2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මධුසමයට ගල් ගුහාවක්

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 250

වෙනස්ම රාත්‍රියක අත්දැකීමක් හොයාගෙන අපි ගියා රාත්‍රියක් ගල් ගුහාවක ගෙවන්න. හාත්පසින් අඳුර ගලාගෙන එද්දී ගල් ගුහාව ඇතුළේ ලන්තෑරුමක් දැල්වුණා. උස කඳු මුදුනක ප්‍රපාතයක් පසුබිම්ව ඇති මේ ගල් ගුහාවේ රාත්‍රියක් කියන්නේ රැහැයියන්ගේ නාදය හඬින් කවුදැයි වෙන් කර හඳුනාගන්න බැරි තවත් සත්තුන්ගේ නාදයත් එක්ක ගෙවෙන පුදුම රාත්‍රියක්.

ඒ රාත්‍රිය හොයාගෙන අපි ගියේ අල්ගම Sri Craft සමීරව හොයාගෙන. ඔයාට මතකයිනම් අපි මීට ඉස්සර එක දවසක් සමීර එක්ක කන්දක් තරණය කරලා ඇල්ලකින් නාලා හරි අපූරු සවාරියක් ගියා රාත්‍රියක් හොයාගෙන. මෙදා සැරේ අපි ගියේ ඊටත් වඩා අපූරු අත්දැකීමක් හොයාගෙන. 

මේ ස්වභාවික ගල් ගුහාව තියෙන්නේ අල්ගම කඳු මුදුනේ. රාත්‍රියක් ගතකරන්න මිතුරු මිතුරියන් පිරිසක් එක්ක යන්න කියාපු තැන තමයි මෙතන. ස්භාවිකත්වය එක්ක ජීවත් වෙන්න ගහකොළ ස්වභාවධර්මයත් එක්ක අලුත් ආරෙකින් ගනුදෙනු කරන්න මිනිස්සු දරන වෑයම දැන් අලුත්ම ප්‍රවණතාවයක්.


 

යාළුවෝ කට්ටි‍ය විතරක් නෙමෙයි, මධුසමය රාත්‍රිය ගත කරන්න ආදරවන්තයන් දැන් දැන් මේ ගල් ගුහාව සොයාගෙන එනවා. රෑ රැහැයි හඬ ඈත අහසේ තරු සඳ එළිය කළුවර ලන්තෑරුම් එළියත් එක්ක මධුසමය ගෙවන රාත්‍රියක් අමුතුම මිහිරක් කියලා ඔයාලටත් දැනෙයි. රාත්‍රියක් ගත කරද්දී රෑ කෑම උණු උණුවෙන් ගල් ගුහාව ඇතුළේම ලෑස්ති කරනවා.

BBQ චිකන්, පොල් රොටි, කොච්චි යෙදූ ලුණුමිරිසක් තමයි රෑ කෑමට හම්බෙන්නේ. ඒ රස ගැන කියන්න වචන නෑ. උදේම උණු තේ එකක් හම්බෙනවා. ඒත් එක්කම ඔයාලට අවශ්‍ය හැම පහසුකමක්ම එතැනදී හමුවෙනවා. උදේ 10.00 ඉඳන් පසුදා උදේ 10.00 වෙනකන් නැත්නම් සවස 3.00 සිට පසුදා සවස 3.00 වෙනකන් පැකේජ් 2ක් තියෙන්නේ.

කිතුල් මලෙන් පෙරන රා පොල් කට්ටක රහ බලන්න වල් ඌරු මස් කෑල්ලක රස නහර පිනා යන රසවිඳින්න මේ ගල් ගුහාව ඇතුළේ ගෙවෙන හෝරාවන්වලදී ඔන්න ඔයාලට ඉඩ තියෙනවා. ඉතින් අලුත් අත්දැකීමක් විඳගන්න ඔයත් ගල්ගුහාවේ එක රාත්‍රියක් හොයාගෙන යන්න.

 

► Text  and pic – Channa Kassapa Koralearachchi

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00