ජීවිතයේ කඩාවැටෙන ඕනෑම සංසිද්ධියකදී ඒ සියලු කඩාවැටීම් දරාගෙන ඉදිරියට යන්න අපට හැකි විය යුතුයි. විඳවීම් කඳුළු මත සිනහවේ සේයාවන් ජනිත කරන්න අපට මානසික ශක්තිය තිබිය යුතුයි. අපේ මානසික පරාජය තවත් පාර්ශ්වයක ජයග්‍රහණයක් නොවිය යුතුයි. ඒත් අදටත් අපි කතා කරන්නේ බිඳුණු පරාජිත මානසිකත්වයකින්. ප්‍රශ්නයකට උත්තර හොයන්න අදාළ පාර්ශ්වයක් ඉන්නවා. ඒ ඒ ප්‍රශ්න ඒ ඒ පාර්ශ්වවලට බාරදිය යුතුයි. අදටත් අපේ මාතෘකාව පාස්කු ප්‍රහාරය. ඒ මාතෘකාව ගැන පදනමකින් තොරව කතා කරන්න අපි වැය කරන පැය ගණන අප්‍රමාණයි... ඒ අපි අපේ යුතුකම් වගකීම් වෙනුවෙන් වැය කළ යුතු කාලය... ඒ කාලය ආයෙත් කවදාවත් නැවත එන්නේ නෑ... අප සිදුවූ සිදුවීම ගැන කතා කරන්න කාලය වෙන් කරද්දී ඒ ත්‍රස්තවාදීන් ඔවුන්ගේ සැලසුම් වෙනුවෙන් ඒ කාලයම වැය කරනවා... අපි තවදුරටත් ඔවුන් වෙනුවෙන් ඔවුන් ජයග්‍රාහකයන් කරනු පිණිස අපේ විඳවීම ළයට තුරුලු කරගෙන බලා හිඳිනවා...
සොබාදහම මහා දාර්ශනිකයෙක්... ඒ මහා දාර්ශනිකයා අපිට හුඟක් ජීවිත සත්තාවන් ගැන කියා දෙනවා... මලක් පිපිලා ජීවත්වෙලා මියැදුණාට ඒ නටුව තවත් මලක් දරාගන්න පේවී බලා හිඳිනවා... මියැදෙන මලක් වෙනුවෙන් මියැදෙන්න ඒ මල් ගස සූදානම් නැහැ... ගසක් ජීවත්ව සිටින තාක් ළපලු කී දාහක් උපද්දනවද? ඒ ළපලු පොළොව සිඹගනිමින් අතු හැර ගස හැර යද්දී ගස අකම්පිතව තවත් ළපලු දස දහස් ගණනකට ජීවය දෙනවා. ඇයි සොබාදහම මහා කාන්තාර මැව්වේ... වැලි සුළං දරාගෙන නිරුදක කතරක වේදනාවන් උසුලාගෙන ජීවිතය කියන පාර දිගේ ඇවිදින්න කියාදෙන්න...
ජීවිතය පාමුල හඬා වැටෙන්න බෑ අපට... අපි කඳුළු දරාගෙන නැගී සිටිය යුතුයි... යුතුමයි... ජීවිතය සහ ජයග්‍රහණය අපට මුණගැසෙන්නේ එවිටයි.