දෙවියන් දෙවොල් අත්හැර ගොස් ඇතැයි සිතෙන සඳ වෙසතුරු සදිසි මිනිසුන් අද කොහිදැයි මට සිතේ. මුනිවර අසපුවක මුනිවරුන්, හිමාලයේ සෘෂිවරුන් සෙනසුන් අත්හැර ගොස් ඇතැයි මට සිතේ.. කෝ දෙවියන්.. කෝ මිනිසුන්.. ඝන අන්ධකාරයක පහන් දල්වනු රිසින් මම ඔබෙන් යළිඳු අසමි කෝ දෙවියන් කෝ මිනිසුන්... සමාජය යනු දිගු කාලයක් මුළුල්ලේ මිනිස් වගක් ජීවත් වීමෙන් ඔවුන්ගේ ආර්ථික සමාජීය සංස්කෘතික ආදී නෙක ප්‍රපංචයන් එක්වීමෙන් ඒ සියල්ල යුගයෙන් යුගයට නන් විධ විචල්‍යන්ට බඳුන් වෙමින් හා යාවත්කාලීන වෙමින් ගොඩනැගුණු පුළුල් ඒකකයක් ලෙස යමෙක් අර්ථ දක්වන්නේනම් මම ඔබෙන් මෙසේ අසමි... කෝ ඒ සමාජයේ දෙවියන් කෝ ඒ සමාජයේ මිනිසුන්.. දෙවියන් යනු දෙවොල් තුළ වැඩ හිඳුවා ඇති සංකල්පයක් පමණක්නම්.. මිනිසුන් යනු අධ්‍යාත්මයකින් වියුක්ත ශරීර අවයව පද්ධතියකට හුස්මක් එක් වීමෙන් සෑදුනු වස්තුවක් පමණක්නම් දෑත් එක්කර නළල තබා නමස්කාර කරන්නට කෝ වන්දනීය පූජනීය දේවත්වයක්.. මනුෂ්‍යත්වයක්.. ඒ අද්‍යතනයේ අප අභිමුව හමුවන යථාර්ථයයි. එහෙත් එදා
වන්නි වන පෙතේ
ගම් දනව් පුරා නිවහන
වංක ගිරි වනේ
වෙසතුරු සදිසි පියවරුන්
අත්මුදුන් තබා බැතියෙන්
වන්දනා කරම්....
ඈත ගම්දනව්හී දුරාතීතේ වංකගිරියේ වෙසෙමින් බෝධිසත්ත්ව පාරමිතා පූරණය කළ වෙස්සන්තර රජුන් සදිසි පියවරු සිටියහ. තමන්ගේ දරුවන් බිරිය දන් නොදුන්නත් අතට ගත් බත් කට පවා තවකෙකුගේ කුසගින්න නිවන්නට දන් දෙන දාන සිත් ඒ පියවරු සතු වූහ. මාර්ටින් වික්‍රමසිංහ ගම් පෙරළියේ මාතර හාමිනේගේ චරිතය ගැන එක් තැනක කියන්නේ ඇයට ඇත්තේ ගන්නට නොව දෙන්නටම හුරු වූ දෑතක් බවය. ඒ සා ළතෙත් ගුණ ඇති අම්මාවරු එදා ඈත ගම් දනව්හී විසූහ... අදත් ඒ ඈත ගම්මානයන්හී තව කෙනකුගේ දුකක් වේදනාවක් අස දෙඇසට කඳුළු ගලන සිත් ඇති අනේ අපොයි කියමින් ඒ දුක් තමන්ගේ කරගන්නා පියවරු විරල වුවද නැත්තේ නොවේ. අම්මාවරු නැත්තේ නොවේ. ඒ සාදු ගුණයට අත්මුදුන් තබා වන්දනා කරමින් ගීත රචකයා යුග පෙරළියත් සමඟ සිදුවූ සමාජ ඛේදවාචකය ගැන ගැඹුරු විශ්ලේෂණාත්මක විමසුමක් මේ ගීතය ඔස්සේ කරයි.
කන්ට බෑ කියා තනිවම
එන්ට යැයි කියා ගමටම
බත් මුලක් නිතර දන් දුන්
පියවරුන් වෙතින්
ජාත වී ඇතත්
පූරුවෙ කරන ලද පවක් පල දී
බින්න බැස ගිහින් නගරය
අසල දූ පුතුන්
මගේ පියා එදවස බත් කන මොහොතක ගමේ කවුරුන් හෝ නිවසට පැමිණියහොත් පුතේ මේ මාමාටත් බත් ටිකක් බෙදන්නයැයි කියයි. තාත්තා එසේ කියන්නේ තවත් පිඟානකට බෙදන්නට තරම් දුප්පත් අපේ පුංචි ගෙදර බත් හැලියේ බත් ඇත්දැයි පවා නොවිමසමිනි. හැලියේ බත් නැතත් කන බත් පිඟානෙන් හෝ කටක් කමුයි තාත්තා කියන්නේ හදවතින්මය. අවේලාවක ආවත් කහට කෝප්පයක් හෝ වත් කිරීම ඒ ගෙවල්වල සිරිතක් විය. තේ ඩිංගක්වත් බීවේ නෑ හිතට මොකක්දෝ වගේ ගෙදරට පැමිණි අයෙක් තේ කෝප්පයක් හෝ මඟහැර ගියොත් අම්මා තාත්තා කීවේ එහෙමය. කොස් ගෙඩියක් වරකා ගෙඩියක් කැඩුවොත් අහල පහළ හැම ගෙදරකම එදා කොස් වෑංජනයක් ඉදුණේය. කොස් මදුළු අහුරක් හෝ අහල පහළ නිවැසියන්ට බෙදා දුන්නේය. කෑ දේ ගඳයි. දුන් දේ සුවඳයි.. ඒ එදා අපේ ආත්තම්මලා අත්තලා කී වදනකි. ලොසින්ජරයක් හුළං විස්කෝතුවක් ගෙනත් දුන්නත් පුතේ ඕක බෙදාගෙන කාපන්යැයි කියන සිරිතක් ඔවුන් ඇසුරේ තිබුණි.
දවස පුරා වෙහෙසී වැඩ කර හවස් ජාමෙට ඇලෙන් දොළෙන් සීතල වතුර ටිකක් නාගෙන පැමිණ පිල්කඩේ නිස්කාන්සු සුවයෙන් ඇන තියාගෙන හිඳින මොහොතක කවුරුන් ආවත් බුලත් හෙප්පුව දිගු කරමින් විටක් කෑවනම් කියන පුරුද්දක් ඒ පරපුරේ උතුමන් සන්තකව තිබුණි. එහෙත් ධනේශ්වර බලවේග පුරුෂාර්ථ බවට පත්වූ යුග පෙරළියකදී ඉන් පසු පරම්පරා වෙතින් ඒ අධ්‍යාත්මික වටිනාකම් යහ ගුණ මනුස්සකම් ධනයේත් බලයේත් තාක්ෂණයේත් නෙක මන්ද මාරැත තුළ නොදන්නා අනන්තයකට ගසාගෙන ගොස් ඇත. පාරිභෝගිකවාදී අරමුණු ඔස්සේ ගිමන් නොහැර දුවන ගමනකදී ඒ පරපුර වෙතින් අත්හැරෙන දේ බොහෝය. ගිලිහී යන දෑ බොහෝය. එහෙත් කයක් මිස මනසක් නැති මිනිස් වගක් සේ උන් හැල්මේ දුවති. හැම මොහොතකම රුපියලක් හෝ වැඩියෙන් උපයන්නට පොර බදින සමාජයක මනුස්සකම් සේම වෘත්තීය වටිනාකම් ද සෝදා පාළුවකට ලක් වී ගොස්ය. අතට ගත් ජංගම දුරකතනයෙන් මුළු ලෝකයම දකින්නට විඳින්නට ස්පර්ශ කරන්නට වෙහෙසෙමින් හලෝ කොහමද අසන ඇමතුමකට මව් පිය දූ දරු හිත මිතුරු සියලු බන්ධන සීමා කළ මිනිස් රෝබෝවරුන්ගෙන් මනුෂ්‍යත්වයේ ඉසියුම් සුසුවඳ ඉල්ලා කුමන පලයක්ද? නිර්වාණය වැනි මහා විමුක්තියක් ගැන කතා කරන බොදු දර්ශනය පවා සිගාලෝවාද සූත්‍රවලදීත් තවත් නොයෙක් තැන්වලදීත් ගෘහ ජීවිතයේ යුතුකම් වගකීම් වටිනාකම් ගැන දේශනා කළ සේක. එහෙත් දරුවන් අතිශය ආත්මාර්ථකාමී සිතුවිලි ප්‍රවාහ තුළ සමාජානුයෝජනය කරන බහුතර සමාජයක...
ඔබේ ආදරය දරුවන්ට දෙන්න
එහෙත් ඔබේ සිතුවිලි ඔවුන්ට නොදෙන්න
මක්නිසාදයත් ඔවුන්ට ඔවුන්ගේම
සිතුවිලි ඇති හෙයිනි
ඔවුන්ගේ සිරුරු ඔබ නිවසෙහි වෙසෙන නමුත්
ඔවුන්ගේ ආත්මයෝ එහි නොවෙති.
මන්ද,
ඔවුන්ගේ ආත්මයන් ඇත්තේ හෙට නමැති විමානයේය
යනුවෙන් ඛලීල් ජිබ්රාන්ගේ දර්ශනය මෙන්ම පරිත්‍යාගය බෙදා හදා ගැනීම ගැන කී බොදු දර්ශනයේ පරමාදර්ශ ද දරුවන්ගේ මනසට ඒත්තු ගැන්විය යුතුය. මහපොළොව ස්වභාවධර්මය හා කලාව සමඟ මහා ස්නේහයකින් ගනුදෙනු කරන්නට දරුවන්ට ඉගැන්විය යුතුය. මේ සමාජ අහේනිය තුළ උඩුගං බලා යා නොහැකි වුවත් සෙයිලමේ අරුමෝසම් දේදුණු වර්ණයන්ට ඉව අල්ලමින් නගරයේ නවාතැන් සොයා ගිය දූ පුතුන්ට මනුෂ්‍යත්වයේ මුලකුරු හෝ කියා දිය හැකිනම්...
දරුවන්ගේ ආදරය නොලද්දත් දොසක් නොඅසමින් අවසන බිම්කඩේ සදාකාලික නින්දේ සැතපෙන්නට හෝ උන් ජාතක කළ පියවරුන්ට හැකි වනු ඇත.
කල්ප කාලයක් පරපුර
දුන්නු දන් ඇතත් සිත තුළ
මාසෙකට වරක් ලැබෙනුයේ
සොච්චමක් බැවින්..
ඒ තවත් සමාජ ඛේදවාචකයක් පිලිබිඹු කරන වචන කැඩපතකි. උගත්කමට උපාධියට හරියන රැකියා බහුතරයකට නැත. උන්ගේ හීන සරි කරගන්නට හරිහම්බ කරන රුපියල් නොසෑහේ. ඇතැම්විට නගරයේ නාස්තිකාර ජීවිතය වෙනුවෙන් ද රුපියල් දිය කළ යුතුය. සැනසීමක් නැතත් පලයක් නැතත් ඒ අරැත් සුන් චක්‍රයේ පුරුකක් වී මනසින් හෝ උන් පයගසන්නට දඟලන පන්තියේ උන් විය යුතුය. ගම අමතක කර ගමේ නූපන් නාගරිකයන් සේ ජීවත් වුවත් කරදරයකදී හදිසි විපතකදී බුදු අම්මෝ කියද්දීත් ආවේගයෙන් මවු තොමෝ සිහි කරද්දීත් ඒ ඈත ගම් දනව් හී ජාතක මුල් මතුව එයි. ඒ සියල්ල තුළ වරෙක උන් යන මඟක් නැතිව අතරමං වූ අසරණයන් බඳුය. මුල් කපා දමා පැලවෙන්නට නුහුරු නුපුරුදු පොළොවක් සොයන බහුතර පරපුරක් මුහුණ දෙන යථාවාදී සත්‍ය මේ ගීයෙන් මැනවින් නිරූපණය කර ඇත.
කන්ට ගත් ගමන් බත් පත
කවුරුවත් එතැයි බිය වැද
දොර ජනෙල් වසා තනිවම
බුදිති බෝ දුකින්
මගේ අත්තලා තාත්තලා ඒ කාලේ මිනිස්සුන්ට සැලකුවේ මෙහෙමයි.. කන්න බොන්න දුන්නේ මෙහෙමයි යන මතක හද මඬල ඇතුළාන්තයේ ශේෂව ඇතත් මේ ආර්ථික අහේනිය තුළ නිස්සාර ජීවන පැවැත්මක් තුළ කුරුලු හොටයකට සෑහෙන බත් පිඬක් තබා බුද්ධ පූජාවකට බත් හැන්දක් බෙදන්නටවත් කොයින්ද? නිදහසින් විඳිමින් වෙනුවට උන් ඒ බත් පත කන්නෙත් එතැයි කවුරුත් බියෙනි.. ඉඳින් සතුටින් නිදහසින් උපයාගත් දේ කන්නට බොන්නටවත් ඉඩ හසරක් නැති ජීවිතය කුමන රසයක්ද? වින්දනයක්ද?
තනිවම බුදිති බෝ දුකින්
හෘද සාක්ෂිය මිය ගිය බොහෝ දේ අතර තවමත් නිදුකින්ය .නොඑසේනම් සන්තාප දැනෙන්නට හැටියක් නැත .
ආරෝග්‍යා පරමා ලාභා
සන්තුෂ්ටී පරමං ධනං
විශ්වාසං පරමා ඥාතී
නිබ්බානං පරමං සුඛං
ආ දුර කොතෙක්ද තව යා යුතු දුර කොතෙක්ද නොදන්න සංසාර ගමනේ සැනසීම සුවපත්වීම විමුක්තිය ඒ ධර්මතා ගැඹුරේ මිස අන් තැනක කොහිද?
I දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර