2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

පළවෙනි වතාවට සාරියක් ඇඳන් කෝවිල් යනවා

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 130

නිත්‍යවානී... ප්‍රියදර්ශන් සමඟ විවාහ වෙලා සමරන මුල්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද තමයි මේ ගතකරන්නේ. එහෙම නේද?
ඔව්... මේ මගෙයි ප්‍රියදර්ශන්ගෙයි මුල්ම අලුත් අවුරුද්ද තමයි. අපි දවස් කිහිපයකට උඩදී අපි හැමෝටම ගිහින් අලුත් ඇඳුම් ගත්තා. කෑම බීම හැඳුවා. අලුත් අවුරුද්දට සූදානම් වුණා. අපි දෙන්නා ඉන්නේ වෙනම ගෙයක පදිංචි වෙලයි. හැබැයි අපේ අම්මලාගේ ගෙදර තියෙන්නේත් අපේ ගෙදරට ඉස්සරහයි. ඒ නිසා ඒ වැඩවලටත් අම්මාත් උදව් කළා.

නිත්‍යවානී... දමිළ අය අවුරුදු සමරන්නේ කොහොමද?
 අපි හැම අලුත් අවුරුද්දකදීම උදේන්ම නැගිටලා කෝවිලෙන් ගෙනාපු වතුරවලින් ස්නානයක කරනවා. ඒක අපි ගේන්නේ කෝවිලෙනුයි. එයින් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙනවා කියලා දමිළ අපි විශ්වාස කරනවා. ඊට පස්සේ අපි මුලින්ම ගෙදර ජූජාවල් තියනවා. ගෙදර පූජාව තියද්දී අපි පොංගල්, මුරැක්කු, වඩේ වගේ රසකැවිලි හදනවා. ගෙදර පූජාව තියලා ඉවරවුණාට පස්සේ අපි හැමෝම එකතුවෙලා කෝවිලට යනවා. කෝවිලේ තියන පූජාවට සහභාගී වුණාට පස්සේ අපි ආයෙත් ගෙදර ඇවිත් කෑම බීම බෙදා හදාගන්නවා.

කුඩා කාලයේදී ගතකරපු අවුරුද්ද හරි අපූරුයිනේ... මතකද ඒ කාලේ?
අම්බෝ ඔව්... හොඳට මතකයි. ඒ කාලේට ඉතින් ඉස්කෝලේ නිවාඩුනේ. ඉතින් අපිට නම් සතුටුයි. අපි ඇතිතරම් සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරද්දී දමිළ ළමයි විතරක් නෙවේ සිංහල ළමයිනුත් එනවා අපි ඔක්කොම එකතුවෙලා සෙල්ලම් කරනවා. අවුරුද්දට අපිට තාත්තා අලුත් ඇඳුම් අරගෙන දෙනවානේ. ඉතින් ඊට වඩා සතුටක් තවත් නැහැ. අපි එක දවසක් දාගෙන ඇඳුම් ගන්න යනවා. ඉස්සරනම් ඇඳුම් ගන්න ගියාම අපි දෙන්නට පුදුම කාලයක් තමයි යන්නේ. ෂොප් ගොඩකට ගිහින් තමයි ඇඳුම් තෝරගෙන ගෙදර එන්නේ. දැන් නම් එහෙම අමාරුවක් නැහැ. ඇත්තටම ඒ කාලේ හරිම ෂෝක්. අපි සිංහල කැවිලි පෙවිලි කන්න හරි ආසයි. සිංහල අපේ යාළුවෝ අපේ මුරුක්කු, වඩේ කන්න හරි ආසයි. දැන් ඉතින් මම වෛද්‍ය ශිෂ්‍යාවක් නිසා ඒ වැඩත් තියෙනවා. ඉස්සරනම් මේ කාලේට හරිම නිදහස් සෙල්ලමම තමයි. කොහොමටත් අලුත් අවුරුද්දට තාත්තා අපිව කොහේ හරි එක්කගෙන යනවා. ඒ ගමන් යන්නත් අපි හරි ආසයි.

අලුත් අවුරුද්දට නිත්‍යවානිලා වැඩිපුරම අදින්නෙත් සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් නේද?
ඔව්... අපි කෝවිලට යනකොට නම් අනිවාර්යයෙන්ම ඔළුවට මල් ගහලා තමයි යන්නේ. කොහොමටත් අලුත් අවුරුද්දට කෝවිල් යද්දී අඳින සාරි වුණත් ටිකක් හොඳම ඒවා තමයි අඳින්නේ. එදාට හැමෝම ලස්සනට, පිළිවෙළට ඇඳගෙන කෝවිලට යනවා. වෙන අවුරුදුවලනම් මම කෝවිලට සල්වාර් තමයි ඇන්දේ. හැබැයි විවාහ වුණාට පස්සේ මේ අපේ පළවෙනි අවුරුද්ද නිසා මම මේ අලුත් අවුරුද්දේ සාරියක් අඳිනවා. මම කෝවිලට මීට කලින් සාරි ඇඳලා නැහැ. මේ පාර අඳිනවා. ප්‍රියදර්ශන් එදාට කෝවිලට වේටිටිය අඳිනවා.

නිත්‍යා ගෙදර අයට තෑගි බෝග ගත්තාද?
ඔව්... අපේ අලුත් අවුරුද්දටත් අපි අම්මලාට තෑගි බෝග අරගෙන දෙනවනේ. මේ පාර අපේ පළවෙනි අවුරුද්ද නිසා අම්මලාත් අපිට තෑගි දුන්නා. අපි ඉන්නේ සොයිසාපුර ප්‍රියදර්ශන්ගේ අම්මලා ඉන්නේ නාරහේන්පිට ඉන්නේ. අපි අලුත් අවුරුද්දේ චාරිත්‍ර ටික කරලා කෝවිල් ගිහින් ප්‍රියදර්ශන්ගේ අම්මලාගේ ගෙදරටත් යනවා. අපි බම්බලපිටිය කදිරේෂන් කෝවිලට තමයි යන්නේ.

මේ සිංහල හා හින්දු අලුත් අවුරුදුදා නිත්‍යවානිගේ සුභ පැතුම මොකක්ද?
මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපි හැමෝම එකතුවෙලා සාමයෙන් සතුටින් පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවායි මම ප්‍රර්ථනා කරනවා. 

 

► Text - Dishani  /  Pic –  Internet

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00