ගීතයකින් ජීවිතය කියවමු ඔබ විසින් අකුරු කළ ග්‍රන්ථය මැයි මස හතර වැනිදා දොරට වඩිනවා?
විජය පුවත්පත් සමාගම ප්‍රකාශයට පත් කරනු ලබන දේශය පුවත්පතේ හදසර කලා අතිරේකයට මම සතියක් ගාණේ ගීතයකට විචාරයක් ලියුවා. සතිපතා ලියූ මේ විචාරයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ පළවුණු ලිපි පෙළ එක දිගට කියවන්න හුඟක් අයට බැරි වුණා. ඒ නිසා මේ වටා හිටපු බොහෝ අය ඒ විචාර පොතක් කරන්න කියලා ඉල්ලීම් කළා. ඒ අයගේ ඉල්ලීම අනුව තමයි පොතක් ලෙස විචාර සංග්‍රහය එළිදක්වන්නේ. ඒ අනුව මැයි මාසේ හතර වැනිදා සවස 3.30ට කොළඹ පදනම් ආයතනයේ දී ගීතයකින් ජීවිතය කියවමු ග්‍රන්ථය දොරට වඩිනවා.
දන්ත ශල්‍ය වෛද්‍යවරයකු වන ඔබ ගීත විචාරයට ගීත රචනයට හා කලාවට නැඹුරු වුණේ ඇයි..?
සෑම කෙනෙකුටම කලාවක් තියෙනවා. හැබැයි ඒ කලාව තුළින් ගීතයක් ගායනා කරන්න, රංගනයට දායක වෙන්න පුළුවන්ද බැරිද කියලා අපිට කියන්න බැහැ. හැම රැකියාව තුළම කලාවක් තියෙනවා. තම තමන්ගේ ජීවිතවල සංධිස්ථානවලින් කලාව තම ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට කලාව තමන්ගේ වෙහෙස නිවාගන්න තමයි එකතු වෙන්නෙ. මම වෛද්‍යවරයෙක් නිසා රෝගීන්ට ප්‍රතිකාර කරලා ඉවරවෙලා මට දැනෙන වෙහෙස ගීතයක් රසවිඳිමින් නිවාගන්නවා. ඒ ගීතය අහද්දී එහි රසයත් එක්ක ඒ සින්දුවේ සමහර වචනයකින් දෙකකින් මාව ඒ සින්දුව තුළටම ගෙන යනවා. ඒ තුළින් මම ඒ ගීතය හොඳින්ම රසවිඳින්න ගන්නවා. ඒ ඔස්සේ ඇතැම් වෙලාවට මම ඒ ගීතය මගේම කර ගන්නවා.
ඕනෑම කෙනෙකුට තමන් ආසා කරන ගීතයක් හෝ ගීත කිහිපයක් තිබෙනවා. සමහර වෙලාවට ඒ ගීතය තුළ තමන්ගේ ජීවිතේ අත්දැකීමක් හෝ නෑදෑකමක් තියෙන්න පුළුවන්. අපි එවැනි ගීත වැඩිපුර අහන්නෙත් ඒ නිසාම වෙන්න ඇති. ඒ නිසා ගීතයක් තුළ ලොකු ගැඹුරක් තියෙනවා. ගීත රචකයෙක් ගීතයක් ලියන්නෙ මොනවහරි සංධිස්ථානයක් නිසා වෙන්නත් ඇති. ගීතයේ ඇති ගැඹුර හිමින් සැරේ ලිහලා අපට තේරෙන විදිහට ගැලපීමක් තමයි මම මේ ගීත විචාරයෙන් කළේ. හැබැයි හෙන්රි ජේම්ස් කියන අමෙරිකානු විචාරකයා කිසියම් කලා කෘතියක් තුළ කවුළු එකේ සිට දස ලක්ෂයක් දක්වා පවතී* යනුවෙන් වරක් සඳහන් කළා. තමන්ගේ දැක්ම අනුව ඒ කවුළු තමන්ට විවර කරගන්න පුළුවන්. අවාසනාවකට සමහර කෙනෙකුට එක කවුළුවක්වත් විවර කරගන්න බැහැ. ඒක තමයි එක එක්කෙනාගේ රසඥතාවය සහ සංවේදීකම. ඉතින්.. ඒ විදිහට තමයි ගීතයක් ගැන ඇතැම් වෙලාවට මම කතා කළේ.
මේ ගීත පනස් හතර ඇතුළේ ඇතැම් ගීත රචකයන්ගේ සත්‍ය අත්දැකීම් තියෙන්නත් පුළුවන් නේද..?
ඔව්.. ඇත්තෙන්ම. ගීතයක් නිර්මාණය වෙද්දී ගීත රචකයාට සිදුවුණු සිදුවීමක් හෝ සමාජයේ සිදුවුණු සිදුවීමක් ඇසුරින් ගීත නිර්මාණය වෙනවා.එමෙන්ම සත්‍ය හෝ යම් ප්‍රස්තුතයන් ඔස්සේ ගීතයක් නිර්මාණය වෙන්නත් පුළුවන්. ඒ නිසා ගීතයක් නිර්මාණය වීමට තුඩු දුන් හේතුව සත්‍ය සිදුවීමක් වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. මේ විචාරයෙන් ඒ ඒ ගීතවලින් කියන්න උත්සාහ කරන්නෙ මොකක්ද කියලා කතා කරනවා.
කලාවේ වැටකඩුළු නැහැ. සීමා මායිම් නැහැ. තම රසඥතාව පරිදි එය රස විඳින්න පුළුවන්. හැබැයි මගේ විචාරය තව කෙනෙකුට වෙනස් විදිහට දැනෙන්න පුළුවන්. හැබැයි ඒක වැරදියි කියන්න කාටවත් බැහැ. තමන් කලා කෘතියක් රස විඳින්නෙ කොහොමද? කුමන පදනමකින්ද කියලා කාටවත් අදාළ වෙන්නෙ නැහැ. කලාව රසවිඳීම කෙනෙකුගෙන් කෙනෙකුට ආවේණිකයි.
ගීත ගොන්නක් අතරින් මේ ගීත පනස් හතර ඔබ තෝරාගත්තෙ කොහොමද..? ඒ කටයුත්ත ටිකක් අමාරැ කටයුත්තක් වෙන්න ඇති...?
මේ ගීත බොහොමයක් මගේ හිතට තදින්ම දැනුණු ගීතයි. මට දැනුණු මේ ගීත බොහෝ වෙලාවට මම විචාරය කළේ එක එක පැතිවලිනුයි. ආදරය ගැන දැනෙන ගීත, විරහව ගැන දැනෙන ගීත, අම්මාගේ ගුණ ගැන තාත්තගේ ගුණ ගැන, සමාජ ප්‍රශ්න ආදී විවිධ ප්‍රපංච ගැන කියවෙන ගීත ගැන විචාරයක් මම මේ පොතේ සඳහන් කරලා තියෙනවා. මේ ගීත රචකයෝ කොච්චර දේවල් ගැන කියලා තියෙනවද..? ඒ දේවල් අපි අපේ කන්වලින් කොච්චරනම් රසවිඳලා තියෙනවද? හදවතට දැනෙන පදවැල්වලින් ලියැවුණු ගීත කොච්චරක්නම් අපේ ගීත කලාවේ තියෙනවද..? ගීතයේ ගීතමය රසයක් සහ අර්ථමය රසයක් තියෙනවා. ඒක ඇත්තක්. ගීතයක රසය පදවැල්වලින් සංගීතයෙන් ගායකයාගේ හඬින් මෙන්ම පදවැලේ අර්ථයත් එක්ක රස විඳින්න පුළුවන්.
ගිතයකින් ජීවිතය කියවමු පොත දොරට වඩින මොහොතට බොහෝ කලාකරුවන් සම්බන්ධ වෙනවා නේද..?
ඔව්.. සුනිල් එදිරිසිංහ මහත්මයා තමයි මගේ කලාවේ මූලාරම්භය වුණේ. සුනිල් එදිරිසිංහ මහත්මයා මට මුණගැහෙන්නෙ මීට අවුරුදු දහයකට කලින්. ඊට පස්සෙ ගීත විචාර වැඩසටහන් සහ එක එක වැඩසටහන්වලදී මට මුණගැහුණු කලාකරැවන් බොහොමයක් මේ වැඩසටහනට සහභාගි වෙනවා. මේ වැඩසටහනට ලංකාවේ ඉන්න ප්‍රවීණ කලාකරුවන් සියල්ලන්ම පාෙහ් එනවා. ගීත රචකයන්, සංගීතඥයන්, ගායක ගායිකාවන් මෙන්ම මගේ යාළුවෝ නෑදෑයෝ, මාධ්‍ය මිතුරු මිතුරියන් ඒ හුඟ දෙනෙක් එදාට එකතු වෙයි. ගීත විචාරයේ ගැඹුරටම යන්න මට පදනම වුණේ සුනිල් එදිරිසිංහ මහතායි. අපි දෙන්නා කතාබහ කරද්දී අසේල මල්ලි.. මේ සින්දුවේ තේරැම මතකද.. මේක ගැන දන්නවද..? කියලා ඔහු මගෙන් අහනවා. ඒ ඇරයුම තමයි දිගටම මම පුළුල් කරමින් ආවේ. ඒ වගේම බන්ධුල අයියා (බන්ධුල නානායක්කාරවසම්) මට ළඟදී මුණගැහුණේ. මේ ලෝකයේ පොදු ගැස්මක් තියෙනවා. ලෝකය කම්පනය වන, චලනය වන පොදු ගැස්මක් තියෙනවා. ඒ ගැස්ම සමහරුන්ට හඳුනාගන්න බැහැ. ඕක අඳුනාගත්තොත් ජීවිතේ රසය තේරෙනවා. ඒ රසය තියෙන මිනිස්සු එකිනෙකා හඳුනාගන්නවා. බන්ධුල අයියා එක්ක කතා කරද්දී අපි එකිනෙකා හඳුනාගත්තා. ඔහු හිත හොඳ කලාකරුවෙක්. කිසිම කෙනෙක් මුදල් බලාගෙන මට උදව් කළේ නැහැ. ඒ වගේම විජය පුවත්පත් ආයතනයේ දේශය පුවත්පතට ආදරය කරන අයත් මෙදිනට පැමිණේවි.
මෙදිනට පෙළගැස්වූ වැඩසටහන් ටිකක් වෙනස් නේද..?
ඔව්.. මම නාගොල්ලාගම කියන ඈත දුප්පත් ගමකින් ආපු කෙනෙක්. ඒ ගමේ පරිසරය, ගහකොළ වගේම ගමේ වැවට වතුර පිරුණාම ඒක වාං දානවා මම දැකලා තිබුණා. ඒක වෙනම කලාවක්. වැවට රාත්‍රියට හඳ එළිය වැටුණාම ඒක වෙනම කලාවක්. ඉතින්.. ගම තමයි මගේ ප්‍රාථමික කලායතනය. මට කලාව කියලා දුන්නේ ගමේ සොබාදහමයි. මට කවදාවත් ඒ ගම අමතක කරන්න බැහැ. ඒ ජීවිතය ගැන මම එදාට කතා කරනවා. මේ උත්සවයේ දී සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, කසුන් කල්හාර ඇතුළු ප්‍රවීණ ගායකයන්ගේ ගීත ගායනා කරනවා. ඒ ගීත රචකයන් ඒවා දකින විදිහ එදාට කියාවි. ඒ නිසා මේක ඉතාම සම්භාව්‍ය ගණයේ ටිකක් බරසාර උත්සවයක්. ගීතයට ආදරය කරන, කලාවට ආදරය කරන අයට මේක ඉතාම උසස් අවස්ථාවක්. මේක රස විඳින්න පුළුවන් තැනක්. සංගීතයට සින්දුවක් අහනවට වඩා අපූරු රසවින්දනයක් මෙදිනට ලබාගන්න පුළුවන් වේවි.
දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර පිළිබඳ හා ගීතයකින් ජීවිතය කියවමු නම් ග්‍රන්ථය දොරට වැඩීම පිළිබඳ සුනිල් එදිරිසිංහ අපේ ප්‍රවීණ ගායකයා කීවේ මෙහෙම දෙයක්.
ලන්ඩන් නුවර මගේ හිතවතකුගේ නිවෙසකදී තමයි මීට අවුරුදු කිහිපයකට පෙර වෛද්‍ය අසේල මට මුණගැහුණෙ. අසේල මගේ ගීත පිළිබඳ බොහෝ අගය කළා. ඒ විතරක් නෙමේ.. ඒ ගීත පිළිබඳව ඔහු බොහෝ දේ මාත් එක්ක කතාබහ කළා. එදාම මට තේරුණා අසේල සංවේදී කෙනෙක් කියලා. ඔහු දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ වෙලාවෙත් මට හිතුණේ වෛද්‍යවරයෙක් වුණු ඔහු මේ තරම් සංවේදී වුණේ කොහොමද කියලයි.
ටික කාලයකට පස්සෙ දත්වල රෝගයක් සම්බන්ධයෙන් මම අසේලව දුරකතනයෙන් ඇමතුවා. ඔහු ඉතා කාරුණිකව ඒ අවශ්‍ය ප්‍රතිකාර මට ලබා දුන්නා. ඒ මිත්‍රත්වය හරිම ළෙන්ගතුයි. ඇත්තටම ඔහු ගීත විචාරය ඉතා සාර්ථකව සිදුකරනවා. තම වෘත්තීය වගේම කලාවේදීත් ඔහු ඉතා සාර්ථකයි.
මැයි මාසේ හතරවැනිදා ඔහුගේ ගීත විචාර ග්‍රන්ථය එළිදකිනවා. එදාට ගීත කිහිපයක් මට ගායනා කරන්න කියලා ඔහු මට ආරාධනා කළා. ඒ නිසා මමත් ඒ උත්සවයට සහභාගි වෙනවා. එදින ඉතා සාර්ථක වෙනස් අත්දැකීමක් ලබාගත හැකි සැඳෑවක් වේවි කියලා මම විශ්වාස කරනවා.
බන්ධුල නානායක්කාරවසම් අපේ ප්‍රවීණ ගී පද රචකයා සමඟත් අපි කතා කළා.
වෛද්‍ය අසේල මට මුණගැහුණෙ මෑතකදීයි. ජාතික රූපවාහිනියේ පැවති එක්තරා වැඩසටහනකදී තමයි ඔහු මට මුණගැහුණේ. ඒ විදිහට හඳුනාගත්තත් අසේල කියන්නෙ ඉතා දක්ෂ දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් වගේම කලාවට ආදරේ කරන, පොළොවේ පය ගහලා ජීවත්වෙන මනුස්සයෙක් කියලා මට තේරැණා. ඊට පස්සෙ තමයි අසේල ඔහු විසින් දේශය පුවත්පතට ඉදිරිපත් කළ නිර්මාණ පිළිබඳ මට කිව්වෙ. ඔහු ගීත සම්බන්ධයෙන් කරපු බොහෝ විචාර මම කියෙව්වා. වෛද්‍යවරුන් ඕනෑ තරම් අපට මුණගැහිලා තියෙනවා. මම කලාවට සම්බන්ධ නිසා බොහෝ කලා හැකියාවන් තියෙන වෛද්‍යවරු මට මුණගැහිලා තියෙනවා. ඒ නිසා ඒක මට අමුතු දෙයක් නෙමේ. නමුත් අසේල කලා හැකියාවන් තියෙන අනිත් වෛද්‍යවරැන්ට වඩා ටිකක් වෙනස්. ඔහු සින්දුවක් ලියලා, කවියක් ලියලා නම ප්‍රසිද්ධ කරගන්න උත්සාහ කරන වෛද්‍යවරයෙක් නෙමේ.. තමන් දන්න දෙයින්, තමන් විඳින දෙයින් ලෝකය දැනුම්වත් කරන්න මහන්සි ගන්න කෙනෙක්.
මම ලියපු ගීතයකට විචාරයක් ලියද්දී හිතපු දෙයට වඩා වෙනස් විදිහට තමයි අසේල හිතන්නෙ. ඒක සාධාරණද අසාධාරණද කියලා හොයන්න මම යන්නෙ නැහැ. මිනිස්සු කලාව දකින විදිහ විවිධයි. ඒ නිසා අසේලගේ ඒ බොහෝ දේ හරි අපූරුයි.
මැයි මාසේ හතර වැනිදා පවත්වන්නට යොදාගෙන තියෙන උත්සවයත් හරි අපූරුයි. එයා ලියන ඒවා වගේම ඒකත් වෙනස් අත්දැකීමක් වේවි. ඔහු විසින් විචාරය කරපු ගීත සමහරක් සැබෑ ගායක ගායිකාවන් එදිනට ගායනා කරනවා. සමහර ගීත රචකයන් තමන්ගේ අදහස් සමඟ අසේලගේ අදහස ගලපා කතා කරාවි. ගීත ගායනා කරනවා වගේම ඒ ගීත ගැන අපි කතා කරාවි. ඒ නිසා මේක වෙනස් අත්දැකීම්වල එකතුවක්.
► Text - Dishani / Pic - Channa Kassapa