2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

සිංහල අලුත් අවුරුදු දා මොකද කළේ

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 359

කිරි කවන්න මාර ආසයි

ඕෂධී හිමාෂි

මේ සිංහල අලුත් අවුරුද්ද දවසේ අපි චාරිත්‍ර සහ නැකත් ඒ විදිහට සැමරුවා. අපි විවාහ වෙලා මේ අපේ පළවෙනි සිංහල අලුත් අවුරුද්ද. ඉතින් නැකැත් චාරිත්‍ර අපි දෙන්නා එකතුවෙලා කළා.

 මගේ ගම අම්බලන්ගොඩ. ඉතින් අදටත් වඩා මගේ ළමා කාලයේ අවුරුද්ද හරි අපූරුයි. විශේෂයෙන් කොළඹටත් වඩා ගම්වල ඒ අලුත් අවුරුද්ද හොඳට සැමරැවා. ඒ නිසා ගමේ අවුරුද්ද අපිට හොඳට දැනෙනවා. කොළඹදී අපි අලුත් අවුරුද්දට චාරිත්‍ර වාරිත්‍ර ටික ගෙදරට වෙලා කරන්නේ. ඒ දවස්වලට කොළඹ හරි පාළුයි. එළියට ගියත් කොළඹ පාර හරි පාළුයි. හැබැයි ගම්වල ඒක නැහැ. ඉස්සර අපි පුංචි කාලේ අපි අවුරැද්ද එනතුරු හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඒ දවසට අපි ඇති තරම් සෙල්ලම් කළා. ඒ කාලේට අපි හරිම නිදහස්. ඒ අත්දැකීම් ඒ විදිහට ලබන්න තරම් අපි වාසනාවන්තයි. අලුත් ඇඳුම් ලැබෙද්දී ඒක වෙනමම අත්දැකීමක්. අපි ඒ ඇඳුම් ඇඳලා හැඩවැඩ වෙන්නේ පැය ගාණක් තිස්සෙයි. පුංචි කාලේ විතරක් නෙමේ අදටත් මම කොකිස් කන්න හරි ආසයි. ගමේ තිබුණු අවුරුදු උත්සවවලට අපි ඉදිරිපත් වෙනවා. මම ඒ කාලේ කිරි කවන ක්‍රීඩාවට හරි ආසයි. ඒ කාලේ අපි ගතකරපු අවුරුදු කාලයට වඩා අද අවුරුදු කාලය හරිම වෙනස්. 

 

ආස්මි හදන්න ආසාවෙන් හිටියා ඒත් බැරිවුණා

සශිකා නිසංසලා

මම සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර පොඩි කාලේ ඉඳන්ම හරියට කරපු කෙනෙක්. මම පොඩි කාලේ මගේ අම්මයි, තාත්තයි, මාවයි, මගේ මල්ලිවයි ළඟින් තියාගෙන ඒ චාරිත්‍ර වාරිත්‍ර හැමදෙයක්ම හරියට කළා. ඒ නිසා මමයි මල්ලියි ඒ දේවල් දිහා බලාගෙන ඉන්නවා. ඒ මතකය හැමදාම හැම අවුරුද්දකදීම අපිට මතක් වෙනවා. අද වෙනකොට මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් මායි මාගේ සැමියයි මගේ දරුවෝ දෙන්නයි ඒ චාරිත්‍ර ඒ විදිහටම කරනවා. අප්‍රේල් මාසයේදී ලංකාවේ ප්‍රසංග බොහෝමයකටම ආරාධනා ලැබෙන නිසා විදේශ ගත වෙන්නෙම නැහැ. රූපවාහිනි නාළිකා කිහිපයක්ම සජීවී අවුරුදු වැඩසටහන්වලට මටත් ආරාධනා කළා. හැබැයි අවුරුදු චාරිත්‍ර කරන දවසට මම ඒ කිසිදෙයක් බාරගත්තේ නැහැ. ඒ නැකැත් වෙලාවට මගේ අම්මායි, තාත්තයි, සැමියයි මගේ දරුවෝ දෙන්නයි එක්ක තමයි මම අවුරුදු චාරිත්‍ර සමරන්නේ. මගේ පුතාලා දෙන්නට දැන් මේ චාරිත්‍ර තේරෙණ වයස. ඒ නිසා ඒවා ගෙදරදීම කරලා අපි ඒ අයටත් අත්දැකීම් ලබලා දෙන්න ඕනේ.

මේ වසරේදී අපි ඒ චාරිත්‍ර ටිකත් හරියටම කළා. මම පුංචි කාලේ අපි පදිංචි වෙලා හිටියේ අවිස්සාවේල්ලේ. ඊට පස්සේ අපි අවුරුද්දට දැරැණියගල ගියා. ඒ කාලේදී ගමේ අවුරුදු උත්සව තිබුණා.. දැන් කාලේදී ළමයින්ට ඒ ජන ක්‍රීඩා, ජන ගී බලන්න ඉඩ ලැබෙනවා හරිම අඩුයි. මේ ගමේ අවුරුදු උත්සවයක් තිබුණොත් මම මගේ දරුවන් දෙන්නව ඒක බලන්න එක්කගෙන යනවා. මේ දෙන්නා ඉගෙන ගන්නේ සපුගස්කන්ද යොෂිධා විද්‍යාලයේයි. ඉස්කෝලෙදීත් ඒ අවුරුදු චාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා කියලා දුන්නා. ඒ නිසා අපේ දරුවන්ට මේ චාරිත්‍ර වාරිත්‍ර කියල දෙන්නම ඕනේ. අද දරුවන්ට බොහෝ මව්පියන් උගන්වන්න හුරුකරන්නේ ආත්මාර්ථකාමීත්වයයි. එහෙම නැතිව බෙදාහදා ගැනීම අනුන් ගැන සිතීම, සමාව ගැනීම, වැඩිහිටියන්ට සැලකීම වැනි දේවල් පුරැදු කරන්න ඕනේ. අපේ තිබෙන දේවල් ඒ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඒ හැමදේටම මේ සිංහල අලුත් අවුරුද්ද හොඳ අවස්ථාවක් ලබලා දෙනවා.

මම හරි ආසයි මුංකැවුම් සහ කොකිස් කන්න. මගේ අම්මා අනිවාර්යයෙන්ම රසකැවිලි කිහිපයක් ගෙදරම හදනවා. විශේෂයෙන් මුංකැවුම්, කොකිස්, අලුවා, කිරිටොෆි, අපි ගෙදරම හදනවා. මම මේ පාර රුලං අළුවා. පොල්ටොෆි, කොකිස් හැදුවා. මම ආස්මි හදන්න ආසාවෙන් හිටියේ. හැබැයි ඒක හදන්න මේ පාරත් මට බැරි වුණා.

 

කසාද බැන්ද නිසා චැනල් වලට ගියේ නෑ

මංජුල මොරගහ

මේ පාර මම විවාහවෙලා ගත්ත මුල්ම සිංහල අලුත් අවුරුද්ද නිසා මේ සිංහල අලුත් අවුරුද්ද අපි දෙන්නටම ටිකක් විශේෂයි. ඉතින් අපේ ගෙදර සාම්ප්‍රදායි විදිහට කිරි උතුරවලා චාරිත්‍ර වාරිත්‍ර ටික අපි කළා.

 ඊට පස්සේ අපි කතරගම වන්දනා කරන්න ගියා. ඉස්සර පුංචි කාලේ මම අවුරුදු සැමරුවේ මගේ ගෙදර අයත් එක්කයි. ඊට පස්සේ අහල පහළ හිටපු මගේ සමවයසේ යාළුවෝ එක්ක අපි විනෝද වුණා. සෙල්ලම් කළා. යාළුවන්ගේ ගෙවල්වල ගියා. ඊටත් පසු කාලේදී මේ ක්ෂේත්‍රයට යොමුවුණාට පස්සේ වසර කිහිපයක්ම අලුත් අවුරුදු සැමරුවේ රූපවාහිනි නාළිකාවලින් ලැබුණු ආරාධනාත් එක්කයි. මේ පාරත් රූපවාහිනි නාළිකාවලින් ආරාධනා ලැබුණා. හැබැයි මේක අපි දෙන්නාගේ මුල්ම අලුත් අවුරුද්ද නිසා ඒවාවලට සහභාගී නොවී අපි දෙන්නා එකතුවෙලා අවුරුද්ද සැමරුවා. 

 

කොහෙවත්ම නොගිහින් ගෙදර හිටියා....

ජනක් ප්‍රේමලාල්

මීට කලින් තිබුණ අලුත් අවුරුදු කිහිපයකටම මම රූපවාහිනි නාළිකාවලින් තිබුණු සජීවී වැඩසටහන්වලට ආරාධනා ලැබිලා ඒවාට සහභාගී වුණා. නමුත් ඒක අපි විසින් නොකළ යුතු දෙයක් කියලා මට තේරුණා. අපි අවුරුද්ද දවස් තුන්සිය හැටපහෙන් බොහෝ ගණනාවක්ම අපි ගතකරන්නේ පිටස්තර ස්ථානවලයි. එක්කෝ රෑගත කිරීම්වලට විවිධ පළාත්වලට යනවා. එහෙමත් නැත්නම් වේදිකා නාට්‍ය පුහුණුවක්. වේදිකා නාට්‍ය වේදිකාගත කිරීමක් වැනි දේවලින් අපි ඉන්නේ ගෙදරින් පිටයි. ඒනිසා අපි ගෙදර ඉන්න වෙලාවල් හරිම අඩුයි.

ගෙදර ඉන්න දවස්වලත් අපි යුතුකම් ඉෂ්ඨ කරනවාට වඩා අපි මහන්සි නිවාගැනීමක් තමයි කරන්නේ. එළිවෙනම් ෂූටිං කරලා ගෙදර ඇවිත් අපි වැඩි කාලයක් ගතකරන්නේ නින්දේ. එහෙමත් නැත්නම් ඇඳට වෙලයි. ඒ නිසා අපිට ගෙදරට කළයුතු යුතුකම් කරන්න වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ.

සාමාන්‍ය දින චර්යාව එහෙම වෙලා තියෙද්දීත් මේ අවුරුද්දටම තියෙන එකම එක දවසේත් නාළිකාවකට අවශ්‍යතාවන් වෙනුවෙන් ඉෂ්ඨ කරන්න නිසාත් අපේ පවුලේ මේ සිංහල අලුත් අවුරුදු දා ගෙදර ඉන්න තීරණය කළා.
මම ගෙදර ගෘහපාලකයා ඉතින් ගෙදර ගෘහමූලිකයා ලංකාවේ ඉදිද්දීත් චාරිත්‍ර කරන්න බැරි නම් ඒක ගෙදරට ලොකු අඩුපාඩුවක්. මගේ අම්මටයි, තාත්තටයි දැන් අවුරුදු අනූවක් වෙනවා. ඉතින් ඒ අයගේ සැදෑසමය ගතකරන කාලේ. ඒ අය වෙනුවෙන් සලකන්න තිබුණු එකම දවස මගෙන් මඟහැරෙද්දී ඒකෙන් ඒ දෙන්නත් මානසිකව වැටෙනවනේ. ඒ නිසා සිංහල අවුරුදු දවස් විතරක් නෙමේ දවස් හතරක් පහක්ම මම කිසිම වැඩකටයුත්තක් බාර නොගෙන ගෙදරටම වෙලා හිටියා. 

 

මහත්තයත් එක්ක ජයටම අවුරුදු කෑවා 

තිසුරි යුවනිකා

හැම අලුත් අවුරුද්දකම මම අවුරුද්ද සමරන්නෙ මගේ අම්මයි තාත්තයි එක්කයි. මේ පාර මට අවුරුද්ද සමරන්න තවත් කෙනෙක් එකතු වුණා ඒ මගේ සැමියා. ඉතින්.. මේ පාර මම මගේ සැමියයි අම්මයි තාත්තයි වගේම සැමියගේ අම්මයි තාත්තයි එක්කයි අවුරුදු සැමරුවේ. අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නැකැත්වලට කළාට පස්සෙ සුපුරුදු පරිදි අපි දෙගොල්ලගෙම ගම් පළාත්වලට ගියා.

මේ පාර අපි අම්මලා තාත්තලාට ඇඳුම් පැළඳුම් ගත්තෙ අපි දෙන්නම එකතුවෙලයි. දෙන්නටම විවේකයක් තිබුණු වෙලාවක අපි දෙන්නා ෂොපින් කරලා අම්මලා තාත්තලාට, එයාගේ මල්ලිලාට, ආච්චිට සීයාට, ඒ හැමෝටම ඇඳුම් පැළඳුම් ගත්තා. අලුත් අවුරුදු කෑම මේසය වුණත් දෙගොල්ලන්ම සහයෝගයෙන් තමයි හැදුවේ. එයාගේ අම්මටත් හරි රසට කැවිලි පෙවිලි හදන්න පුළුවන්. ඉතින් ඒ අම්මත් ඒ කෑම හදලා අපිට දුන්නා.

මගේ පුංචි කාලේ අලුත් අවුරුදු කාලය මට තාම මතකයි. පුංචි කාලේ හැමදාම මම අවුරුදු සැමරුවේ මගේ අම්මා තාත්තා එක්කයි. ඊටපස්සෙ සුපුරුදු විදිහට අපි මාතර අපේ ගමේ යනවා. අවුරුදු දවස්වලට ගමේ යන්න අපි හරි ආසයි. අදටත් ඒකෙ වෙනසක් නැහැ. අදටත් අවුරුදු ඉවර වුණාට පස්සෙ ගමේ යන්න බලාගෙන ඉන්නෙ.

 

► Text - Dishani   /   Pic –Sumudu & Internet

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00