2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

පොත්පත් එක්කම තමයි දවස ගෙවෙන්නෙ...

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:31 335

- අයිරාංගනී සේරසිංහ

නුවන් ජයතිලක අධ්‍යක්ෂණය කළ සුළඟ අප රැගෙන යාවි සිනමාපටයට ඔබ දායක වුණා. නුවන්ගේ මෙම චිත්‍රපටයට දායක වෙන්න හේතු වුණේ කුමක්ද..?

නුවන් ජයතිලක කියන්නෙ තරුණ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු මුලින්ම මට මේ චිත්‍රපටය සඳහා ආරාධනා කරලා පිටපත ලබා දුන්නා. කතා සාරංශය කිව්වා. ඇත්තටම මම ඒ කතාවට ආසා වුණා. ඒක හොඳ පිටපතකට ලියවුණු කතාවක්. ඒ වගේම ඒ චිත්‍රපටය රූපගත කිරීම් කරන්න යොදාගන්න පළාතට මම ආසා කළා. ඒ පළාත බලන්න මට ලොකු ඕනකමක් තිබුණා. ඒ නිසාත් මම ඒ චිත්‍රපටයට ලැබුණු ආරාධනාව සතුටින් බාරගත්තා. ඒක හරිම ලස්සන පළාතක්.

ඔබ ගහකොළට, සතා සිවුපාවුන්ට ආදරය කරන කලාකාරියක්. මේ පරිසරය ඔබට දැනුණේ කොහොමද..?
ඇත්ත.. මම ගහකොළට හරි ආදරෙයි. අපේ රට කොච්චර ලස්සන රටක්ද..? මට තාම මතකයි මම එංගලන්තයේ හිටපු දවසක වැස්සට තෙමුණු පුංචි දරුවෙක්ට මම මගේ කුඩය ඇල්ලුවා. මා දිහා හරිම ආදරයෙන් බලපු ඒ පුංචි දරුවා ගහක කොළ තුනක් මගේ අතට දීලා තමයි මට තැන්ක් යූ කිව්වෙ. පුංචි දරුවන් පවා මේ ගහකොළට හරි ආදරෙයි. අදටත් පුළුවන් විදිහට මම ගහකොළට සාත්තු කරනවා. ඉතින් මේ චිත්‍රපටයේ රූපගත කිරීම් කළෙත් ගහකොළ පිරුණු, ඇළ දොළ තියෙන ලස්සන පරිසරයක. මම ගහකොළට වගේම සතා සිවුපාවුන්ට හරි ආදරෙයි. මගේ මියගිය පුතා හරක් මරනවාට දැඩි ලෙස විරුද්ධ වුණු කෙනෙක්. එයා සතා සිවුපාවුන්ට ආදරය කරපු දරුවෙක්. ඉතින්... ගහකොළින් වටවුණු ඒ ලස්සන පරිසරයේ රූපගත කිරීම් කරද්දී හිතට දැනුණේ පුදුමාකාර සැනසීමක්.

මෙම චිත්‍රපටයේ ඔබට ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක මෙන්ම කුඩා දරුවන් දෙදෙනෙක් සමඟයි වැඩිපුරම රඟපාන්න තිබුණේ. ඒ දරුවන් එක්ක ගතකරපු කාලය ගැන මොකද හිතන්නෙ...?
ඒ දරුවන් දෙන්නා හරිම ෂෝක්. මට ඒ දෙන්නා එක්ක රඟපාන්න හුඟාක් ලේසි වුණා. ඒ දෙන්නා මාත් එක්ක හොඳට කතා කළා. ඉක්මණට හිතවත් වුණා. සමහර දරුවන් එක්ක වැඩ කරද්දී අපිත් එක්ක හිතවත් වෙන්න ටිකක් වෙලා යනවනෙ. කොච්චර කතා කළත් ටිකක් ආගන්තුක ගතියක් තියෙනවනෙ. හැබැයි.. මේ දරුවන් දෙන්නානම් එහෙම නැහැ. යාළුවෝ දෙන්නෙක් වගේ මාත් එක්ක හොඳට කතා කළා. හොඳට හිටියා. දෙන්නටම මේ වැඩේට ලොකු උනන්දුවක් තිබුණා. කියලා දෙන දේ හොඳට අහගෙන ඉඳලා ඒ විදිහට කරන්න තමයි හැමවෙලේම උත්සාහ කළේ.

චිත්‍රපටයේ රූපගත කිරීම් යෙදුණු පළාතේ ගතකරපු ඒ පොඩි කාලය ගැන ඔබට මොකද හිතෙන්නෙ...?
අපි දින කිහිපයක්ම රූපගත කිරීම් කළා. ඒ කාලයේදී මම එහේ නැවතිලා හිටියෙ. ලස්සන වටපිටාවක පොඩි ගෙයක තමයි මට නතර වෙන්න තිබුණේ. ඒක පොඩි ගෙයක් වුණාට අමුතු සුන්දරත්වයක් තිබුණා. ඒ වටපිටාව හරි ලස්සනයි. මමනම් ඉතින් වැඩිය එහේ මෙහේ ඇවිදින්නෙ නැහැ. හැබැයි ෂූටින් නැති වෙලාවට ඔය ඉස්සරහ පුටුවක් එහෙම තියාගෙන ඒ ලස්සන විඳපු වෙලාවලුත් තිබුණා. ඒ චිත්‍රපටයේ මුළු කණ්ඩායමම හරිම හොඳයි. හැමෝම තමන්ගෙ වැඩක් වගේ හිතලා වැඩ කළා. ඒ ගතකරපු පොඩි කාලසීමාව ගැන ඇත්තටම මම සතුටු වෙනවා.

සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය ලංකාවේ තිරගත වන්නට මත්තෙන් බොහෝ සිනමා උළෙලවල්වලදී ප්‍රදර්ශනය කළා. සම්මාන දිනාගත්තා. මේ ගැන ඔබට මොකද හිතෙන්නෙ...?
ගොඩක් සතුටුයි. ඇත්ත.. ඒක සිනමා උළෙලවල් කිහිපයකම සම්මාන දිනාගත්තා. හැබැයි මට ඒවායේ නම් මතක නැහැ. (එතුමියගේ ඉල්ලීම පරිදි සම්මාන දිනාගත් අවස්ථාව පිළිබඳ මෙසේ සටහන් කරන්නම්. 2016 ලොව හොඳම චිත්‍රපටය, 2016 ගෞරවණීය රෙමී සම්මානය, 2016 අමෙරිකා - හුස්ටන් ජාත්‍යන්තර සිනමා උළෙල, ඉතාලිය - මෙත්රො කොමන්ත්රො කොර්තො සිනමා උළෙළ නියෝජනය කරමින් සම්මාන ලබා ඇත. මේ වනවිට මෙම චිත්‍රපටය ලොව පුරා දර්ශනවාර හැට අටක් පමණ ප්‍රදර්ශනය කර ඇත.)

මේ වනවිට සුළඟ අප රැගෙන යාවි සිනමාපටය දිවයින පුරා තිරගත වෙනවා. ඔබ දායක වුණු මෙම චිත්‍රපටය ගැන අද ඔබට මොකද හිතෙන්නෙ..?
චිත්‍රපටය මම බැලුවා. ඇත්තටම මට මේ චිත්‍රපටය සාර්ථක චිත්‍රපටයක් කියලා හිතෙනවා. එදා බලන්න ආපු බොහෝ දෙනා මම ළඟට ඇවිත් ඒ ගැන කතා කළා. ඇත්තටම හැම මව්පියෙක්ම තමන්ගේ දරුවන්ට පෙන්විය යුතු ලස්සන චිත්‍රපටයක් විදිහට මම සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය හඳුන්වනවා. අද වෙනකොට සිනමාවට අලුත් අධ්‍යක්ෂකවරුන් එකතුවෙලා ඉන්නවා. ඒක ගොඩක් හොඳයි. ඒ බොහෝ අධ්‍යක්ෂකවරුන් මේ ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

මේ වෙනකොට ඔබ වෙනත් නිර්මාණවලට දායකවෙලා නැද්ද..?
පසුගිය කාලෙදී මම ටිකක් අසනීපවෙලා හිටියනෙ. ඒ නිසා වැඩ බාරගත්තෙ නැහැ. දැන්නම් ටිකක් ඇවිදින්න එහෙම පුළුවන්. බොහෝ වෙලාවට මේ මාසේ අන්තිමට සනත් අබේසේකරගේ ගුත්තිල චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ කරනවා. ඒකට මම දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. දැන්නම් මගේ කාලය වැඩිපුරම ගෙවෙන්නෙ ඇඳේම තමයි. වැඩිපුර එළියට එහෙම යනවා හරිම අඩුයි. ඉතින්.. ඇඳේ ඉඳගෙන මම පොත් කියවනවා. ඒ නිසා වැඩිපුරම කාලය ගෙවෙන්නෙ පොත් එක්කම තමයි. 

 

► Text - Dishani  /  Pic -  Internet