ගමන් මඟක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ
ගිමන් හලක් හමුවීද මේ
ප්‍රේම චාරිකාවේ
නෙතින් ගැලූ කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ
ගමන් මඟක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුණු
ඉමක් කොණක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ
ගමනාන්තයක් අහිමි.. ගමන් මඟක් අහිමි ප්‍රේම චාරිකා විශ්ව උප්පත්තියේ සිට විශ්වය කවදා හෝ අළු දූවිලි බවට පත්වුවහොත් ඒ දක්වාම විශ්වයට සාධාරණ අනුභූතියක් නොවන්නට හේතු තිබෙන්නට නොපිළිවන. ඒ මනුෂ්‍ය හදවතේ මූලික අවශ්‍යතාවයක් ලෙස ප්‍රේමය අත්‍යන්තයෙන්ම සම්භාවනාවට පාත්‍ර වන හෙයිනි. ගෝත්‍රික සංකල්ප කුහක සුචරිතවාද ප්‍රේමයට වලංගු නැත. ජීවිතය සුවපත් වන්නේ කොතැනද එතන ප්‍රේමය පවතියි. රජවරුන් කුමාරවරුන් රජ සැප ඔටුණු මාලිගා අත්හැර රජ මාලිගය අභිනික්මන් කළා නම් ඒ ප්‍රේමය වෙනුවෙනි. සඳළුතල හැරදා පවුරු පාමුල නැවතුණානම් ඒත් ප්‍රේමය වෙනුවෙනි.
ඉක්මන් ගමන් හිමියනි ඔබ යනවාද
දස්කොන් මගෙ නමට ජීවිත දෙනවාද
ප්‍රමිලා දේවියට එදා එසේ කියන්නට සිදු වූවාය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ බිසවක වූ ප්‍රමිලා දේවියගේත් දස්කොන්ගේත් රහසේ දළු ලෑ ප්‍රේමය පියාපත් ලැබ ඉගිලුනෙන් රාජ උදහසට ලක්වූ දස්කොන්ට ප්‍රේමය වෙනුවෙන් ජීවිතය දන්දෙන්නට සිදුවිය. පරසතු බිසවක වෙනුවෙන් හිස දන්දෙන්නට සිදුවෙද්දීත් ප්‍රේමය පරසතු නොවූ නිසා විරසක නොවූ දස්කොන් මෙලෙසින් පිළිවදන් දුන්නේය.
වෙසෙස් ඔබේ අමයුරු පහස ලත් මෙමා
මහිස් එකක් දිනිනම් නුඹේ නමට කිමා....
ප්‍රේමය එසේය. නීතියෙන් රීතියෙන් සම්ප්‍රදායෙන් කටු කම්බි ගසා වටකොට යදම් බැඳ විලංගු ලන්නට තැත් කළත් ප්‍රේමය එසේය. ඒ ප්‍රේමය වරෙක දෙවියන්ගේ වේශයෙන් පැමිණෙයි. තවත් වරෙක රුදු යක්ෂ වේශයකින් පැමිණෙයි. අන්තඃපුරයක් ඇසුරෙහි රති සුව සෙවූ රජ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහට ප්‍රමිලා සැබෑ ප්‍රේමය සොයා හිමි පහසක වෙලෙනු ඉවසන්නට තරම් සාධරණ සිතක් නොතිබුණේ එහෙයිනි.
ගමන් මඟක් තිබුණානම් ප්‍රේමයකට මරණය තෙක් නැවතුමක් හමුවේ. අත්පත් කරගත නොහැකි ප්‍රේමයක් සේම එක්ව පෑහේනු නොහැකි ප්‍රේමයකට ද නිශ්චිත දිශානතියක් නැත. ප්‍රේමය යනු අවසානයක් මිස කෙළවරක් නැති හැඟීමකි. සංසාර ගමන විශ්වාස කරන හෙයින් ප්‍රේමය මා දකින්නේ එලෙසය. එහෙයින් ප්‍රේමයට නිර්වාණය තෙක් ගමනාන්තයක් නැත. එහෙත් දැක්මක් අවබෝධයක් නිදහසක් හිමි ප්‍රේමයට ගමන් මඟක් පවතී. ගිමන් හලක් පවතී.
ගිමන් හලක් හමුවීද ඒ ප්‍රේම චාරිකාවේ
වසන්තයක් නොක්ල්හිම ගිම්හානයක් ලෙස වෙස් ගැන්වූ වෙහෙසකර ප්‍රේමයක් ඒ ගී පදය ගැඹුරේ මම දකිමි.
නෙතින් ගැලූ කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනිදැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
අපේ පෙම් ලෝකයේ
ඉරයි හඳයි මියෙනා තුරා... ඉර හඳ මියැදුණු දවසක ලෝකයම මලගම් යයි. විශ්වයේ ජීවය පැවැත්ම තීරණය කරන තීරක මව්පියන් ඒ ඉර හඳය. ඒ ඉර හඳ දිනෙක අළු දූවිලි බවට පත්වුවහොත් විශ්වය මේ යන ගමන ද මෙතෙකින් නිමිය.
ගමන් මඟක් නොතිබුණත් ගිමන් හලක් හමුනොවුණත් හිතේ ඇවිලෙන ගින්දරට කඳුළකින් මිස විසඳුමක් නැති වුවත් ඒ ප්‍රේමය වෙන්කළ නොහැකි සසර සදාතන බන්ධනයක් නොවේනම් ඒ සියල්ල උසුලා දරාගෙන ඉවසිලිවන්ත ශක්තියකින් හිඳින්නට බැරිය. ලෝකයට ඒ ප්‍රේමය එක් තිතක් වුවත් ඔවුන්ට මුළු ලෝකයම ඒ ප්‍රේමයමය. ප්‍රේමය එසේය.
ගමන් මඟක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුණු
ඉමක් කොණක් නැති මාවතේ
විරහ පෙම් මාවතේ
ලෝකය නපුරුකම් කරතැයි බියෙන් සඟවා ගන්නා ප්‍රේමය වරෙක රිදුම් දෙන අසරණකමකි. අන්තඃපුර ඇසුරේ ප්‍රේමය නොව අනුරාගය සෙවූ රජවරු ප්‍රේමය ගැන දැන සිටින්නට හැටියක් නැත. රූබර ගණිකාවන්ගේ පහස සෙවූ රජ සිටු කුමාරවරු ප්‍රේමය ගැන දැන සිටින්නට හැටියක් නැත. ජේසුස් වහන්සේ පාවා දුන් ජුදාස්ලා ප්‍රේමයේ උත්තරීතරත්වය දැන සිටින්නට හැටියක් නැත. බුදු ගුණත් නොවැටහුණු දේවදත්තලාට ප්‍රේමයේ මහාසාරය ගැන හැඟීමක් දැනෙන්නට හැටියක් නැත. යශෝදරාවන් ඉපදෙන්නට සසර කල්ප සුවිසැරියේ බෝධිසත්ත්ව විවරණ ලද පුරුෂයන් ද පැමිණිය යුතුය.. පත්තිනි දේවිවරු බිහිවන්නට ස්ත්‍රීත්වයේ අයිතිකාරියන් පාරමී දම් පූරණය කළ යුතුය. අප ප්‍රේමය වෙනුවෙන් පුදන්නට යදින්නට සෙනසුනක් ඉල්ලා හිඳින්නේ ප්‍රේමයේ මහරුත් මුතුහරින් මුතු ඇට ගිලිහී වැටෙන යථාවක් අබිමුවය.
මේ ගීතයේ ගැඹුරටම වැද අරුත් පසිඳින සඳ මේ ගීතය පිළිබඳව මට ඇත්තේ මුලින් කී අරුතට ඉඳුරාම වෙනස් අරුතකි.
මේ ප්‍රේම චාරිකාව ආ දුරවත් යා යුතු දුරවත් නොදන්න මේ සසර ගිරි දුර්ගයයැයි මට සිතේ. ප්‍රේමයේ නෙක දැඩි බන්ධන විසින් සංසාර රැහැන් පොට බිඳිනු නොහී දැඩිව වෙලා ඇත. අට ලෝ දහම හමුවේ හඬමින් හිනැහෙමින් අපි මේ මහා ගිරි දඹ තරණය කරන්නෙමු. සම්ප්‍රයෝග විප්‍රයෝග බවට පරිවර්තනය වෙද්දී ගැඹුරු ආත්ම තුවාල වේදනාවන් ඉවසමින් මෙන්ම නොඉවසමින් ද අපි මේ දුරු ගමන යන්නෙමු. සියල්ල අවසානයේ ජරාවට දුකට පත්වෙන නියත දහම පිළිබඳව දැන දැනම අපි නෙක බන්ධනයන්හි වෙළෙන්නෙමු. කුණු කොටස් තිස් දෙකකින් සමන්විත මේ ශරීරය මොහොතින් මොහොත වියපත් වන බව දැන දැනම අපි මේ ශරීරය නෙක ආලවට්ටම්වලින් සරසන්නෙමු. මේ සසරේ කොතැනකදීවත් සසර දුර රුදු වෙහෙස සංසිඳුවා ගන්නට ගිමන් හලක් අපට හමුවීද? එසේ හමුවීනම් මෙතරම් සසර ක්ලේශ පිපාසයක් අපට දැනෙන්නට හැටියක් නැත.
නෙතින් ගැලූ කඳුළින් මිදෙන්නට
හිතේ සුසුම් ගිනි දැල් නිවා
ඔබයි මමයි හැමදා හිඳින්නද
ඉරයි හඳයි මියෙනා තුරා
සංසාර ගිනිදැල් ජීවිතය වරෙක භෂ්මාවශේෂයක් හෝ නොතබා හළු කරයි. සෑම කඳුළක උප්පත්තිය තුළ තෘෂ්ණාවේ යුක්තානුවක් හටගෙන ඇත. මමය මාගේය යන ඇලීමෙන් නොමිදෙන තාක් දෙඇසින් ගලන කඳුළෙහි සමාප්තියක් නැත. අප ඇවිලෙන ගින්නෙහි නිමාවක් නැත. ඉර හඳ පවතින තාක් අප මේ සසර උරුම කරුමයේ සිරකරැවන්ද?
ගමන් මඟක් විමසා බලන්නට
කෙනෙක් නොවී නෙත් මානයේ
ඔබත් මුලාවිය මමත් මුලාවුණු
ඉමක් කොණක් නැති මාවතේ
බුදු පිළි රූ කාක සේවනයේ පහස උදෙසා හන්දි ගානේ ඉදිකර තිබුණත් ඒ මහා දර්ශනයේ හර සාර දෙසා විමුක්තියේ මඟ පෙන්වන්නට ශාස්තෘවරුන් නැත්තටම නැති සැටියකි. දෙවොල් තැනුණත් දෙවියන් මිනිස් වග හැරදමා පලා ගිය සැටියකි. ඉඳින් සසර දුක් නිවාරණය පිණිස මඟ හසර විමසන්නේ කාගෙන්ද? අපි සියල්ලෝම සංසාර අන්නතයක අතරමං වූවෝ නොවේද?
සංසාරය ජීවිතය මෙන්ම ප්‍රේමය ද ඉමක් කොණක් නැති අනන්තයකි... මුලාවකි...
එහෙත් ඒ අන්නතය හා මුලාව තුළම අපි ජීවිතයත් සංසාරයත් ප්‍රේමයත් ප්‍රාර්ථනා කරන්නෙමු.. සොයන්නෙමු. මට මා මුණගැසෙන තෙක් ජීවිතයත් සංසාරයත් ප්‍රේමයත් සොයන්නෙමු.
ගීතයකින් ජීවිතය කියවමු විචාර ලිපි සංග්‍රහය මැයි 04 සෙනසුරාදා සවස 3.30ට ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි ග්‍රන්ථයක් ලෙස එළි දැක්වේ. තරු පැමිණෙන ගී විචාරණ ගී ගයන ඒ හැන්දෑව විඳ ගන්න සහෘද පාඨක ඔබට එන්නයැයි අපි විවෘත ආරාධනාවක් කරමු.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර