2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

විඳින කෑල්ල අත්හැරලා විඳවන කෑල්ල අල්ලගන්නවා...

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 168

සුන්දර හිනාවක් මුහුණ පුරා... එහෙම තමයි ඇය අපිව පිළිගත්තේ...
ඇය ගැන ලොකු ලොකු දේවල් නොකියා... ඇගේ වැඩ ගැන පොඩ්ඩක් කියන්නද?

එහෙම හොඳයි නේද?
සුලෝචනා වීරසිංහ... පට්ටම ටැලන්ට් එකක් ඇඟේම තියෙන අපිට ඉන්න දක්ෂ නිළියක්. ඇගේ ජීවිතය වේදිකාවයි... එහෙම කිව්වොත් ඒකෙ ලොකු වරදක් නෑ... මොකද, වේදිකාවේ හතරකොණ සුලෝචනා හොඳටම අඳුනනවා... චිත්‍රපට, ටෙලිනාට්‍ය ගත්තත් ඒක එහෙම්මම තමයි... ඇගේ තාත්වික රංගනය නෙත් සිත් පැහැරගන්නවා... මතකනෙ ගින්නෙන් උපන් සීතල ෆිල්ම් එකේ එයා දුන්න ඇක්ට් එක... ඒ විතරක් නෙමේ, සුලෝචනා කියන්නෙ කා එක්කත් සුහදශීලී ආදරණීය කෙනෙක්... ඒ තමයි සුලෝචනාව අපිට දැනෙන විදිය... 

සුලෝචනා... ජීවිතේ ගෙවෙන විදිය ගැන පොඩ්ඩක් කියලම අපේ කතාව පටන්ගමු නේද?
මම රංගනයෙන් දායක වුණු අලුත්ම සිනමා සිත්තම දවස් කිහිපයකට උඩදී රිලීස් වුණා... ඒක තමයි අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරපු ගින්නෙන් උපන් සීතල... චිත්‍රපටය සම්බන්ධයෙන් මේ දවස්වල මට හොඳ ප්‍රතිචාර ලැබෙනවා... ඒකට ගොඩක් සතුටුයි... තව රොෂාන් රවීන්ද්‍රගේ නිර්මාණයකටත් රංගනයෙන් දායක වුණා... තව අලුත්ම වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වුණා.. කලා ජීවිතයේ වැඩ ඇරුණාම... මගේ ගෙදර දොර වැඩයි, රැකියාවේ රාජකාරියි එක්ක ජීවිතය විඳිනවා... ඕවා තමයි ඉතින්... 

ඒ තමයි මේ දවස්වල සුලෝචනාගේ ජීවිතය. අනං මනං නැතුව සරල විදියට අපි වැඩේ පටන් ගන්න හිතුවා...
සුලෝචනාගේ කලා නිර්මාණ අපි දන්නවනේ... ඔයා රඟපාපුවත් අපි ඕන තරම් දැකලා තියෙනවා... ඒවා පැත්තකින් තියලා ඔබේම නිර්මාණයක් කියලා හිරකරලා පරිස්සමින් තියාගන්න තරම් හිතුණු එකක් ගැන ටිකක් කතා කරමුද..? මගේ වචනයෙන් කියනවනම් පපුවට වැදුණු එකක්... 

සුලෝචනා මොහොතකට කල්පනා ලෝකයේ... 

ජීවිත කාලෙට මට දැනුණු, මාව සංවේදී කරපු, මාව අඬවපු නිර්මාණ ගොඩක් මුණගැහිලා තියෙනවා... මෑත කාලෙදී මට ගොඩක්ම දැනුණු නිර්මාණයක් තෝරාගන්න එක කාලෝචිතයි කියලයි මගේ හැඟීම.... මේ දවස්වල මට ගොඩක් දැනුණු මම කැමති වුණු නිර්මාණය තමයි මලිත් හෑගොඩගේ දැකලා පුරුදු කෙනෙක් කියන සිනමා සිත්තම...

අපේ රටේ පහුගිය කාලේ ගොඩක් චිත්‍රපට හැදුණානෙ... ඒවට හිත නොගිහින්... ඇයි මේ දැකලා පුරුදු කෙනෙක්ටම හිත ගියේ...?
සිනමා නිර්මාණ කිහිපයක්ම පහුගිය කාලේ මම බැලුවා... ඒ සියල්ලත් ගොඩක් හොඳ නිර්මාණ... දැකලා පුරුදු කෙනෙක් මට ගොඩක්ම දැනෙන්න හේතු කිහිපයක් තියෙනවා... ජීවිතයේ පළවැනි වතාවට තනියම චිත්‍රපට ශාලාවක චිත්‍රපටයක් බැලුවේ දැකලා පුරුදු කෙනෙක්ව... මගේ යෙහෙළියෝ දෙන්නෙක් එක්ක තමයි චිත්‍රපටය බලන්න හිටියේ. ඒ දෙන්නා සිනමාශාලාවට එනකොට ටිකක් පරක්කු වෙලා... පස්සේ එයාලට සිනමාශාලාවට එන්න අවසර දීලා නෑ... ඒ නිසා මට තනියම තමයි චිත්‍රපටය බලන්න වුණේ... මෙවැනි සිනමා කෘතියක් තනියම නැරඹීම වෙනමම දැනීමක්, අමුතුම ෆීලින් එකක්... ඒක මට දැනුණේ චිත්‍රපටයේ මැදදී සහ අවසානයේදී... මේ චිත්‍රපටයට ප්‍රස්තුතය වෙන්නෙ විවාහක යුවළක් අතර ඇතිවන ගැටුමක්... මේ ගැටුම නිසා මේ තරුණ යුවළ පත්වන මානසික තත්ත්වයන් තමයි මුළු සිනමා කෘතිය පුරා දිගහැරෙන්නෙ... මේ චිත්‍රපටය මට ගොඩක් දැනෙන්නත් හේතුව ඒකම තමයි... සිනමාශාලාවේ ආසනයේ ඉඳන් දැකලා පුරුදු කෙනෙක් බලනකොට අපිත් ඒ දැකලා පුරුදු කෙනා වෙනවා... මට කොයි වෙලාවකවත් දැනු‍ණේ නෑ මේ චිත්‍රපටය කියලා... අපේ ගෙදර ඇතුළේ වෙන දෙයක් විදියට තමයි ඒ දේ දැනෙන්න ගන්නෙ... ඒ තරම් අපූරුවට මේ චිත්‍රපටය මලිත් නිර්මාණය කරලා තිබුණා... ඊටම නොදෙවැනි රංගනයක බිමල් ජයකොඩි සහ සමාධි නියැලෙනවා... මේ කතාව අපි හැමෝගෙම පොදු අත්දැකීමක් කියලා මට හිතෙන්නෙ...

සමාධි නිරූපණය කරන්නෙ දිනිති කියන විවාහක තරුණියගේ චරිතය. බිමල් නිරූපණය කරන්නෙ ඇයගේ ස්වාමිපුරුෂයා වන සචිත්‍රගේ චරිතය. මේ චරිත දෙක වටා තමයි මේ සියලු සිදුවීම් වෙන්නෙ... දිනිතිගෙන් වෙච්ච අතීත සිදුවීමක් හේතු කරගෙන දිනිතිව සචිත්‍ර නැවත නැවත පෙළන විදිය මටනම් හිතාගන්න බෑ... ඒ ගැහැනියගේ දරාගැනීම සහ ඒ වේදනාව පිරිමියා වන සචිත්‍රට නොතේරීම පුදුම සහගතයි... දිනිතිට වෙන සම්බන්ධයක් තිබිලා තියෙනවා විවාහයට කලිනුත් විවාහයෙන් පසුවත්. මේ සියල්ල ඇය සචිත්‍රට කියලා තමයි ඔවුන් දෙදෙනා විවාහයට පත්වෙන්නෙ. දිනිතිගෙයි සචිත්‍රගෙයි විවාහය ආදර සම්බන්ධයකින් ඇතිවන එකක්.  ඔවුන් දෙදෙනා ආදරය කර විවාහ වෙලත්... අතීත සිදුවීම් මතුකර කර ගැහැනිය වන දිනිතිව අපහසුතාවට පත්කරන විදිහ මටනම් හරිම ප්‍රහසනාත්මකයි. මේ සියලු වේදනා දරාගෙන නැවත සචිත්‍ර සමඟ ජීවිතය දිගහරින්න කරන උත්සාහය හරිම හැඟීම්බරයි... කුටුම්භය ගැන මේ තරම් ගැඹුරට කතා කරන වෙනත් නිර්මාණයක් මට මෑතකදී හමුවෙලා නෑ... ඒකයි මට දැකලා පුරුදු කෙනෙක් මේ තරම් දැනෙන්නේ... විශේෂයෙන්ම නළු නිළියන්ගේ රංගනය සහ අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීම විශිෂ්ට මට්ටමක තිබුණා...

දැකලා පුරුදු කෙනෙක් ඇතුළේ ඔයාට වැඩියෙන්ම දැනුණු විශේෂ චරිතයක් ඉන්න ඇතිනේ.. ?
මට ගොඩක්ම දැනු‍ණේ නපුරාගේ රංගනය... ඒ කියන්නෙ බිමල් ජයකොඩි පණ පොවන සචිත්‍රගේ චරිතය. ඊට නොදෙවැනි විදියට දිනිතිගේ චරිතයත් මගේ හදවතේ තැන්පත් වුණා. සමාධි සහ බිමල් එකිනෙකා පරයා තමන්ගේ රංගන කෞෂල්‍යය ප්‍රතිභාව විදහා දැක්වුවා. මට මේ චරිත දෙකම ගොඩක් දැනුණු චරිත දෙකක්... 

දැකලා පුරුදු කෙනෙක් නරඹද්දී සුලෝචනා වැඩිපුර සංවේදී වුණු තැනක් දෙකක් මතක් කරමුද? 
මේ නිර්මාණයේ ගොඩක් තැන් සංවේදී තැන් තමයි... ඒ අතරිනුත් මට ගොඩක් දැනුණා සචිත්‍රගෙන් එන පීඩනය දරාගන්න බැරිව දිනිති සියදිවි නසාගන්න යන තැන... ඕනම කෙනෙකුට එක මොහොතක් හරි උදාවෙනවා ජීවිතයේ පහළම අඩියට ඇද වැටෙන. ඒ වගේ වෙලාවට අපි ඕනම කෙනෙක්ට සියදිවි නසාගන්න අඩුම තරමින් හිතින් හිතන මොහොතක් හරි එනවා... ප්‍රශ්නවල කෙළවර හොයගන්න බැරි වුණාම, ඒ පිළිබඳ අදහස් නැති වුණාම, මොන තරම් ශක්තිමත් කෙනෙක් වුණත්... අසරණ වෙනවා. ඒ මොහොත මාව කම්පනය කළා.

මේ නිර්මාණය ඔබට මුණගැහෙන්නෙ කොහොමද? කවුද ඔබට මේ නිර්මාණය බලන්න කිව්වේ...?
මම ගොඩක් නිදහස තියෙන කෙනෙක් නෙමේ... එන හැම චිත්‍රපටයම නරඹන්න... මොකද, මගේ රැකියාවේ වැඩයි, රංගන කටයුතුයි, ගෙදර දොර වැඩත් එකක්... ඒත් කොහොම හරි මම මේ ෆිල්ම් එක බලන්න හිටියේ... තිසර ඉඹුලාන කියලා මගේ හොඳ මිත්‍රයෙක් ඉන්නවා. එයත් කිව්වා ලස්සන ෆිල්ම් එකක් තියෙනවා ගිහින් බලන්න කියලා... එහෙම තමයි මට මේක මුණගැහෙන්නේ...

මෙවැනි පවුල් ප්‍රශ්න සමාජයේ ඕන තරම් තියෙනවා. මේ වගේ නිර්මාණයකින් මොනවගේ දෙයක් සමාජයට ගන්න පුළුවන් කියලද සුලෝචනාට හිතෙන්නේ...?
ලෝකයේ හොඳම විතරක් කරන සුදු චරිත නෑ... මේ ලෝකයේ නරක විතරක් තියෙන කළු චරිතත් නෑ. අපි හැමෝගෙම හොඳ සහ නරක දෙකම තියෙනවා... එක් අයකුගේ පොඩි එක වැරැද්දක් අල්ලගෙන තමන්ගේ අතින් කිසිම වැරැද්දක් වුණේ නැති අයුරින් හැසිරීම නොකළ යුතු දෙයක් කියලයි මගේ හැඟීම... අපි කවුරු අතිනුත් වැරදි වෙනවා... මට දැනෙන විදියට මේ චිත්‍රපටයේ දිනිති අතින් සමාව දෙන්න බැරි වැරැද්දක් වෙලා නෑ.. මොකද, ඇය ඇගේ අතීතයේ වුණු සියලු සිදුවීම් සචිත්‍රට කියනවා.. ඒ මොහොතෙ ඔහු එය ගාණකටවත් නොගෙන... විවාහයෙන් දරුවෙකුත් ලැබුණට පස්සේ ඒ අතීත සිදුවීම පාවිච්චි කරමින් දිනිතිට දැඩි පීඩාවක් කරනවා... ඒක අමානුෂිකයි... දිනිති ගැන වගේම මට සචිත්‍ර ගැනත් ලොකු දුකක් තියෙනවා... කිසිම තේරුමක් නැතිව ලස්සන පවුල් ජීවිතයත් ගතකිරීමේ හැකියාව තියාගෙන සචිත්‍ර මානසිකව විඳවනවා... තමන්ගේ මනෝභාවයන්ට වහල්වෙලා ජීවිතය විඳින්න තියෙන තැන් මඟහැර ගන්නවා. මෙහෙම සිදුවීම් අද සමාජයේ බොහොමයි... මෙවැනි නිර්මාණයක් බලලා අපිට අපි ගැනම ස්වයං විවේචනයක් කරගන්න පුළුවන්... පුංචි පුංචි දේවල් ලොකු ප්‍රශ්න කරගන්න හොඳ නෑ... විඳවනවට වඩා ජීවිතය විඳින එකයි කරන්න ඕනෙ. ජීවිතයේදී අපි කාටත් මෙවැනි ප්‍රශ්න අත්විඳින්න වෙනවා... වැදගත්ම දේ තමයි ඒ ප්‍රශ්නවලට මානුෂීය විසඳුම් සොයාගන්න එක.

දැකලා පුරුදු කෙනෙක් සිනමා කෘතිය බලලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට දැනුණේ?
මේ දෙදෙනාගේ විඳවීම නිසා ඇත්තටම මට දුකක් දැනුණා... කොච්චර ලස්සනට ඉන්න පුළුවන් දෙන්නෙක්ද කියලා හිතුණා... විඳින්න තියෙන කොටස හිතන්නෙ නැතුව... විඳවන කෑල්ලේ විතරක් කිසිම තේරුමක් නැතිව අපි හිරවෙලා ඉන්නෙ ඇයි කියන එක තමයි ප්‍රශ්නය? ඒ ප්‍රශ්නයට අපි සියලු දෙනා උත්තර හොයන්න ඕනෙ..
එහෙම තමයි සුලෝචනා නිහඬ වුණේ.. 

 

► Text - Danushka Wijesiri   /   Pic – Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00