2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස 

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 372

මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා... ඔයාට ඔයාව කවදා හරි මුණගැහිලා තියෙනවද? මම කියන්නේ කවුද? ඒ මම කියන ඔබ විනිවිද ඔබේ ඇතුළාන්තයේ ලේ මස් ඇට නහර විනිවිද ඇති ගැඹුරු හුස්ම ඔබට හමුවී තියෙනවද? මම විශ්වාස කරන්නේ බුදුන් වහන්සේට හැරෙන්න අපි කාටවත් මම කියන යථාර්ථය මුණගැහිලා නෑ. අපි කවදාවත් ලෝකය හොයන්න පිරික්සන්න ජීවිතය බන්ධන තුළ බහාලන්න ජීවිතය නානාවිධ සිරගෙවල්වල සිරකරන්න ගන්න වෑයම අප්‍රමාණ මහන්සිය කවදාවත් මම හොයන්න මම හඳුනාගන්න වැය කරන්නේ නෑ... ඒ නිසා උප්පත්තියේ සිට මරණය තෙක් අපි තව කෙනෙක්ගේ වහලෙක්... ඉහළට ගන්න හුස්මේ සිට සියලු සිතුවිලි පරම්පරාවන් තුළ අපි තව කෙනෙක්ගේ සිතුවිල්ලක අවශ්‍යතාවයක සිරකාරයෙක්... මම තුළ මම හමුවූ දිනක ඔබ මගේ සහ මගේමයි සිතන බොහෝ දේවල් හදවතින් අත්හරියි... සොබාදහම කියන අපූරු ගුරුවරයා.. ප්‍රාමාණික දාර්ශනිකයා ඔබ දැන හඳුනාගත් දවසක ඔබට හමුනොවූ ඔබ සොයා යන්නට මඟක් සොයයි... ලෝකය කියන මහා අවකාශයේ ඔබ ඔබට පයගහන්න ඉඩහසරක් හොයන්න පෙර ස්වභාවධර්මය කියන තොටිල්ලේ නැලවෙන්න...

මහ කඳු සෙලවුණත් ඔබ නොසෙල්වී හිඳියි...

මම ඔබට කිව්වා ස්වභාවධර්මය කියන තොටිල්ලේ නැළවෙන්න කියලා... ස්වභාවධර්මය කියන අපූරැ ගුරුවරයා උගන්වන හැම පාඩමකටම ඇහුම්කන් දෙන්න කියලා... මහ කඳු... අහස සිඹින විසල් තුරු... එහෙට මෙහෙට පා වෙන වා කැරලි... යන එන සුළඟ එක්ක ඔබ කතා කරන්න... සමුගැනීම් වේදනාවන් දරාගන්න ඒ ස්වභාවධර්මය ඔබට කියාදේවි.

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

ප්‍රේමය සම්ප්‍රයෝගය හා විප්‍රයෝගය සමඟ මහ කන්දක් ඈඳෙන අපූරුව... ගම්මානය තුළ සියලු වැසියන්ගේ ජීවිත මතින් හමායන අෂ්ඨ ලෝක ධර්මයට අයත් සියලු නියත දහම්හි මද නල සේම මන්ද මාරුත ද අකම්පාව දරා හිඳින මහා ගිරක් සේය ගම සිරස ඒ මහා කන්ද... දියවරේ හැංගුණු කතා සේම ඒ මහා කඳු මුදුනේ සඟවා ගත් කතාන්දර ද අංකනය කළ නොහැකි තරම්ය. ඒ කඳු පොළොවේ මුල් ඇදී සියක් දහසක් මුල් මුදුන් මුල් තුරු මත පිපුණු පොහොට්ටු, පුෂ්ප, සාර සුභාවට දලුලන දලු කිනිති රස සුසාර නෙක පල වැල ඒ සියල්ල ගම්මානය හරහා හමායන සුළඟේ දැවටී වෙළී විත් මහා කන්ද මත දියවෙන උන්ගේ දුක් සුසුම් සිනා කඳුළුවල සාරයයැයි මට සිතේ. දිගහැරෙන වියැකෙන ප්‍රේම කතා ඒ මහා කන්ද හොරුහින් අසා හොරුහින් බලා හිනැහෙනු වැළපෙනු ඇතැයි මට සිතේ. එනයින් ඒ මහා කන්ද ගම්වරක දුක් දරන මහමෙරක් දුක් නිවන සන්හිඳක් වැන්න.

ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස

සම්ප්‍රයෝගයේ සතුට විඳ ගන්න දා ඒ සතුටේ පංගුකාරයෙක් වී සිටියේත් ඒ මහා කන්දය. සතුට දෝර ගලා ගිය නිසාවෙන්දෝ එදා හිරු දහරින් රන් සේද සේල කඳු වැටිය පුරා විහිදී පැතිරී තිබෙන්නට ඇත. නෙක කුසුම් අතු අගිසි අග විකසිතව අනේක සුවඳ විහිදුවන්නට ඇත. ඒ සොබාදහම ආශිර්වාදය හදවතේ ගැඹුරින්ම පිරිනමමින් සංතෘෂ්ටිය හිත පුරා විඳි දවසය.

ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා හොරුහින් මදෙස

ඒ සම්ප්‍රයෝගයම විප්‍රයෝගයක් බවට පරිවර්තනය වූ දා ඒ කන්ද වසා මිහිඳුම් සේල ඉහිරී ගියේය. තුරැපත් අග අකාල පිනි වැහි වැටුණේ ඒ විප්‍රයෝගයෙන් ඒ මහා කන්දට ඉහළ අහසේ වලාකුළු හඬා වැටුණු මොහොතේයැයි මට සිතේ. කඳුළු දිලිසෙන දෙඇස් දෙස කෙලින් බලනු නොහැකිව ඒ මහ කන්ද හොරුහින් බැලුවේ සසල හදවත වාවාගෙනය.

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි

වැවේ නිල් දියවර සුදු නෙළුමට හුස්මක් ගන්න ප්‍රාණය පුදයි.. ඒ නිල් දිය තලාව මස්තකයෙහි පෙති දිග හැර සුපිෂ්පිත සියපත්ය.

පාළුව ලුහුබඳින කිරලා හඬ වැටෙයි

පාළුව ලුහුබඳින කිරලා ඒ පාළුව වාවාගත නොහැකිව නගන හඬ වැලපිල්ලක් වැනිය... රාත්‍රිය සේද කළුවර ඉහිරුවයි.. සඳ එළිය වැව් දියට වැටී රිදී පාටින් දිලිසෙයි. තරැ කැට එකක් දෙකක් අහසේ පාළුවට එහෙ මෙහෙ ඇවිදියි. සැන්දෑ කරේ නිදහසින් පාව ගිය වලාකුළු එක තැන නිහඬව නිසොල්මනේ නැවතී හිඳියි. තුරු අග්ගිස්සෙන් ගිලිහී පොළොවට වැටෙන තුරු පතක් පවා පෙම් වියෝගයෙන් හඬ වැටෙතැයි සිතේ. ප්‍රේමයේ විරහී වේදනා මනුෂ්‍ය හද සන්තානයට පමණක් නොව දෙවියන්ට සොබා දහමට පවා දැනී දැනෙනවායැයි මම විශ්වාස කරනවා. 

ශෝකී රසය දනවන මේ ගීතයේ මිහිර හදවතින්ම විඳගනිද්දී මට මතක් වෙනවා නාගොල්ලාගම මගේ ගෙදර මම ගෙවපු ජීවිතය... මගේ ගෙදර ඉස්සරහට යාපහුව ගල පෙනුණා. අදටත් ඒ යාපහුව ගල එදා වගේමයි. ඒත් අපේ ජීවිත එදාට වඩා හුඟාක් වෙනස් වෙලා. අලුත් හමුවීම්, වෙන්වීම් අතරේ ජීවිතය කියන ගඟ පල්ලම් නැවතුම් අලුත් ඉසුරු හොයාගෙන ගලාගෙන ගිහින්. ඒ හැම වෙනසක් දිහාම බලාගෙන ඒ කන්ද විතරක් එදා වගේම නොසැලී ඉන්න හැටි මම දකිනවා. ගේ කිට්ටුව තිබුණ වැව ළඟ මම ගෙවපු හැන්දෑවත් හුඟක් තියෙනවා. කිරලුන් කෑ ගහන හඬ ඒ වැව් ඉස්මත්තේදී මම ඕන තරම් අහලා තියෙනවා. හවසට ඉර අවරගිරේ හැංගෙද්දී වැව ළඟ ගැවසෙන්නේ නිහඬ පාළු ගතියක්. වැව් දිය හරිම නිශ්ශබ්දයි හැමදාමත්. සඳරුස් පෙරණයෙන් පෙරී ආ සඳ දිය දහර වැව් දිය උඩ රන්කෙඳි ඉහිරැවන දවසට වැවේ ලස්සන වචනවලින් කියන්න අමාරුයි. කලාව, ආදරය, කවිය, පාළුව ජීවිතය ඒ හැමදේම ඒ වැවත් එක්ක යාවෙලා තිබුණා. මේ ගීතය මාව ඒ අතීතයට අරගෙන යනවා.

නොකියූ රහස හද උතුරා වාං දමයි...
වැවක වැව් දිය උතුරන්නට පිරෙද්දී අතිරික්තය වාං දමයි... ගඟකට ගං දියේ ධාරිතාවය දරාගත නොහැකි තැන ගං දිය දෙගොඩ තලා යයි. ප්‍රේමයත් එලෙසය. මේ නොකියූ රහස අප්‍රකාශිත ප්‍රේමයයි... හද වාං දොරටු බිඳගෙන ඒ ප්‍රේම සිතුවිලි ඇස් මුව දොරින් දෙගොඩ තලා යයි... ප්‍රේමය කෙසේ සඟවාගම්ද? එය කවියක් සේ ඇසක වුව ලියැවෙන සිතුවිල්ලකියි මට සිතේ. රජරට අනුසාරයේ වචනවලින් පොහොසත් මේ ගීයේ අවසන ප්‍රේමය කොතෙක් මටසිලිටි සිතුවිල්ලක්දැයි නොකියා කියයි.

මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි...
ඉහිරී බිඳී අහිමි වී ගියද ප්‍රේමයක් ලෙස ප්‍රේමය එක් දිනක් හෝ විඳි සඳ ඒ මතකය වුව නිර්මල සුවඳකි...

හැර ගියත් හැර නොයන සුවඳකි...

 

► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00