“වැලි පහුර චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතය හරිම සංවේදී චරිතයක්?
ඔව්.. ඒ චරිතය සංවේදී හැඟීම් බොහෝමයක් තියෙන චරිතයක්. චිත්‍රපටයට අනුව මගේ බිරිඳට රඟපාන්නේ දිල්හානියි. එයා ළමයි මත්තෙම මැරීගෙන “ළමයින්ටම කරමු කියන මතේම ඉන්න කෙනෙක්. තාත්තා එහෙම නැහැ. තාත්තා පොඩ්ඩක් කල්පනා කර කර ඉන්නවා. හැබැයි පෙන්නුවේ නැති වුණාට තාත්තාත් ඇතුළෙන් විඳවනවා. ළමයින්ගේ වෙන කෙනෙහිලිකම් ඉතා සියුම්ව තාත්තා විඳවනවා. අපි හැමෝම ආවේගයන් මත්තෙනේ ජීවත් වෙන්නේ. ප්‍රේක්ෂකයා තුළ විශ්වාසයක් ඇති කරලා කම්පනයක් ඇති කරන්න ඕනෙනේ. ඒ කම්පනය ප්‍රේක්ෂකයාට දැනෙන්නේ නැත්නම් ඒක වැඩක් නැහැ. හැඟීම් කියන දේ වචනවලින් විතරක් කියලා වැඩක් නැහැ. “මට දුකයි කියලා වචනවලින් කියන්න පුළුවන්. හැබැයි මට දැනෙන දුක හැඟීම්වලින් කියන්න ටිකක් අමාරුයි.
තර්ස්ටන් විද්‍යාලයේදීත් මහේන්ද්‍ර කලාවට සම්බන්ධ වුණාද?
තර්ස්ටන් විද්‍යාලයේදී මම රඟපෑවේ නැහැ. හැබැයි පාසලේදී මම සංගීතයට තමයි වැඩිපුරම නැඹුරු වුණේ. මායි අද වෙද්දී ඉතා දක්ෂ වයිලින් වාදකයෙක් වුණ කළණි පෙරේරායි තමයි වැඩිපුරම සංගීතයට නැඹුරු වුණේ. අපි දෙන්නම එකම පන්තියේ හිටියේ. අපි දෙන්නාගේ අතේ තිබුණේම වයලින් දෙකක්. ඉතින් අපි දෙන්නාගේම වැඩේ ඉස්කෝලේ ගියපු වෙලාවේ ඉඳන් සංගීත පන්තියේම ඉන්න එකයි. ළමයි කට්ටියක් එකතු කරගෙන පොඩි සංගීත කණ්ඩායමක් හදාගෙන අපි පුරුදු පුහුණු වුණා.
මහේන්ද්‍ර නළුවෙක් වෙන්න ආස කළේ කොයි කාලේදීද?
මම නළුවෙක් වෙන්න ආස කළේ පොඩි කාලේදීමයි. හැබැයි ඉතින් අපි උසමහත අය නෙවෙයිනේ. මගේ අම්මා නම් කලාවට ආස කළා. තාත්තා හැමවෙලේම කිව්වේ කලාව කරලා ජීවත් වෙන්නේ කොහොමද කියලයි. දන්න කාලේ ඉඳන් නළුවෙක් වෙන්න මම ආස කළා. ඉස්සර වේදිකා නාට්‍ය බලන්න මම හරි ආස කළා. තාත්තා මාව චිත්‍රපට බලන්න එක්කගෙන ගියා. අපි ඒ කාලේ හිටියේ මහරගම. නැෂනල් ෆිල්ම් හෝල් එක තිබුණේ අපේ ගෙවල් ළඟමයි. ඒ නිසා ෆිල්ම් හෝල් එකට ආපූ හැම චිත්‍රපටයක්ම තාත්තා අපිව එක්කගෙන ගිහින් පෙන්නුවා. තාත්තා “අපි චිත්‍රපටයක් බලන්න යමු කිව්වාහම මම සතියෙම ඒක බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්නවා. තාත්තා ෆිල්ම් පෙන්නුවාට නළුවෙක් වෙනවාට කැමති වුණේ නැහැ. ඉස්සර මම අල්ලපු ගෙවල්වල ඉන්න ළමයි එකතුකරගෙන පොඩි නාට්‍යය හැඳුවා. බලපු ෆිල්ම් එකක කොටස ගෙදර ඇවිත් රඟපෑවා. මේ දේවල් නිසා තාත්තා බය වුණා “මේකා නළුවෙක් වුණොත් මාර ප්‍රශ්නයක්නේ වෙන්නේ. කියලා තාත්තා බය වුණා. ඒ කාලේ විතරක් නෙමේ දැන් කාලෙත් සමහරු “කලාකාරයෝ හිඟන්නෝ කියලා කියනවානේ. හැබැයි ඒ මතය තියෙන්නේ අපේ රටේ විතරයි. සමහරු මේක “හිඟන රැකියාවක් විදිහට තමයි හිතන්නේ. මේවා නවත්තලා රස්සාවක් කරන්න ඕනේ. මාසේ පඩියක් ගන්න ඕනේ කියලා තමයි ඒ අය කිව්වේ. ඒ නිසාම මම චිත්‍රපටවලට යන්න ගනිද්දී ගෙදරින් පොඩි පොඩි නීති රීතී ටිකක් දැම්මා. චිත්‍රපට බලද්දී නාට්‍ය බලද්දී මම “කවදාහරි දවසක නළුවෙක් වෙනවා කියලා හිතුවා.
නළුවෙක් වෙන්න මඟ පෑදුණේ කොහොමද?
තර්ස්ටන් විද්‍යාලයේදී වයිලින් එකම තමයි ගැහුවේ. ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මේ කලාව හදාරන්න මට දැඩි ඕනකමක් තිබුණා. ඊට පස්සේ මම ටික කාලයක් ධම්ම ජාගොඩගේ රංගශාලිකාවේ වැඩමුළුවලට සහභාගී වුණා. ඊට පස්සේ මම එතනින් අයින් වුණා. ඒ කාලයේදී ආචාර්ය සලමන් ෆොන්සේකා ලංකාවට ආවා. මම එතනට ගියා. ආචාර්ය සලමන් ෆොන්සේකා යටතේ රංගනය පිළිබඳව මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම ඉගෙන ගන්නවාටත් වඩා හොයාගෙන යාමක් තමයි කරන්න තියෙන්නේ. අපි හැම තිස්සේම ජීවිත අත්දැකීම් එක්කනේ සෙල්ලම් කරන්නේ. අපි දැකලා තියෙන, ඇසුරු කරලා තියෙන ජීවිත එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න තියෙන්නේ. එතනදී ආචාර්ය සලමන් ෆොන්සේකා ඒ හැමදයක්ම අපිට කියලා දුන්නා. ඒ හරහා මට ලොකු පිබිඳීමක් ඇවිත් මම ඒ සම්බන්ධව බොහෝ පොත්පත් කියවන්න පටන් ගත්තා. ඒ කාලෙදී රඟපෑම පුරුදු පුහුණු කරන නාට්‍යකරුවන් විවිධ රටවල්වලින් ලංකාවට ආවා. ඒ ආපු අයගේ හැම නාට්‍ය වැඩමුළුවකටම මම සහභාගී වුණා.
ඔය කාලේදී මහේන්ද්‍ර රැකියාවක් කළේ නැද්ද?
කළා.. ඔය කාලේදී මම මගේ බිරිඳ එක්ක ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙනයි තිබුණේ. ඒ නිසා ගෙදරින් මට “රස්සාවක් හොයාගන්න ඕනේ කියලා බල කළා. කසාද බඳින්න කලින් රස්සාවක් කරන්න ඕනේනේ. ඒ කාලේ තාත්තා බ්‍රවුන්ස් සමාගමේ වැඩ කළේ. ඒ නිසා තාත්තා මාවත් බ්‍රවුන්ස් සමාගමට දැම්මා. මම මාස හයක් විතර රස්සාව කළා. ඔය කාලෙදී මම සලමන් ෆොන්සේකාගේ “අහිමි විජිතය කියන නාට්‍යය රඟපෑවා. ඔය අතරේ වැඩමුළුවලටත් යනවා. ප්‍රංශයේ ඉඳන් ආපූ නාට්‍යවේදියෙකුගේ වැඩමුළුවක් මාසයක් තියෙනවා කියලා මට ආරංචි වුණා. මම කෙළින්ම රස්සාවෙන් අයින්වෙලා වැඩමුළුවට සහභාගී වුණා. හැබැයි මම රස්සාවෙන් අස්වුණා කියලා ගෙදරින් දැනගෙන හිටියේ නැහැ. මම උදේට ගෙදරින් දෙන බත් පැකට්ටුවත් අරගෙන කෙලින්ම වැඩමුළුවට තමයි යන්නේ. හවස ආයෙත් ගෙදර එනවා. මාස අවසානයේදී වැඩමුළුව ඉවරයි. රස්සාවත් ඉවරයි.
මහේන්ද්‍රගේ ආදරණීය බිරිඳ මුණගැහුණේ කොහොමද?
එයා අපේ නෑදෑයෝ. ඉතින් පොඩි කාලේ ඉඳන් අපි හොඳට දන්නවා. ඉස්සර පොඩි කාලේ එයාලා අපේ ගෙවල්වලට යනවා. එනවා. එයාගේ නම තක්ෂිලා. මෙයාගේ නංගිලා, මල්ලිලා නිවාඩු කාලේම ඇවිත් අපේ ගෙදරත් නවතිනවා. හැබැයි මෙයා නැවතුනේ නැහැ. තාමත් මට මතකයි නිල්පාට ටයි එකක් දාගෙන මෙයා අපේ ගෙදරට එනවා. ඒ කාලේ මම කිසිම ජනප්‍රියතාවයක් නැහැ. ඉතින් ඒ දැනහැඳුනුම්කම ආදරයක් වුණා. ඒ ආදරය විවාහය වුණා. අපිට පුතාලා තුන්දෙනෙක් ඉන්නවා. උනුත් දැන් හරි ලොකු ඉලන්දාරියෝ.
ආපු ගමනේදී ලොකු දුෂ්කරතාවලට මුහුණ දෙන්න ඇතිනේද?
අම්මෝ ඔව්.. පුදුම කට්ටක් කෑවා. මගේ බිරිඳ මේ තරම් දරාගෙන හිටියේ නැත්නම් අපිට ඉන්න බැරිවෙනවා. අපිට මහලොකු සල්ලි තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ සාජන් නල්ලතම්බි රඟපාපු නිසා පොඩ්ඩක් මීටරේ කැරකුණා. මගේ බිරිඳ පෞද්ගලික ආයතනයක සේවය කළා. පුතාලා ලැබුණට පස්සේ තමයි එයා රුකියාවෙන් අයින් වුණේ. ආර්ථික ප්‍රශ්න ඇති වෙද්දී අපේ මඟුල් මුදු පවා උගස් කඩවල සින්න වුණා. ලංකාවේ ලයිට් කපලා කලබල කාලේදී අපිට ජීවත් වෙන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ කාලේ මොන කට්ටක්ද අපි කෑවේ. මම ආදරේන් ළඟ තියාගත්තු ගිටාර් එක පවා විකුණුවා.
අනිල් කපූර් වරක් ඔබට ඉන්දියාවේ රඟපාන්න පවා ආරාධනා කළා?
ඔව්.. අනිල් කපූර්මට ඉන්දියාවට එන්න කිව්වා. හැබැයි ඉතින් එහෙම යනවානම් මගේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕනේ. අනිල් කපූර් එන්න කියපු පලියට මම බෑග් එකක් කරේදාගෙන “හරි යමු කියලා කියන්න බැහැ. ඒ අය වෙනස් මට්ටමක තමයි ඉන්නේ. අනිල් කපූර් රටවල්වලට එද්දී තවත් දහදෙනෙක් විතර එක්ක එන්නේ. එයාගේ මැනේජර්, ඇඳුම් නිර්මාණ ශිල්පියා, කෑම බීම බලන්නා, වේෂ නිරූපණ ශිල්පියා ආදි බොහෝ දෙනෙක් එයත් එක්ක එනවා. මම ඉන්දියාවට බෑග් එකක් දාගෙන “අනිල් කපූර් මම ආවා.. අපි කරමු. කියලා කියන්න බැහැනේ. ඉංග්‍රීසි නම් අවුලක් නැහැ. නමුත් ඒ අයගේ භාෂාව අපි දැනගන්න ඕනේ. ඒ භාෂාව ඉගෙනගන්න මට වෙනම කාලයක් ඕනේ. එතකොට මෙහේ වැඩ නැතිවෙලා මගේ පස්ස බිම ඇනේවී. ඒ නිසා වෙන රටවල්වලට ගිහින් රඟපාන්නවාට වඩා මේ රටේම ඉන්න එක තමයි හොඳ.
පුතාලා තුන්දෙනා එක්ක ගෙවන ජීවිතේ කොහොමද?
මුන් තුන්දෙනා මට හොඳ යාළුවෝ තුන්දෙනෙක්. එකෙන් බැඳලා දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ලොක්කා ෂැන්ග්‍රීලා හෝටලයේ සේවය කරනවා. බාලයා පෞද්ගලික ආයතනය සේවය කළා. කොල්ලෝ තුන්දෙනාම කලාවට ආසයි. හැබැයි රඟපාන්න නම් කැමති නැහැ. ගෙදරදී ගිටාර් ගහනවා. සින්දු කියනවා. යාළුවෝ වගේ තමයි ඉන්නේ.
කලා ලොවේ හැමෝම මහේන්ද්‍රට කියන්නේ “ලොකු අයියා කියලයි. ඒකෙත් හොඳ සිදුවීමක් තියෙනවා නේද?
ඔව්.. ඔය “ලොකු අයියා කියන වචනය මම හදාගත්තු වචනයක්නේ. අනික් අයට මම “ලොකු අයියේ කියලා කියන්න ගිහින් තමයි මට කැරකිලා ඒකම ආවේ. ජයන්න චන්ද්‍රසිරිගේ “වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ මම කලා අධ්‍යක්ෂක විදිහට වැඩ කළා. ජැකා, මම, ශ්‍රියන්ත, කමල්, ජයන්ත අපි පස්දෙනා එකටම තමයි හිටියේ. “මේ අපේ පොඩි මල්ලිනේ කියලා දවසක් ජැකා කිව්වා. ඉතින් මම “ඔව් ලොකු අයියේ* කියලා කිව්වා. ඔහොම කාලයක් ගියාට පස්සේ ප්‍රසන්න විතානගේ “පවුරු වලලු චිත්‍රපටයේ මම රඟපාන ගමන් කලා අධ්‍යක්ෂණයත් කළා. නාහේට අහන්නේ නැති සහය කලා අධ්‍යක්ෂකවරයෙක් මටත් හිටියා. පින්තූර ටිකක් එල්ලන්න කිව්වහම “බැහැ අයියේ... තව ටිකකින් කරමු. කියලා කිව්වා. එක දවසක් මම “ලොකු අයියේ මෙහේ එන්නකෝ.. කියලා ඔහුට පැත්තකට කතා කරලා ලොකු අයියේ කිය කියා මේ චිත්‍රපටයේ තියෙන බර සහ අපිට ඇති වගකීම් ගැන කියලා දුන්නා. කතාව අහගෙන හිටපු ඒකා “හරි ලොකු අයියේ මම කරන්නනම් කියලා උද් යෝගයෙන් කිව්වා. එදා ඉඳන් පවුරු වලලු චිත්‍රපටයේ පවා අපි කතා කළේ “ලොකු අයියේ ලොකු අයියේ කිය කියායි. එදා ඉඳන් හැමෝටම ලොකු අයියේම තමයි.
ප්‍රවීණ රංගන ශිල්පියෙක් කලා අධ්‍යක්ෂකවරයෙක් ලොකු අයියට අධ්‍යක්ෂණය පැත්තට වැඩිපුර නැඹුරු වෙන්න හිතුණේ නැත්තේ ඇයි?
මම එක ටෙලිනාට්‍යයක් කළා. දීලීප අබේසේකර තමයි ඒක තිර රචනා කළේ. චිත්‍රපටයක් නම් අධ්‍යක්ෂණය කළේ නැහැ. කරන්නේ කොහොමද? ප්ලේන්ටියක් ගහගෙන චිත්‍රපටයක් කරන්න බැහැනේ. මට නළු නිළියන්ට අඩු ගාණක් දෙන්නත් බැහැනේ. චිත්‍රපටයක් කරන්න සෑහෙන මුදලක් යනවා. ඒක වගකීමෙන් කරන්න ඕනේ දෙයක්. චිත්‍රපටයක් කරන්න ආසාවක් තියෙනවා. නැත්තේ නැහැ. අධ්‍යක්ෂකවරයෙක් කන කට්ට මම හොඳට දැකලා තියෙනවා. චිත්‍රපටය කරන්න මාස ගාණකට කලින් ඉඳන් චිත්‍රපටය තිරගත වෙන කාලය දක්වා ඒක පුදුම කට්ටක්.
Text - Dishani / Pic - Sumudu