පාස්කු ඉරිදා රට තුළ දේවස්ථාන තුනක් ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලින් කතෝලික බැතිමතුන් ඇතුළු බොහෝ පිරිසක් මිය ගියා. අදටත් සමහරු රෝහල් ගතවයි ඉන්නේ?
ඔව්.. ඇත්තටම ඒ සිදුවීම ගැන මතක් වෙනකොටත් හරි දුකයි. ඒ තරමටම ඒ සිදුවීම හද කම්පා කරවනවා. ඇත්තටම මේ සිදුවීමට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ මේ ආණ්ඩුවයි. මිනිසුන්ගේ ජීවිතවල වටිනාකමක් දන්නේ නැති බහුතරයක් තමයි අද දේශපාලනය කරන්නේ. තමන් ගැන පමණක් හිතන මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරපු මිනිස්සු නිසා අද අපි හැමෝටම උරුම වුණේ ලොකු දුකක්. දේශපාලනඥයින් ඇතුළුව ඉහළ නිලතල දරන නිලධාරින් මිනිසුන්ගේ ජීවිත සුළුවට තමයි හිතුවේ. ඒ නිසා තමයි මෙහෙම වුණේ. ඉතින් මේ සිදුවීමෙන් අදටත් මමත් ඉන්නේ ලොකු දුකකින්. උදේ, හවස, රෑ මම හැමදාමත් ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් යාඥා කරනවා.
ඔබේ ළමා කාලයත් ගෙවුණේ මොරටු පුරවරේ. මොරටුව කියන්නේ කතෝලික මිනිසුන් වැඩි වශයෙන් ජීවත් වුණු පරිසරයක් නේද?
ඔව්.. මම ඉපදුණේ මොරටුවේ. ඒක කතෝලික පරිසරයක් මැද තිබුණු අපේ මහ පල්ලිය තමයි මොරටුව ශුද්ධ වූ සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානය. පුංචි කාලේ ඉඳන් ඒ පල්ලියට තමයි ගියේ. හැබැයි මම මීගමුවෙ ගිහින් පදිංචි වුනාට පස්සේ මමත් කටුවපිටිය පල්ලියට තමයි ගියේ. ඒක හරිම බලගතු ශුද්ධ වූ සෙබස්තියන් ශාන්තූවරයා වැඩසිටිය පල්ලියක්. මට තාම මතකයි මට සිදුවුණු සිදුවීමක්. මම ඒ කාලේ වැඩ කළේ ගොඩනැගිලි සංස්ථාවේ. මම ඒ කාලේ ටිකක් වැඩිපුර මත්පැන් පානය කරපු කෙනෙක්. එක දවසක් උදේ පාන්දර මම වැසිකිළියට ගියපු වෙලාවක ලේ බෝතල් දෙකක් විතර මගෙන් පිටවුණා. ඒ වෙලාවේ මම ගොඩාක් බය වුණා. මම ගෙදර ඉඳන් වැඩට යන්න කලින් කටුවපිටිය පල්ලියට බයිසිකලෙන් ගිහින් ශුද්ධ වූ සෙබස්තියන් මුණිදුන්ට ඉටිපන්දම් පත්තු කරලා යාඥා කරලා ජලය පානය කරලා වැඩට ගියා. විශ්වාස කරන්න එදායින් පස්සේ මට ඒ වගේ සිදුවීමක් සිදු වුණේ නැහැ. ශුද්ධ වූ සෙබස්තියන් මුණිදුන්ගේ පිහිට අපට තිබුණා.
ඔබේ ළමා කාලය ගෙවුණේ කොහොමද?
මම ඉගෙනගත්තෙ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේයි. ඉස්කෝලේදී අපි විනෝදයට සින්දු කිව්වා. අපේ ඉහළ පන්තිවල පැට්‍රික් දෙණිපිටිය, සී.ඩී. ෆොන්සේකා හිටියා. ඉතින් හැමදාම හැන්දෑවට අපි එකතුවෙලා ගිටාර් ගගහා සින්දු කිව්වා. ඉස්කෝලේ විවිධ ප්‍රසංගවලට සහභාගී වුණා. ඒවගේ සුන්දර පාසල් කාලයක් මටත් තිබුණා. ඉස්කෝලෙන් අවසන් වුණාටත් පස්සේ ඒ වගේ කලාවට ළැදි අය එක්ක ආශ්‍රය කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. ඒක ලොකු භාග්‍යයක්. මගේ ඉස්කෝලේ ගුරුතුමා ප්‍රැන්සිස් පෙරේරායි. ඔහු දවසක් “ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා මගේ අම්මාගෙන් අවසර අරගෙන මාව සංගීත ගුරුතුමෙකුට යොමු කළා.
සුනිල් ශාන්ත ගුරුතුමා ඔබේ ජීවිතය වෙනස් කරපු චරිතයක් වුණා නේද?
ඔව්.. මගේ ගුරුතුමා මාව යොමු කළේ සුනිල් ශාන්ත ශූරීන්ගේ සංගීත පාසලටයි. ඒකාලේ ඒ පන්තිය මරදානේ නිවුස්ටන් ස්ටූඩියෝ එක උඩ තමයි තිබුණේ. මම අවුරුදු දෙකාහමාරක් පමණ සුනිල් ශාන්ත ශූරීන්ගෙන් සංගීතය හැදෑරුවා. ඊට පස්සේ මම ගුවන් විදුලි සංස්ථාවට අයදුම්පතක් යොමු කළා. ඒකෙන් මම A “ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස පත්වුණා.
වසර දෙකාහමාරක් සුනිල් ශාන්තයන් යටතේ ඉගෙන ගැනීමේදී ලබපු අත්දැකීම් මොනවාද?
සුනිල් ශාන්ත සින්දු ඉගැන්වූයේ නැහැ. ඔහු ශාස්ත්‍රීය සංගීත තමයි හැදෑරුවේ. ඔහු අපිට රාග ඉගැන්වූයේ. මුලින්ම පන්තියට දෙසීයක් විතර ආවා. හැබැයි සුමානයෙන් සුමානයට කට්ටිය අඩුවෙලා අන්තිමට පන්තියේ මම විතරයි හිටියේ. එතකොට පන්තියෙ අපේ පැමිණීම සලකුණු කළේ අයිවෝ ඩෙනිස්. මාසයකට වරක් අපි දෙන මාසික ගාස්තුව ගන්නේ අයිවෝ ඩෙනිස්. මට තාම මතකයි ඒ කාලේ සුනිල් ශාන්තයන් අපෙන් මාසකට ගන්නේ රුපියල් පහයි. සුනිල් ශාන්තගේ හොඳම ගෝලයා වුණේ අයිවෝ ඩෙනිස්. මගේ සරල ගීත දෙකකට සංගීතය සැපයූවේ සුනිල් ශාන්තයන් “දිදුලන රන්තරු දහසක් ගෙවුණත් ගීතයක් “ගොවියා වෙහෙසෙන්නේ ගීතයෙත් තනු නිර්මාණ කළේ සුනිල් ශාන්ත ශූරීන්. චිත්‍රපටවලට හැරෙන්න වෙන ගායක ගායිකාවන්ට සුනිල් ශාන්ත සින්දු හැදුවේ නැති තරම්. මම දන්න තරමින් එහෙම සින්දු හැදුවේ මටයි, අයිවෝ ඩෙනිස්ටයි විතරයි.
ඔබේ මව්පියන් කලාවට කැමති දෙපලක්ද?
අම්මෝ ඔව්... ඒ දෙන්නා කලාවට හරි ආදරේයි. ටවර් හෝල් එකට එන්න කලින් Indoor Ceylon Club කියලා මරදානේ තිබුණු සංගමයේ තාත්තාත් ඉඳලා තියෙනවා. ඉස්සර නැටුම් නටලා තියෙන්නේ ගෑනු කට්ටිය නෙවෙයි. ඒ ගෑනු චරිතවලටත් පිරිමි අයම තමයි නටලා තියෙන්නේ. මගේ තාත්තාත් එහෙම ඇඳලා නටපු නළුවෙක්. තාත්තාගේ සංදර්ශන බලන්නත් තාත්තා මාව එක්කගෙන ගිහින් තියෙනවා. එතකොට මම ගොඩාක් පොඩියි. ඒ කාලේ ග්‍රැමෆෝන් තැටියට දාපු තනුවට තමයි කට්ටිය නැටුවේ.
ඔබ ආසාවෙන් හිටියේ කලාවට සම්බන්ධ වෙන්නද?
මම පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා. මගේ මුල්ම රස්සාව වුණේ “ඩයස් ගරාජ් එකෙයි. මට තමයි ඒ ගරාජ් එකේ සම්පූර්ණ පාලනය බාර කළේ. ඊට පස්සේ 1971දී ප්‍රේමදාස මහත්තයා මට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ ප්‍රවාහණ කළමනාකරු වශයෙන් රස්සාව දුන්නා. හැබැයි ඔය හැම රැකියාවක්ම කරද්දීත් මම ගායකයෙක් විදිහට රට පුරා යමින් ගීත ගායනා කළා.
අදටත් ඔබේ ගීත බොහෝමයක් ජනප්‍රියයි. ඒ ගීත නිර්මාණ වීම පසුපස අපූරු මතකයනුත් ඇති නේද?
“ඔව්... හා මල් පිපෙන්නේ ඟග ගලන්නේ හඬ නඟා
මැණිකේ නිසයි ගඟ දිලෙන්නේ තවත් හැඩවෙලා
මේ ගීතය මම ගායනා කළේ 1959 අවුරුද්දෙයි. ඒ කියන්නේ අදට ඒ ගීතයට අවුරුදු හැටක් ගතවෙලා තියෙනවා. ඒත් තාමත් ඒ ගීතයට බොහෝ දෙනෙක් කැමතියි. ඒ ගීතය මම ගුවන් විදුලියේ තැටිගත කළේ මගේ සරල ගී වැඩසටහනකයි. ඉන්ටර් නැෂනල් ෆිලිෆිස් ලේබලය යටතේ මුලින්ම ග්‍රැමර්ෆෝන් තැටියත් නිෂ්පාදනය වුණේ ඒ ගීතයක් ඇතුළත් කරලයි.
බෙල්ලෝ විකුණලා ජනප්‍රිය වුණේ කොහොමද?
ඒකත් අපූරු මතකයක් තමයි. මගේ ගීත කිහිපයක් තැටිගත කළත් ඒ ගීත ඒ තරම් ජනප්‍රිය වුණේ නැහැ. ඔය කාලේදී මඩකලපුවේ බෙල්ලෝ කොළඹට ගෙනත් ගෝනිවල දාගෙන ලංකාවේ වටේටම බොහෝ දෙනෙක් බෙල්ලෝ විකුණුවා. ඕකත් මගේ ඔළුවේ තියාගෙන දවසක් මම මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක මොරටුව සල්ගාදු හෝටලයට ගියා. ඒ දෙන්නා තමයි බැසිල් එම්. සිල්වා සහ වර්නත් පෙරේරා කියන්නේ. ඒ කාලේ සල්ගාදු හෝටලයේ හරි රහ මස්කට් කෑලි තියෙනවා. මම මස්කට් කෑලි තුනකුයි, එළකිරි කෝප්ප තුනකුයි ඕඩර් කළා. මස්කට් කෑල්ලක් රුපියලයි. එළකිරි කෝප්පයක් ශත හැත්තෑපහයි. ඔය මස්කට් කෑලි තුනයි එළකිරි කෝප්ප තුනයි කාලා බීලා ඉවරවෙද්දී සින්දුව හදලත් ඉවරයි.
බෙල්ලෝ මුතු බෙල්ලෝ
අපි ගෝනි ගානේ ගත්තා
නංගී පොඩි මල්ලී
අඩුගානේ දෙන්න එනවා
වර්නත් පෙරේරා දාපූ ඒ ගී තනුවෙන් තමයි ගුවන් විදුලියේ ක්‍රිස්ටෝපර් පෝල් කියන ගායකයාගේ නම හැදුණේ. ඒ 1959දීයි.
ඒ ගීතයෙන් පස්සෙත් හරි අහඹු විදිහට ගීත කිහිපයක් නිර්මාණය වුණා නේද?
ඔව්.. එක ගීතයක් ජනප්‍රිය වෙලා බැහැනේ. ඒ නිසා මට තවත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න ඕන වුණා. ඒ කාලේ සිංහල සංගීතය අහනව අඩුයි. වැඩිපුර බටහිර සංගීතය තමයි ඇහුවේ. එල්විස් ප්‍රේස්ලිගේ Wooden Heart ගීතය හරිම ජනප්‍රියයි. මම මේක මගේ යාළුවා බැසිල්ට අහන්න දීලා “ඕකටත් සිංහල වචන ටිකක් දාලා දීපන් මම රෙකෝඩ් කරන්නම්.. කියලා දුන්නා. ටික වේලාවකින් බැසිල්
පෙම් ලොකේ පුරා ඔබ සෙව්වා සුදා
මල්මාලා ගෙනා පළදින්න ගෙලේ මාලා
කියලා ලියලා දුන්නා. ඒකත් ලියවුණේ සල්ගාදු හෝටලේදීම තමයි. ඒකත් හොඳට ජනප්‍රිය වුණා. ඊට පස්සේ මම එතනිනුත් නැවතුනේ නැහැ. බටහිර තනුවකට සිංහල වචන දාලා මුලින්ම ගුවන් විදුලියේ ගීත ගයපු මුල්ම ගායකයා වුණේ මමයි. බොහෝ දෙනා හින්දි තනුවලට ගීත නිර්මාණ කළාට මම බටහිර තනුවලට තමයි වැඩිපුරම ගීත නිර්මාණය කළේ. ඒ හැම ගීතයක්ම අද වෙනකන් ජනප්‍රියයි. බෙන්ගාලී ගීතයක් වුණු කස කස බෝලේ ගීතයට මම වතුර නාලා සින්දුව ගායනා කළා.
වතුර නාලා තෙත කොණ්ඩෙ කඩාලා
ඉනවටේ සුඳට මල් ඉහිරුණු චීත්තේ ඇඳලා
රන් කොතලේ ඔබේ උකුලේ තියාලා
මගේ සුරංගනී කොහේද යන්නේ නිතඹ සලාලා
ඔබේ බිරිද සහ දරුවන් ගැනත් අපි කතා කරමුද?
මගේ බිරිඳ ලිලානි මේ අවුරුද්දට අපි විවාහ වෙලා අවුරුදු පනස් එකක් වෙනවා. අපිට ඉන්නේ දරුවන් තුන්දෙනයි. පුතා චන්දන සම්පත්, ලොකු දුව රෝමනී ශාමනී සහ පොඩි දුව හර්ෂනී ඉඳුනිල්. මගේ දරුවන් තුන්දෙනාටත් සින්දු කියන්න පුළුවන්. හැබැයි විවාහ වුණාට පස්සේ ඒ අය එහෙම සින්දු කිව්වේ නැහැ. දැන් ඉතින් මට වයස අවුරුදු අසූ තුනක් වෙනවා. දැන් දරුවන් සහ මගේ මුණුපුරු මිණිපිරියන්ගේ ආදරෙත් එක්ක සංගීතය රසවිඳිමින් ඉන්නවා. තාමත් මට සින්දු කියන්න පුළුවන්. තාමත් මම සංගීත ප්‍රසංගවලට සහභාගී වෙනවා.
► Text - Dishani / Pic - Sumudu