ගේම් ඔෆ් ත්‍රෝන්ස් (Game of Thrones) කියන්නේ ලෝකය පුරා වැඩිහිටි, තරුණ ළමා කියන රසික කාණ්ඩ තුනම ආදරයෙන් වැළඳගත්ත ජනප්‍රිය ටෙලිනාට්‍ය මාලාවක්. මේ ටෙලිනාට්‍ය මාලාවේ ජනප්‍රියත්වය එක්තරා අන්දමක උන්මාදයක් කිව්වත් වැරදි නැහැ.
කොහොම වුණත් අවුරුදු අටකට කලින් ආරම්භ වුණු මේ ටෙලිකතා මාලාව මේ අවුරුද්දේ අවසන් වීමට නියමිතයි. මේ අවුරුද්දේ අප්‍රේල් මාසයේ දී එහි අටවැනි හෙවත් අවසාන ටෙලිකතා වාරය ආරම්භ වන බව දැනුම් දුන්නේ මීට මාස කිහිපයකට පෙරදියි.
අලුත් ආරංචියට අනුව මෙදා අලුත් අවුරුද්දට ලංකාවේ රසිකයන්ටත් හොඳ අලුත් අවුරුදු තෑග්ගක් විදිහට අප්‍රේල් 14 වැනිදා අටවැනි කතා වාරය ආරම්භ වීමට නියමිතයි.
අවසාන කතා වාරය වෙනුවෙන් සංවිධානය කරපු මුහුරත් උළෙලකුත් පසුගියදා පැවැත්වුණා. ඒකට එමීලියා ක්ලාක්, කිට් හැරින්ග්ටන්, අයිසැක් හෙම්ස්ටඩ්, සොෆී ටර්නර්, මෙයිසි විලියම්ස්, ග්වෙන්ඩොලින් ක්‍රිස්ටීන් ඇතුළු ප්‍රධාන නළු නිළියන් රැසක් එක්ව සිටියා.
එතැනදී ඩැනරීස්ගේ චරිතයට පණපොවන එමිලීයා ක්ලාක් සහ බ්‍රැන්ඩන් ස්ටාක්ගේ චරිතය නිරූපණය කරන අයිසැක් හෙම්ස්ටඩ් කියන දෙදෙනාම කියුවේ අන් කවරදාකටත් වඩා වෙනස් හැඟීමක් මේ මුහුරත් උළෙලේ දී දැනෙන බවයි. ඒකට හේතුව මුළු ලෝකයේම අවධානය ඔවුන් වෙත යොමුව තිබීම බවත් ඔවුන් පැවසුවා.
මේ අතර බ්‍රොන්ගේ චරිතය රඟදක්වන ජෙරොමි ෆ්ලින් හරි අපූරු අදහසක් ඉදිරිපත් කර තිබුණා. “මම හිතන විදිහට මේ කතා මාලාව ලියූ ජෝර්ජ් මාටින් මහත්මයා සම්පූර්ණ කතා මාලාව හරහා ඉදිරිපත් කරන්නේ මනුෂ්‍ය වර්ගයාගේ සහජීවනයේ වැදගත්කමයි. අපි එකම මනුෂ්‍ය කොටසක් විදිහට ජීවත් වුණොත් අපි ඉදිරියේ තියෙන ඕනෑම බාධකයක් ජයගත හැකියි. ජෝර්ජ් ඒ විදිහේ හැඟීමකින් මේ කතාව ලියූ බව තමයි මගේ හැඟීම” ඔහු පවසා තිබුණා.
කොහොම වුණත් ජෝර්ජ් මාටින්ට අවසාන කතා වාරය රචනා කිරීමේදී ඔහුගේ බිරියගෙනුත් ලොකු බලපෑමක් එල්ලවුණු බව සමාජ මාධ්‍ය හරහා පසුගිය දවස්වල අනාවරණය වුණා. සන්සා ස්ටාක් සහ ආර්යා ස්ටාක් කියන චරිත දෙක මියැදෙන ආකාරයට කතාව රචනා කරලා තිබුණොත් තමන් ජෝර්ජ්ගෙන් දික්කසාද වන බව ඈ කියා තිබුණා.
ඒ කොයිහැටි වුණත් ලෝකවාසී ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයන් තමන්ගේ ආදරණීය ටෙලිකතා මාලාවේ අවසානය මොනවගේ වේදැයි දැනගන්නට දැඩි නොඉවසිල්ලකින් ඉන්න බවනම් පැහැදිලියි.
ඉන්ඩිපෙන්ඩන්ට් ඇසුරෙන්
► Text - Suranga