පිනි බින්දුවකට ආදරය කරන්න පුළුවන් අපට මහා වැස්සක් වහිනකම් විතරක්ද? මහා වැස්සක් තරම් සිහිල් අංශුමාත්‍රයක් දෙන්න පිනි බින්දුවකට නොහැකි වුණත් විනිවිද පෙනෙන ඒ වීදුරැ පැහැ පිනි බින්දුවට මම මහා වැස්සකට තරම්ම ආදරෙයි... අහසේ ඉඳන් ඇවිත් නොබිදී ඉන්න හැකි ඒ පිනි බින්දුව ඊළඟ ක්ෂණයේ පිනි බින්දුව කියන හැඩයෙන් වෙනස් වුණු දිය අල්පමාත්‍රයක් විතරයි. පටචාරාව නිර්වාණය කියන භව විමුක්තිය ළඟාකර ගත්තේ වතුර පොදක් මහා පොළොවට උරාගෙන එය ක්ෂය වී යන සත්තාව දෙස බලාගෙන. මේ සොබාදහමම නිර්වාණයක්... නිර්වාණය මුණගැසෙන්නේ ධර්මය තුළ පමණක් නෙවෙයි... සොබාදහම සහ සංගීතය කියන මහා මැවුම තුළත් නිර්වාණය මුණගැසෙනවා... ඔබට සොබාදහම කියන මහා කවියේ පද එකින් එක ලිහා අරුත් පසිඳින්න හැකිනම්... සංගීතය තුළ විදසුනකට දැහැන්ගත විය හැකිනම්...
අසීමිත සහ අනන්ත විෂයක් ලෝකයේ තියෙනවනම් ඒත් ඒ සොබාදහම සහ සංගීතය විතරයි... අනිත් හැම විෂයකම ඒ ඒ විෂයට අදාළ විෂය ක්ෂේත්‍රයක් තියෙනවා. සිද්ධාන්ත තියෙනවා. ඒත් සොබාදහම සහ සංගීතය කොන්දේසි විරහිත මහා කියවීමක්... දාර්ශනික මැවීම් අසංඛ්‍යක කෙළවරක් මිස අවසානයක් නැති මහා වේදයක්... එක තත්ත්පරයක් තුළ මේ විශ්වයම නාද රටා සියක් දහසක් තුළ ඊළඟ මොහොතේ ජීවත්වීම වෙනුවෙන් හුස්මක් ගන්නවා. මේ විශ්වයේ රිද්මය බැඳී තියෙන්නේ සොබාදහම සහ සංගීතය එක්ක කියලා මට හිතෙනවා... ගහක සැලෙන පත්‍රයක් පවා උපද්දවන්නේ රිද්මයක්... වැස්සක් හුළඟක් එන්නේ රිද්මයක් එක්ක... කළුවර කියන්නේ මහා භාග්‍යවන්ත ගීතයක්... සොබාදහම හැම රසයක් ඔස්සේම අවසානයේ තෑගි කරන්නේ සාමිස රසාස්වාදයක් නෙවෙයි... නිරාමිස රසාස්වාදයක්.
නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට... ඒ තමයි සොබාදහමේ ගීතිකාව... සොබාදහම අපෙන් ඉල්ලන්නේ ආදරය විතරයි... සොබාදහම බෝධිසත්ත්ව ගුණ අපට කියා දෙන්නේ දෙන සියල්ලක් වෙනුවෙන් අන් කිසිවක්ම නොඉල්ලමින් ආදරය විතරක් ඉල්ලන්නේ ඒකයි... ඒ ආදරය හරි ආධ්‍යාත්මිකයි... ඔබ සුරකිනු පිණිස මා රැකගන්න... සොබාදහම ඒ ආදරය ඉල්ලන්නෙත් නැවත ඔබටම ආදරය පිරිනමනු රිසින්...
එහෙම ආදරයක් ඔයාට ලෝකයේ වෙන කොතැනකදීවත් මුණගැසී තියෙනවද?
එහෙම ආදරයක් ස්වභාව ධර්මයේ හැර දෙවියන් ළඟවත් නෑ...
දෙවියන් දෙයක් දෙන්නෙත් අයැදුමකින් පසුවයි. පුද පඬුරු පූජා වට්ටි පූජා කළ ඉනික්බිතිවයි. නොඉල්ලා කිසිවක්ම දෙවියන් දුන්නද කිසිවක්! මම විශ්වාස කරන්නේ ස්වභාවධර්මය කියන මහා දාර්ශනික මුනිවරයාට විතරයි. ආදරයට ඒ වගේ මහරුත් දෙන්න පුළුවන්.
සොබාදහම කියන්නේ අපිරිමිත කලාවක්.... ඒ වගේම මහා ආගමක්.... මහා ආඛ්‍යානයක්... විරල සංස්කෘතියක්....
ගහක ඉපදෙන කොළයක් අතු මතින් ගිලිහී පොළවට වැටෙද්දී තිඹිරිගෙයි සිට සුසානය දක්වා අප යා යුතු ගමන අපට මතක් කර දෙනවා. ඒත් තවත් කොළ ලක්ෂ ගණනක් උපද්දවන්න ඒ ගස තමන් අතහැර යන හැම පත්‍රයකටම නටුවකටම සමුදෙමින් අකම්පිතව බලා හිඳිනවා.
මල් ගසක ඉපදෙන මලක් මහා ආයු කාලයක් ලෝකයේ ජීවත්වෙන්න නෙවෙයි නටු අග පිපෙන්නේ. ඒත් ඒ ජීවත්වන කාලය හරි සොඳුරුයි... හරි සුවඳයි... ඇය සොබාදහමේ හැම ජීවී තුඩකම අයිතිකාරියක්... ඒ කුසුම නටුව අතර මිලිනව ගියත් ඒ ගස හඬා වැටෙන්නේ නෑ... තවත් මලකට මාතෘත්වය දෙන්න ඒ ගස තවත් කාලයක් ජීවත් වෙනවා.
සොබාදහම ජීවන සත්තාවන් ගැන කියාදෙන්නෙ වචනවලින් නෙවෙයි. ස්වරයෙන්... සංධ්වනියෙන් සහ සංසිද්ධියෙන්...
ඒ ආගම ඔබ අදහන්න
ඒ දර්ශනය ඔබ අධ්‍යනය කරන්න
ඒ භාග්‍යවන්ත ගීතිකාව ඔබ කියවන්න
ඒ ආදරය ඔබ විඳින්න
ඒ විදසුන ඔබ වඩන්න
ඒ නිර්වාණය ඔබ දකින්න.....