2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

ඒ රූප රාමුව මට තාම මැවිලා පේනවා....!

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

Art එකේ කැරට්ටුව..

හඬ: නිල්මිණී සිගේරා

ආදරය බර රාත්තල් 300 කිව්වට.... මට හිතෙන්නේ ඒ ළෙංගතුකම රාත්තල්වලින් මනින්න බෑ මට.....

ඇය ඒ තරම්ම මාධ්‍යයේ හිතවතියක්... ඉස්කෝලෙක දරුවන්ට ගුරුවරියක් වුණාට... අපිට ඇය අපේ ක්ෂේත්‍රයේ සගයෙක්... ඒ ගුරුවරිය, ඒ මිතුරිය දැන් නිළියක්... ඇය දැන් අසන්ධිමිත්තා... කවුද ඒ අසන්ධිමිත්තා කියලා කියන්න ඕන නැති තරමට... ඒ චිත්‍රපටය දැන් මාතෘකාවක් වෙලා..  අපි ඒ ගැන වැඩිය කියන්න යන්නේ නෑ.. ඒ අසන්ධිමිත්තාට... එහෙමත් නැත්නම් නිල්මිණී සිගේරාට අපේ හඬට අපි කතා කරා... ඉතින්... වැඩි කතා මොකටද? මම ලියන්නම්... ඔයා කියවන්න...
ඊට කලින් නිල්මිණීගේ... මේ දවස්වල තොරතුරු ටිකක් ඇගේ මුවෙන්ම දැනගමුද? 

නිල්මිණී  කොහොමද ඉතින් වාසේ දේසේ එහෙම...? 
පෑ සොඳුරු හිනාවකින්ම... ඈ කතාවට මුලපිරුවා.. 
මේ දවස්වල තමයි මම මුලින්ම සිනමාවට සම්බන්ධ වෙන්නේ... ඒ අශෝක හඳගම නිර්මාණය කරපු අසන්ධිමිත්තා චිත්‍රපටය තුළින්...  මේ කාලේ චිත්‍රපටයේ ප්‍රචාරණ වැඩ කටයුතුවලට සහයෝගය දෙනවා... ඒවත් එකක්ම මගේ පාසලේ වැඩ කටයුතුත් කරගෙන යනවා...

නිල්මිණී සිගේරාගේ නිර්මාණ විඳීමේ පරාසය ගොඩක් පුළුල්... ඒක අපි දන්නවා... ඇහෙන් දැකලා, හදවතින් ස්පර්ශ කරපු... ජීවිතේම පැයක දෙකක රූප රාමු කිහිපයකට කැටි කරපු  නිර්මාණයක් ගැන... කතාකරමුද...?  ඒකෙන් ජීවිතයට දෙයක් එකතුකර ගන්න පුළුවන් වැඩක් නම් නියමයි...
හරි අපි කතාකරමු...

ඒ තමයි නිල්මිණීගෙන් ලැබුණු උත්තර 
අපි ෆිල්ම් එකක් ගැන කතා කරමු.  

අසන්ධිමිත්තා චිත්‍රපටයත් එක්ක මට රුසියාවේ ඔටාසා ෆිල්ම් ෆෙස්ටිවල් එකට සහභාගි වෙන්න අවස්ථාවක් ලැබුණා... මට ලැබුණු මුතු සම්මානය ලැබුණෙත් මේ චිත්‍රපට උළෙලේදීමයි.  තරගකාරී අංශයට ජපානය, චීනය, ඉන්දියාව, හොංකොන්, පිලිපීන් වගේ රටවල් ගොඩකින් චිත්‍රපට 14 ක් ඉදිරිපත් වෙලා තිබුණා... මට ඒ චිත්‍රපටය 14ම නරඹන්න භාග්‍යය උදාවුණා... අතරින් හරියට හිතට කා වැදුණු චිත්‍රපටයක් තමයි ස්ටිල් හියුමන් (Still Human) කියන හොංකොන් චිත්‍රපටය... මේ චිත්‍රපටය තිරරචනය සහ අධ්‍යක්ෂණය කරන්නෙ වයසින් අඩු තරුණියක්. ඇයගේ නම Oliver Siu Kuen Chan. මට මතක විදියට මේ ඇයගේ දෙවැනි චිත්‍රපටය. ප්‍රේක්ෂකයන්ගේ හදවත් කම්පනය වෙන විදියට ඇය මේ චිත්‍රපටය නිර්මාණය කරලා තිබෙනවා...
මේ චිත්‍රපටය දිවෙන්නෙ හොංකොන් නගරයේ ජීවත්වන මධ්‍යම පාන්තික අංශභාග රෝගයෙන් පෙළෙන වයසින් මුහුකුරා ගිය පුද්ගලයෙක් වටා... ඔහුගේ බිරිඳ සහ දරුවන් වෙනත් රටවල් ජීවත් වෙන්නෙ. මේ පුද්ගලයා තනිවෙච්ච කෙනෙක්. ඔහුට නිතරම වෙනත් කෙනෙකුගේ සහාය ඕනෙ. ඔහුගේ සේවයට එන සාත්තු සේවිකාවන් කලින් කලට මාරුවෙනවා... එක දිගටම කවුරුත් ඉන්නෙ නෑ. මේ පුද්ගලයාගේ උදව්වට අලුතින් පිලිපීන් ජාතික යුවතියක් එනවා....  ඒ හා බැඳුණු හරිම මානූෂීය, අනුවේදනීය කතාවක්  මේ චිත්‍රපටය හරහා අධ්‍යක්ෂවරිය ඉදිරිපත් කරනවා. මනුස්ස සම්බන්ධකම් කොයිතරම්ද කියන එක හරියට හිතට දැනුණු නිර්මාණයක් තමයි ස්ටිල් හියුමන් කියන්නෙ.

තමන්ගේ උදව්වට එන මේ තරුණිය ගැන ලොකු පැහැදීමක් මේ පුද්ගලයාට මුලින් ඇතිවෙන්නේ නෑ... මේ වැඩිවයස් පුද්ගලයා හිතන්නේ තමන් හමුවුණු අනිත් සේවිකාවන් වගේ මේ පිලිපීන් යුවතියත් මුදල් සඳහා පමණක් සේවය කරන කෙනෙක් ලෙස තමයි ඔහු සලකන්නේ....

ජාතිය, වයස, පන්තිය අතර ලොකු වෙනසක් තිබුණත් මේ පුද්ගලයාගේම දරුවෙක් විදියට පිලිපීන සාත්තු සේවිකාව ඔහුව බලාගන්නවා... ඔහුව පිරිසිදු කරනවා.. කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නා අතර ලොකු බැඳීමක් ඇතිවෙනවා... සාත්තු සේවිකාවගේ මූලික අරමුණ වෙන්නෙ මේ පුද්ගලයාට සේවය කරලා ඒ ලැබෙන මුදලින් විශ්වවිද්‍යාලය ගොස් ඇයගේ උසස් අධ්‍යාපනය හරියාකාරව සිදුකර ගැනීමයි. ඇය හදාරණ විෂය තමයි කැමරාකරණය. කතාව විහිදිලා යනකොට ඇය විශ්වවිද්‍යාලයට ඇතුළුවීමේ අවස්ථාව උදාවෙනවා... මොවුන් දෙදෙනා අතර ඇතිවෙන බැඳීම නිසා ඇයට මේ අසරණ පුද්ගලයාව තනිකරලා දාලා යන්න හිත හදාගන්න බැරිවෙනවා... ඇය ඇයගේ විශ්ව විද්‍යාල සිහිනය අත්හරිනවා... පසුව ඔහු ඒ ගැන දැනගන්නවා... හරිම සංවේදී අවස්ථා ගොන්නක් තිබෙන මේ චිත්‍රපටය ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් හිමිවෙනවා. ඒනිසා හොඳම ප්‍රේක්ෂක ප්‍රසාදය හිමිකරගත් චිත්‍රපටය ලෙස සම්මානයට පවා පාත්‍රවෙනවා.  මෑතකදී මට තදින් දැනුණු නිර්මාණයක් තමයි මේ ස්ටිල් හියුමන් කියන නිර්මාණය. 

ස්ටිල් හියුමන් චිත්‍රපටය ඇතුළේ නිල්මිණී කැමතිම චරිතය කවුද කියලා ඇහුවොත්?
ඔව්. මගේ හිතට තදින්ම දැනුණු චරිතය තමයි අංශභාග රෝගයෙන් පෙලුන වයසක මනුස්සාගේ චරිතය. ඒ චරිතය පණපොවන්නෙ Anthony Chau-Sang Wong කියන අති දක්ශ රංගන ශිල්පියා..  ඔහු රංගපාන්නේ රෝද පුටුවක් උඩ ඉදගෙන... ඔහු ඒක උඩ ඉදගෙන තමයි හැගීම් ප්‍රකාශ කරන්නෙ.. ඔහුගේ තනිකම, ඔහුට එන අවේගයන් හරිම තාත්වික විදියට අපූරුවට ගෙන හැරපාන්නෙ..  ඒ ලේසි පහසු වැඩක් නෙමේ..  මම නම් තෝරගෙන හිටියේ හොඳම රංගනය ඔහුගේ රංගනය කියලා..  සාත්තු සේවිකාවගේ චරිතයත් හරියට මට දැනුණු චරිතයක්...  

නිල්මිණී... රෝද පුටුවේ ඉන්න අංශභාග රෝගයෙන් පෙලෙන ඉන්න මනුස්සයා වෙලා බලමුද? 
ඇත්තටම ඒ වගේ රංගනයක් කරන්න මට  පුළුවන් වෙයිද මන්ද... මොකද මම සිනමාවට අලුත් කෙනෙක්... Anthony Chau-Sang Wong අති දක්ෂ විදියට ඒ චරිතයට පණපොවනව. සිනමා උළෙලේ මට ලැබුණු සම්මාන තමයි. මේ චිත්‍රපටය 14 අතරින් විශිෂ්ඨතම රංගනයට හිමි මුතු සම්මානය. ඒක ලැබෙයි කියලා මම කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමේ... මගේ සම්මානය හම්බවෙන්නෙ Anthony Chau-Sang Wong එතුමාට තමයි... උළෙලේ මම දැකපු අතිවිශිෂ්ඨ රංගනය ඒක තමයි.

මේ නිර්මාණය ඉතා සංවේදීයි... ඒ සංවේදී බව ඔබේ හිතට තදින් දැනුණු තැනක් දෙකක් මතකද?
ඔව්.. එහෙම තැන් කිහිපයක්ම තියෙනවා. වයසින් මුහුපුරා ගිය පුද්ගලයා පාවිච්චි කරන්නෙ සුඛෝපභෝගී රෝද පුටුවක්. ඒක ක්‍රියා කරන්නෙ දුර්ස්ථපාලයක් මගින්... නමුත් ඔහුට මේ රෝද පුටුවට තනියම නගින්න බැහැ. එක තැනක් තියෙනවා... ඔහුට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවක් එනවා... එහෙම වුණාම ඔහු තමන්ගේ සේවිකාවට ඒක කියන්නෙ දුරකථනයෙන්. ඔහුගේ අවාසනාවට දුරකථනය වැඩකරන්නෙ නැතුව යනවා. ඒ අවස්ථාවේ ඒ පුද්ගලයා දැඩි අපහසුතාවට පත්වෙනවා... ඔහු ලොකු අරගලයක් කරනවා...  ඒ මොහොත හරිම සංවේදීයි... තවත් ඒ වගේම තැනක් තියෙනවා... මේ සේවිකාව ගත්ත ඡායාරූපයක් ඇයටත් නොකියා මේ වයසක මනුස්සයා තරගයකට ඉල්ලුම් කරනවා. ඒ තරගයෙන් ඇයට සම්මානයක් හිමිවෙනවා... ඒ මොහොතේ සේවිකාව සහ මේ වයසක මනුස්සයාගේ හැසිරීම, මුහුණේ ඉරියව්, හරිම අනුවේදනීයයි. මට තාමත් ඒ රූපරාමුව තාමත් මැවිලා පේනවා.. 

ඔබ කී වතාවක් මේ චිත්‍රපටය බැලුවද?
මම එකවතාවයි තාම මේ චිත්‍රපටය බැලුවේ... අන්තර් ජාලයෙන් හරි නැවත මම මේ චිත්‍රපටය බලන්න බලාපොරොත්තු වෙනවා... 

නිල්මිණී.. මේ චිත්‍රපටයේ අවසාන ජවනිකාවෙදී ඔබේ මනසට ආවේ මොන වගේ දෙයක්ද?
ඇත්තටම මට දැනුණේ මිනිස්සු ගැන හරි ආදරයක්... අපි සංස්කෘති අනුව, රටවල් අනුව, පාට අනුව, පක්ෂ අනුව, පන්ති අනුව බෙදිලා ඉන්නවනේ... මෙහෙම බෙදිලා ඉන්නෙ මොනවටද... මේ ජීවත්වෙලා ඉන්න කෙටි කාලෙට... අව්‍යාජ මනුස්ස බැඳීම් මොනතරම් සුන්දරද, ඒවා කොච්චර වටිනවද කියලා මට හිතුණා....

 

► Text - Danushka Wijesiri   /   Pic – Internet