙන්නෙ නෑ. මම ආදරය දුටු... මම වේදනාවන් දුටු... ඒ ඇස් මාව බලන්න මට දකින්න ආය කවදාවත් විවර වෙන්නෙ නෑ. හද මඬල දෝර ගලා ගිය ස්නේහයේ සුව ආය මට විඳින්න මොහොතක් කවදාවත් එන්නේ නෑ. ස්නේහයේ සුව රස මා වෙත කැන්දූ ඒ රතු දෙතොල් ආයෙත් මුතු දසන් පෙන්වන්න කවදාවත් විවර වෙන්නෙ නෑ. රෝස පෙති වන් සියුමැලි කොපුල් තල සුදුමැලි වී ගොසින්. ජීවිතේ යළි නොඑන ගමන යන්නට ඔබ තනියෙන්ම සූදානම්.
සොඳුරිය ඇයි මට නොකියාම යන්න හිතුවේ ඔබ...
තුරුණු යුවතියකගේ දේහය අස සොවින් පිරි දෑස් අයා බලා හිඳින පෙම්වතකුගේ රූපය ඒ පද සමුච්චය ඔස්සේ මැනවින් චිත්රණය කර තිබේ.
දෑස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරැවත් වෙතත් හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරැත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමැයි ඒ සුවඳින්
දිය සීරාවන් වෑහෙද්දී නොකඩවා ඒ දිය වෑහෙයි. දෑස් කවුළු පත් පලාගෙන කඳුළු කැට ඒ දිය දහරා සේ මතුව එයි. ලසෝ ගිනි යක්ෂයකු සේ පපුවට වැද තුන් සිතම පාරද්දී අනායාසයෙන්ම කඳුළු කැට වෑහෙයි. ඒ කඳුළු මැද්දෙන් සුදුමැලි වී ගිය ඔබ මුව මඬල මට දිස්වෙයි. දුක සතුට බෙදා හදාගන්නට උරහිස දන්දුන් ජීවිතේ ඒ අත්වාරුව සදාකාලයටම තමන් හැරයද්දී වාවනු කෙළෙසද?
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත්වෙන්න ඔය මුවට උඩින්
කවුරු හිටියත් ඔබ ළඟ ඔබ වෙනුවෙන් මට හිතෙනවා එදා ආදරයෙන් සිපගත් ඔය මුව අදත් සිඹින්න... ප්‍රාණයෙන් තොර වුවත් හදවතේ නහර පලාගෙන මතුවූ ස්නේහයේ දියවර සිඳී යන්නේ නෑ... ඒ තමයි ආදරය... සුවඳ පැන් ඔබේ දේහයට ඉස හැමදෙනාම ඔබට සමුදෙන්න සූදානම්... ගිහින් එන්න කියලා කියන්න සූදානම්... ඒත් සුවඳ පැන් ඉස ඔබේ මුව මඬල සුවඳවත් කරන්නට හිතක් නෑ මට... හැර ගියත් ඔබ ආදරය ඔබ සුවඳ සදාකාලිකව මගේ හදවතේ හැමදාමත් එලෙසමය.
ශෝකී රසය එක් සාහිත්‍යමය රසයකි. ඒ ශෝකී රසය මෙම ගීතයේ පදයෙන් පදය මැනවින් වචන සහ සංගීතය ඔස්සේ සංයෝජනය වී ඇත. එමෙන්ම සියල්ල අවසානයේ දුක යන යථාර්ථයෙන් කෙළවර වෙන ජීවන සත්තාවන් විෂයෙහිද මෙම ගීතය සත්‍යවාදී නිදර්ශන සපයයි.
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලෝකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අප ඉපදෙමු එකට ප්‍රියේ
ප්‍රාර්ථනා අරමුණු බලාපොරොත්තු වලින් වියුක්ත ජීවිත විරලය. මුනිවර ජීවිතයකටත් ප්‍රාර්ථනාවක් තිබේ. ලෞකික වේවා ලෝකෝත්තර වේවා පැතුම පැතුමමය. මරණය පොදු ධර්මතාවක් වුවත් තිඹිරි ගෙයින් ඇරඹෙන ගමනේ කෙළවර සොහොන බව දනිතත් අපි ජීවිතය අත් නොහරිමු. අප මියැදෙන්නේ ඉටුකරගත් ප්‍රාර්ථනාවන් සහ ඉටුනොවුණු ප්‍රාර්ථනාවන් සමඟය.
හීයේ වේගෙන් අහස උසට බැඳි
ආදර ලෝකය හෙටත් තියේ
හීයක් ඉලක්කය කරා ඇදී යන්නට ගතවෙන්නේ තත්ත්පර කිහිපයකි. ආදර ලෝකයක මැඳුරු තැනෙන්නේද ඒසා වේගයකිනි. එහෙත් ඒ මැඳුරු තැනූ ආදරයේ පංගුකාරයා අහිමිව ගිය සඳ දැනෙන ලතැවුල් මෙපමණයැයි කිව හැක්කේ කාටද?
සියල්ල අවසානයේ ඔහු හිත හදාගන්නට ගන්න උත්සාහය සානුකම්පීය වෙයි
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අප ඉපදෙමු එකට ප්‍රියේ
සසර මෙතෙකින් නිම නොවන සඳ අපි මතු ආත්මයකදීවත් හමුවෙමු.
ජීවිතයක් නිවා සනාලු ප්‍රේමයක් වූ කලී සංසාරයේ මුදුන් මුල තෙක් විහිද ගිය බන්ධනයක්ම මිස අන් කවරක්ද?
ප්‍රේමය යනු මරණයෙන් කෙළවර වෙන සොහොන්කොත්හි සදාකාලයට මිහිදන් කළ හැකි හැඟීමක් නොවේ. මියැදුණු හැම ප්‍රේමයකම අල්පමාත්‍රික භෂ්මාවශේෂයක් හෝ පපුව පැලී රිදුම් දෙන මහා හැඟුමක්ව වරෙක නැගී හිඳිමින් හදවත් බිම් තීරයේ කොතැනක හෝ පැලවී මුල් අදින බව මම විශ්වාස කරමි. රෑ රැහැයියන් උන්ගේ වේදනාවන් ගැන කියන, පාළුව ඉල්ලාන ඉගිලෙන කිරලුන් උන්ගේ වේදනාවන් ගැන කියන තාරුකා ඇස් වසන සීතල මැදියමක සොහොන්කොත් මතින් නැගිට අතීත ප්‍රේම භෂ්මාවශේෂ හද සන්තානයේ අවධි විය හැකිය. ප්‍රේමය ඒසා බලගතු මන්ත්රයකි. ඉඳින් මරණය සංසාර ගමන් මඟ අවසානයක් නොවී කෙළවරක් පමණක් වන යථාර්ථයක ප්‍රේමය සදාතනික හුස්මකි. සසර මුදුන්මුල නොගිලිහෙන ගැටයකි.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර