නිර්මාණයක් එක්ක ගැඹුරට කිමිදෙන්න... ජීවිතය ගැන චරිකාවක් යන්න... අපිට ගැලපෙන කෙනෙක් හොයාගෙන අපි ගම්පහට ආවා...
අපි හොයාගෙන ආපු සුන්දර මනුස්සයා මාගේ ඇස් ඉදිරිපිට...
හරි මම කියන්නම් ඒ කවුද කියලා...
ඔව් ඔව්.. ඒ ජයලාල් තමා...
ජයලාල් රෝහණ..... එයාගේ නිර්මාණ ගැන... කොටින්ම ඒ චරිතය ගැන.. විශේෂයෙන් කියලා පැහැදිලි කරන්න දෙයක් නෑ.. ඕනෙ කෙනෙක් ජයලාල් රෝහණගේ නම කියූ සැණින් අඳුනනවා... එයා කොයි වගේ කෙනෙක්ද කියලා..
ඉගැන්වීමේ වැඩත් එකක් හිරවෙලා... කලා නිර්මාණත් එක්ක ඔට්ටුවෙන ඔහුට නිදහසේ හිතන්න ඉඩ ඇරලා... මේ දවස්වල ජීවිතේ මොකද වෙන්නේ? කියලා මම හෙමිහිට ඇහුවා..
සාමාන්‍ය විදියට කලාවත් එකක් ජීවිතේ ගෙවෙනවා, අලුත් නාටයක් පටන් ගත්තා... ඒකෙ පුහුණුවීම් තමයි මේ දවස්වල කරන්නෙ... නාට්‍යයේ නම තමයි.. ගැහැණු පිරිමි, මල් පළතුරු.... තව මම සෞන්දර්ය වැඩමුළුවක් කරනවා... කොළඹ සුදර්ශියේ... ඒකනම් කරන්නෙ මාසෙකට එකයි. ප්‍රසිද්ධ නිවාඩු දවසක තමයි කරන්නෙ... විවිධ වෘත්තිකයන් සහ උසස් පෙළ දරැවන් තමයි මේකට මම සහභාගි කරවාගන්නෙ... කියන්න සන්තෝසයි.. දැනටමත් මුළු අවුරුද්දට සාමාජිකයන් බඳවාගෙන අවසාන කරන්න වුණා... සෑහෙන හොඳ ප්‍රතිචාර ඒ වැඩමුළුවට හම්බවෙනවා... ඕවා තමයි ඉතින්...
සරල උත්තරයක්. ඒත් ඒ ඇති.... හරි අපි දැන් ඔන්න මාතෘකාවේ.
ජයලාල් අපේ වැඩේ ටිකක් වෙනස්...
හරි... මම මෙහෙම ඇහුවොත්, ඔයාව ප්‍රකම්පනය කළ, ආශ්වාදයෙන් වෙනම ලෝකයකට අරන් ගිය කලා නිර්මාණයක් ගැන කියන්න කියලා... හැබැයි කොන්දේසි දෙකකට යටත් වෙන්න ඕනේ. ඒක ජයලාල් රෝහණගේ නිර්මාණයක් වෙන්නත් බෑ. ගීතයක් වෙන්නත් බෑ.. ඒ ඇරෙන්න වෙනත් ඕනෑම නිර්මාණයක් ගැන කතා කරමු.
එකඟද?
හොඳයි.. හොඳයි..
මම ආශ්වාදනය කරපු නිර්මාණ ගොන්නක්ම තියෙනවා... ඒවා අතරින්.. මගේ හිතේ තාමත් ජීවමානව තැන්පත් වෙච්ච නිර්මාණයක් තියෙනවා.. ඒක චිත්‍රපටයක්.. ඉස්සර සෝවියට් මිත්‍රත්ව මන්දිරය, ප්‍රංශ මිත්‍රසංගමය, ජර්මන්, ඇමෙරිකන් තානාපති කාර්යලවල ඒ ඒ රටවල්වල අයත් හොඳ චිත්‍රපට ගෙනල්ලා පෙන්නනවා.. අවාසනාවකට වර්තමානයේ එහෙම දෙයක් දකින්න නෑ. මට අවුරුදු දහනමයේදී විස්සෙදි විතර... දවසක් මමයි මගේ පෙම්වතියයි.. දැන් ඇය මගේ ආදරණීය බිරිඳ... සෝවියට මිත්‍රත්ව මණ්ඩලයේ ප්‍රදර්ශනය කරපු චිත්‍රපටයක් බලන්න ගියා... ඒ චිත්‍රපටයේ නම තමයි.. "ද කේර්න්ස් ආ ෆ්ලයින්".. (The Cranes are Flying) ආදරය වස්තු විෂය කරගත් මේ සිනමා පටය අති විශිෂ්ට විදියට නිර්මාණ කරේ රුසියානු ජාතික මයිකල් ක්ලැටෝසොව්... ආදණීය හැඟීම් දැනෙන්න නිර්මාණය වුණු.. මම කැමති චිත්‍රපට අතලොස්ස අතරින්... ප්‍රේමයේ උත්තරීත බව මේ තරම් ගැඹුරට කතා කරපු වෙනත් නිර්මාණයක් නැති තරම්ම මට ඒ හැඟීම මගේ හදවත පසාරු කරන්න තම් ප්‍රබලයි... මුළු ලෝකයේම ඇති සියළු මානව ගුණයන් බිඳ දමන්න තරම් යුද්ධය එහෙමත් නැතිනම් මිනිස් ගැටුම කුරිරු වෙනවාද..? ඒ කුරිරුකම දෙබෑ කරගෙන නැගෙන මානව ආදරය.. හරි අපූරුවට කැමරා කාචය හසුකරගත් නිර්මාණයක් තමයි මේක...
ප්‍රේමය, ගැන තමයි ලෝකය වැඩිපුරම සිනමා කෘති බිහිවෙලා තියෙන්නෙ... ඇයි මේ 1957 බිහිවුණ මේ සිනමා පටය ළඟම ඔබේ හිත නැවතුණේ...?
මිනිත්තු කීපයක නිහැඬියාවකින් පසුව.. ජයලාල්.. මෙහෙම කිව්වා..
මේ චිත්‍රපටය මූලික වෙන්නෙ දෙවන ලෝක යුද්ධයේ පසුබිම් වුණ අහිංසක පෙම්වතුන් දෙදෙනකුගේ ආදරයක්.. චිත්‍රපටය ආරම්භවෙන්නේ මේ පෙම් යුවළ නැව් ජැටියක පෙම්සුව විඳින දර්ශනයකින්... ඒ මොහොතේ... මේ පෙම්වතා පෙන්නනවා අහසේ පියාඹා යන කොක්කු රෑනක්... මේ කොක්කු රෑන පියාඹන්නේ වෙනම හැඩයකට... එකටමයි.. මෙහෙම කාලය ගතවෙද්දී යුද්ධය දරුණුකම හැමෝටම දැනෙන්න ගන්නවා.. පෙම්පතියට පියා පමණයි ඉන්නේ... යුද්ධය දරුණු වුණ නිසා රුසියානු රජය නීතියක් ගෙනාවා සෑම තරුණ පිරිමි පුද්ගලයෙක්ම යුද්ධයට යා යුතුයි කියලා. මේ පෙම්වතාටත් යුද්ධයට යන්න සිද්ධවෙනවා... පෙම්වතා තම පෙම්වතියට කියලා යුද්ධය සඳහා පිටත් වෙනවා... මේ දෙදෙනාගේ පවුලේ සියලුදෙනාටත් කියල තමයි ඔහු යුද්ධය සඳහා පිටවෙන්නෙ... ඒ සියලුදෙනාත් දන්නවා මේ දෙදෙනාගේ අහිංසක ප්‍රේමය... පෙම්වතියගේ ඡායාරූපයක් සාක්කුවේ නිතරම ඔහු තියාගෙන ඉන්නෙ... පෙම්වතා යුද්ධයේදී මිය යනවා. දෙවන ලෝක යුද්ධය හමාරවෙලා ජයග්‍රහණය කරපු රුසියානු හමුදා ආපසු කොච්චියෙන් රුසියාවට පැමිණෙනවා... එම ස්ථානයට, තමන්ගේ සැමියා, පෙම්වතා, දරුවාව බලන්න සියලු දෙනා දුම්රියපොළට පැමිණෙනවා.. ඒ රටේ සිරිත අනුව ඒ අය එන්නේ විශාල මල්පොකුරු අරගෙන... තමන්ගේ සැමියා, පෙම්වතා, දරුවාව පිළිගන්න.. ඒ හරි දීර්ඝ දර්ශනයක්. ඒ අය තමන්ගේ කෙනාව වැළඳගෙන ආදරයෙන් පිළිගන්නවා... ඒ දර්ශනය හරිම හැඟීම්බරයි.. මේ මොහොතේ අර පෙම්වතිය.. කලකට පසු තම පෙම්වතාව දැක බලාගන්න.. දුම්රියපොළට යනවා... ඇය අතේත් විශාල මල්පොකුරක්... ඇය දන්නෙ නෑ තමන්ගේ පෙම්වතා මියගිය බව.. ඒ දවස්වල අන්තර්ජාල, ජංගම දුරකතන නෑනෙ... ඇය හැමතැනම තමන්ගේ පෙම්වතාව සොයනවා.. ඇයට හමුවෙන්නෙ නෑ... නමුත් පෙම්වතාගේ හොඳම යාළුවා... ඇය මුණගැහෙනවා.. ඔහුගෙන් ඇය විමසනවා කෝ මගේ පෙම්වතා කියලා... ඔහු සාක්කුවට අතදාලා යාළුවාගේ පසුම්බිය ඇයට දෙනවා... ඇය ඒ පසුම්බිය දිගඅරිනවා... ඇය දකිනවා පසුම්බිය ඇතුලේ තමන්ගේ ඡායාරූපය. ඇය දැනගන්නවා... සිය පෙම්වතා යුද්ධයේදී මියගිය බව... ඒත් අතේ ලොකු මල්පොකුරක්නෙ... සිය පෙම්වතා පිළිගන්න ගිය ඇය හැමෝටම ප්‍රේමය බෙදනවා අතේ තිබුණු මල් පොකුරෙන් එක එක මල ඇය ප්‍රදානය කරනවා... ඇයගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙනවා... නමුත් ඇය හැමෝටම මල් බෙදනවා... එතනදී ඇයට තමන්ගේ පියා මුණගැහෙනවා... ඔහු ඇයගේ අතින් අල්ලන් යනකොට... එදා වගේම අහසේ අර කොක්කු රූන පියාඹනවා.. The Cranes are Flying සිය පෙම්වතා විතරක් නොවේ මුළු ලෝකයටම යුද්ධයෙන් කරන්නෙ සම්බන්ධ වෙච්ච ගොඩ දෙනෙක් වෙන්කරන එකයි. මේ චිත්‍රපටය බලන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. මොකද චිත්‍රපටයක කතාවක් කියලා ඒ තුළ තිබෙන නියම රසය විඳින්න අමාරුයි... බොහෝම කෙටියෙන් තමයි මම මේ කතාව කිව්වේ. ඒ තිබෙන රූප පෙළ දර්ශනය වෙන ආකාරය දැක්කාම ඇතිවෙන සංවේදී බවක්. ඒ කතාව කිව්වාම ඇතිවෙන්නෙ නෑ. මේ කතාව කියද්දී පවා මාව සංවේදී වෙනවා... අවුරුදු ගානක් මම මේ චිත්‍රපටයේ ඩීවීඩී එක හෙව්වා... අන්තිමේදී මට ඒක ඉතාලියේදී හම්බවුණා...
චිත්‍රපටයේ ඔබේ හදවතට වැදුණ චරිතයක් එහෙම ඇති නේද?
ඔව් මම කැමතිම චරිතය තමයි... පෙම්වතියගේ චරිතය... ඉවසීමෙන් යුතු රංගනයක යෙදෙනවා කියන්නෙ... ලේසි දෙයක් නෙමේ... චරිත කිහිපයක් අතර දෝලනය වෙන තනි භූමිකාවක් ඇය ගොඩනගන්නෙ.. අතිවිශිෂ්ඨ රංගනයක ඇය යෙදෙනවා... හැබැයි අපේ ගොඩ දෙනෙක් හිතන් ඉන්නෙ රඟපානව කියන්නෙ දඟලන එකට කියලා...
මේ නිර්මාණයේ ඉන්න ආදරණීය චරිත වගේ අය ඔබගේ සැබෑ ජීවිතයේදී මුණගැහිලා තියෙනවද?
ඔව් එහෙම තියෙනවා..
ඔහු උත්තරය කෙළින් දුන්නා..
මගේ ආදරණීය ගුරුවරයෙක් වන ෂෙල්ටන් පයාගල මහත්තයා එහෙම චරිතයක් තමයි.. ඔහු 71 කැරුල්ලට සහභාගි වෙච්ච කෙනෙක්... තමන්ගෙ පෙම්වතියව... පරිත්‍යාග කරනවා තමන්ගේම මිතුරට.. හේතුව තමා, ඔහුව සිරගතකරනවා.. 71 කැරුල්ලට සම්බන්ධ වුණ නිසා... තම මිතුරාට කතාකරලා හිරේ ඉඳන් ඔහු මෙහෙම කියනවා... මං දන්නවා අනිවාර්යයෙන් මේ අය මාව මරණවා.. මං වෙනුවෙන් උඹ මගේ කෙල්ලව බාරගනින් කියලා.. මම ඇයට කිසිම කරදරයක් කරලා නෑ... ඒක නෙමේ සංවේදීම කාරණාව.. ෂෙල්ටන් පයාගල මහත්තයාව මරන්නෙ නෑ... අවුරුදු ගානක් හිරේ ඉඳලා ඔහු එළියට එනවා.. ඔහු නැවත වතාවක් තමන්ගෙ පෙම්වතියට මොකද වුණේ කියලා බලන්න උත්සාහ කරනවා.. පෙම්වතිය යාළුවත් එක්ක විවාහ වෙලා... දරුවෙකුත් ඉන්නවා.. ෂෙල්ටන් පයාගල මහත්තයා මුකුත්ම නොකියා... උඹ මට දුන්න පොරොන්දුව ඒ විදියටම ඉෂ්ට කලාට බොහෝම ස්තුතියි කියලා... තම මිත්‍රයාට පමණක් ස්තුති කරලා ආපසු එන්න සැරසෙනකොට.. මිත්‍රයා කියනවා.. ෂෙල්ටන් ඔයා අපිත් එකක් මුළු ජීවිත කාලෙම අපේ ගෙදර ඉන්න කියලා... ඒක කාමුක හැඟීමක් නෙමේ... උතුම් මානව ගුණය... උඹ කරපු දේ හොඳටම ඇති කියලා ෂෙල්ටන් මහත්තයා පිටවෙලා යනවා... මම මගේ ජීවිතයේ දැකපු සුන්දරම ආදරණීය චරිතයක් තමයි.. ඔහු.....
The Cranes are Flying චිත්‍රපටය ඔබ කී වතාවක් දැනට බලලා තියෙනවද?
මම මේ චිත්‍රපටය තිස් වතාවකට වැඩිය බලලා ඇති....
මෙච්චර ලස්සන සංවේදී නිර්මාණයක් ඔබගේ ඇස ගැටුණේ කොහොමද?
ඇත්තටම අහම්බෙන්... කලිනුත් මම කිව්ව විදියට මම මගේ පෙම්වතියයි අහම්බෙන් රැසියන් සෙන්ටර් එකට ගිහින් බලපු චිත්‍රපටයක් තමයි මේක... ඊට දින කිහිපයකට කලින් වසන්ත විට්ටච්චි මට මුණගැහුණු වෙලාවක කිව්වා... ලස්සන චිත්‍රපටයක් අර අහවල් තැන පෙන්නනවා... කෙල්ලත් එකක් ගිහින් බලපන් කියලා... ඒත් අපි යනකන් දැනගෙන හිටියේ නෑ.. මේ ඒ චිත්‍රපටය බව...
මේ චිත්‍රපටයේ අවසාන රූපරාමුවේදී ඔබට ඇති වුණ හැඟීම මොනවගේ එකක්ද?
ඒ අවසාන කොටස මතක්වෙද්දී පවා... මට ඇඩෙනවා... එදා මායි මගේ පෙම්වතියයි චිත්‍රපට ශාලාවෙන් එළියට ආවේ කඳුළු පිරි දෙනෙතෙන්... ඒ මොහොතේ ඇගේ අත තදකරලා අල්ලාගත් අල්ල ගැනිල්ල... තාමත් මම ඇයව අල්ලගෙන...
► Text - Danushka Wijesiri / Pic – Internet