2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

රවුම් කළ රෝද පුටුව

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 82

එක එක අයට නොයෙක් විදිහේ මානසික ආබාධ තියෙනවා කියලා ලෝකෙම පිළිඅරගෙන තියෙනවනේ. ඉතින් ඒ කාරණය අපි කාටත් බලපානවා.

අපි දන්න කියන කෙනකුගේ නෝනටත් තියෙනවලු පුංචි පහේ මානසික රෝගී තත්ත්වයක්. ලංකාවේ ඉන්න හොඳම මානසික වෛද්‍යවරු සෑහෙන පිරිසකට මෙයාව පෙන්නලා තියෙනවා. ඒත් හරිහැටි ගුණයක් නැහැ. මේ නිසා අපේ යාළුවා ඉන්නෙත් තදබල මානසික පීඩනයකින්ලු.

සමහර දවස්වල එයා නෝනට බනිනවලු අඬෙන්නම. ඔන්න ළඟදි දවසක ඔහුගේ යාළුවෙකුගේ මාර්ගයෙන් දැනගත්තු හොඳ දොස්තර මහත්තයෙක් ළඟට නෝනව එක්කරගෙන ගියාලු නුවර පැත්තෙ රෝහලකට.
මොකද්ද දැන් මෙයාට තියෙන ප්‍රශ්නේ?
දොස්තර මහත්තයා යාළුවගෙන් අහනවා.

මගේ නෝනට තියෙන්නේ පරණ සිංහල චිත්‍රපට ගැන පිස්සුවක්. උයන්නේ, කන්නේ, බොන්නේ නිතරම ඉන්නේ ඒ සිහියෙන්
අයියෝ ඉතින් ඒක පිස්සුවක්වත් ලෙඩක්වත් නෙවෙයිනේ. මමත් ඒ වගේ පරණ ෆිල්ම් පිස්සෙක් තමයි. ඒත් මට පිස්සු නැහැනේ
දොස්තර එහෙම කිව්වම නෝනට පුදුම සතුටක් ඇති වුණාලු.

අනේ ඇත්තද ඩොක්ටර්? මේකත් හරියට අපේ පරණ ෆිල්ම් එකක කෑල්ලක් වගේ නේ? අනේ ඩොක්ටර් එහෙනම් ඔයා අපේ ගෙදර එන්නකො. ඔයා ආස කරන හැම ෆිල්ම් එකක්ම අපේ ගෙදර තියෙනවා. හැබැයි බජාර් එකේ චණ්ඩියා නම් මං ළඟම ඉන්නවා කියලා එයාගේ මහත්තයව පෙන්නුවලු.

 

බොන්න බෑ, සින්දු බෑ, නාන්න බෑ

ඉස්සර නම් චිත්‍රපට හා ටෙලිනාට්‍ය රූගත කිරීම්වලට ගෙවල්, හෝටල්, වලව් කුලියට ලබාදුන්නේ හරිම කැමැත්තෙන්. නමුත් කාලයත් එක්ක ඔය ගෙවල්, වලව්වල අයිතිකාරයෝ ෂූටිංවලට ඒවා ලබා නොදෙන තැනට පත්වුණා. ඒ තත්ත්වෙට ඔවුන් යොමු කළෙත් කලාවේ ඉන්න සමහර අයගේ වැරදි ක්‍රියා නිසා බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.

නිර්මාණයක් සඳහා ගෙවල් ලබාගැනීම අද දුෂ්කර කටයුත්තක් වෙලා. කුරුණෑගල පැත්තෙ ටෙලියක් රූ!ගත කරන්න බොහොම අමාරුවෙන් පරණ වලව්වක් හොයාගන්න නිෂ්පාදන කණ්ඩායමට හැකි වුණා.
ඒත් ඒ අයිතිකාරයාගේ නීති ගොඩයිලු. සින්දු කියන්න බැහැ, බොන්න බැහැ, වැඩි සද්ද බද්ද බැහැ. අමාරුවෙන් හොයාගත්ත තැන නිසාත්, වැඩේට ගැලපෙනම තැන නිසාත් කට්ටිය එකඟ වුණාලු.
ඒත් අයිතිකාරයා අවසානෙදි කියපු කාරණය නිසා කට්ටිය හොල්මන් වුණාලු.

 

රවුම් කළ රෝද පුටුව

ඔන්න ළඟදි දවසක අපි දන්නා හඳුනන කලා මාධ්‍යවේදියකුට අපූරු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධවෙලා.

මීට මාස දෙකකට පමණ පෙර ඔහු රංගන ශිල්පිනියක් පිළිබඳව ලිපියක් ලිව්වලු ඇගේ කලා දිවිය හා සැබෑ දිවිය ගැන තොරතුරු ඇතුළත් කරලා.
මම කිසිම දවසක දේශපාලනේට එන්න අදහස් කරන්නෙ නැහැ. ඒත් මගේ ධනය හා ශ්‍රමය වැඩිපුරම වැය කරන්නෙ සමාජ සේවා කටයුතු සඳහා. මම මේ වෙනකොට රෝද පුටු, කිහිලිකරු විශාල ප්‍රමාණයක් නැතිබැරි අසරණ අයට බෙදලා තියෙනවා එයාගේ ලිපියේ මේ වගේ සමාජ සේවා කටයුතු ගැනත් කියැවුණා.

මේ ලිපිය පළවෙලා සතියක් ගියේ නැහැ අර මාධ්‍යවේදියාගේ වයසක අම්මා වැටිලා කොන්ද තුවාල කරගෙන. ඉස්පිරිතාලෙන් ගෙදර ආපු ගමන්ම මාධ්‍යවේදියාට අර රෝද පුටු දෙන නිළියව මතක් වුණා.
අපේ අම්මා වැටිලා ඉස්පිරිතාලෙන් අදයි ඩිස්චාජ් කරලා ගෙනාවේ. එයාට එහෙට මෙහෙට යන්න රෝද පුටුවක් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. සනීප වුණාම ආපහු ඒක දෙන්නම්...

අනේ අයියේ.... රෝද පුටු නම් තියෙනවා වගේ. අපි ඒවා දෙන්නේ අපේ සමිතියකින්නේ. ඒ සමිතියේ සභාපති මේ දවස්වල ලංකාවේ නැහැ. එන්නෙ ලබන සතියේ. ඒ ආවම අයියා මට රෝද පුටුවක් ඉල්ලලා ලියුමක් දෙන්න. මම සභාපතිට ඒ ලියුම දීලා අනුමත කරගන්න බලන්නම්කො... පුරසාරම් දෙඩූ නිළිය කිව්වලු.


►Text - Mithra

 

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00