2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

ගිනි නිවන ගමනක්!

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 67

ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල සමරන්නේ සාමයේ කුමරුවාගේ පැමිණීම සමරන්නයි. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ සාමයේ පණිවුඩය රැගෙනයි. එසේ මේ ලෝකයට ගෙනා සාමයේ පණිවුඩය වර්තමානයේදී ලොවපුරා ගෙන යාමේ වගකීම භාරදූර කාර්යය පැවරී තිබෙන්නේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේටයි.

උන්වහන්සේ පසුගිය සතියේ මොරොක්කෝවට වැඩම කළේත් එවැනිම අදහසකින් යුතුවයි. උතුරු අප්‍රිකානු රටක් වන මොරොක්කෝවේ බහුතරය මුස්ලිම් ජාතිකයින් වෙද්දී සුළුතරය කතෝලික සහ යුදෙව් ජනතාවගෙන් සමන්විතයි. මේ මුස්ලිම් සහ කතෝලික ජනතාව අතර පහුගිය කාලය පුරාම විවිධ ආරවුල් මතුවුණා. පාප් වහන්සේ කතෝලික ලෝකයේ ප්‍රධානියා විදිහටත් සාමයේ පණිවුඩය පතුරුවන්නා ලෙසත් මොරොක්කෝවට ගියේ ඇවිලෙන ගින්දර නිවා දැමීමේ අදිටනිනුයි. 
කතෝලික මුස්ලිම් දෙපාර්ශවයම අමතමින් උන්වහන්සේ කියා සිටියේ අපි හැමකෙනෙක්ම එකිනෙකාගේ සහෝදරයා නැත්නම් සහෝදරිය ලෙස කල්පනා කරන ලෙසයි. මොරොක්කෝවේ සහෝදරවරු සහෝදරියන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ සාමයෙන් සහයෝගයෙන් කටයුතු කළා. වෛරයෙන්, බෙදීමෙන් සහ පළිගැනීමෙන් සිදුවන්නේ මිනිසුන්ගේ අධ්‍යාත්මය විනාශ වී යාමත් අපේ දරුවන්ගේ අනාගත බලාපොරොත්තු බොඳවී යාමත් පමණයි. වෛරය නිසා අපි ආදරය කරන හැමදෙයක්ම විනාශ වී යාවි, උන්වහන්සේ දහදාහකට අධික පිරිසක් වෙනුවෙන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් ප්‍රකාශ කර සිටියා.

ඒ වගේම යම් හෙයකින් මොරොක්කානු සමාජය තුළ ජනතාව ක්‍රිස්තියානිකරණය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේ නම් තමා එයට විරුද්ධ බවද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. 
මොරොක්කානු සංචාරය අතරතුරදී කතෝලික පල්ලියේ ආධාර උපකාර ලබන අනාථ නිවාසයක් වෙතත් පාප් වහන්සේ ගමන් කළා. පිළිස්සුම් තුවාල ලැබූවන්, රැකියා නොමැති තරුණියන් ඇතුළු බොහෝ දෙනෙක් නේවාසිකව ඉන්න මේ නිවාසයත් එහිම පවතින පෙර පාසලත් උන්වහන්සේ නිරීක්ෂණය කළා. 

එම පෙර පාසල කතෝලික සභාව නඩත්තු කරන ස්ථානයක් වුණත් එතැන හිටි ගුරුවරු බොහෝදෙනා මුස්ලිම් කාන්තාවන්. ඒ වගේම පෙරපාසලට එන දරුවන්ට උගන්වන්නේත් කතෝලික දහම වෙනුවට ඉස්ලාම් දහමයි. එයත් අරාබි භාෂාවෙන්. ඒ නිසාම පෙරපාසලේ කටයුතු උන්වහන්සේගේ පැසසුමට භාජනය වුණා.

කොහොම වුණත් පාප් වහන්සේගේ සංචාරය මොරොක්කෝවේ ආගමික සහජීවනයට අලුත් බලාපොරොත්තුවක් ඇතිකළ බව තමයි වැඩිදෙනෙක්ගේ මතය වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම කතෝලිකයන්ගේ ආගමික නිදහසට ඉදිරියේදී මොරොක්කෝවේ රජයෙන් වැඩි සහනයක් ලැබේවි කියලත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. 

ඩේලිමේල් ඇසුරෙන් 

►Text - Suranga