2019 මැයි 18 වන සෙනසුරාදා

බොදු ගී ලියූ-ගැයූ මුස්ලිම් සහෝදරයෝ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 294

සම්බුදු වෙසක් තෙමඟුල සැමරෙන මෙවන් පින්බර වෙසක් සමය තුළ තරම් බොදු බැති ගී අපේ සවනට වැකෙන වෙනත් කාලයක් නැති තරම්ය. අද අපේ අවධානය යොමුවන්නේ දේශීය කලාවට සුවිශාල වෙහෙවරක් ඉටුකර ඇති මුස්ලිම් ජාතික කලාශිල්පීන් හා ශිල්පිනියන් විසින් අපේ බොදු ගීතයට ලබාදී තිබෙන සුවිශේෂී දායකත්වය ගැනය. 

අතීතයේ අප රටේ බොහෝ බුදුගුණ ගැයුවේ අබෞද්ධ වූ ලාංකිකයෝය. ඔවුන් ඒ ගීත ගායනා කළේ හදපිරි භක්තියෙනි. ඒ තුළින් අප රටේ ජාතීන් අතර සුහදත්වයේ හා සහෝදරත්වයේ පාලමක් ගොඩනගන්නට ඔවුනට හැකියාව ලැබුණි.
එදා ග්‍රැමෆෝන් තැටියට සිය හඬ මුසු කරමින් අහමඩ් මොහිදීන් ගායනා කළ “තිලෝනා සෑසි මුණි ගෞතම ස්වාමී, “සිළුමිණ සෑය වඳිම් රම්‍ය තව්තිසා භවනේ. අදටත් ජනප්‍රියව පවතී.

ඔහු මෙන්ම ඒ.ආර්.ඇම්. ඉබ්‍රාහිම් ද ග්‍රැමෆෝන් යුගයේ බොදු ගී රැසක් ගායනා කළේය. “සාධු සිරිපා ශ්‍රී මුනිඳුගේ, “දැහැමින් දිනු මේ ජීවිතේ - දුක සදනා භවේ. වැනි බොදු ගී රැසක් ගායනා කළ ඒ.ජේ. කරීම්ගේ නාමය ද අපට අමතක නොවේ.
සිංහල සිනමා වංශ කතාවේ දෙවන කතානාද චිත්‍රපටය වූ “අශෝකමාලා ප්‍රදර්ශනය වූයේ 1947 අප්‍රේල් මස 9 වන දිනය. එහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ මොහමඩ් ගවුස්ය. ගවුස් මාස්ටර් එම චිත්‍රපටය තුළින් සිනමාවට හඳුන්වා දුන් තරුණ ගායකයින් දෙදෙනකු පසු කලෙක අප සංගීත කේෂත්‍රයේ දැවැන්තයින් බවට පත්වූහ. ඒ අන් කවරෙකු නොව ඩබ්.බී. අමරදේවයන් සහ අල්හාජ් මොහිදීන් බෙග්ය.
“අශෝකමාලා චිත්‍රපටයට අමරදේව ශූරීන් සඳහා ගවුස් මාස්ටර් මෙම බොදු ගීයද නිර්මාණය කළේය.

“භවේ භීත හැර දේශිත තිලෝනා
ධර්මේ රසේ - තෘෂ්ණ ජාලේ
මායා ලෝකේ.

මුස්ලිම් කාන්තාවන් වූ නෝනා සුබෙයිදා හා ජී.එස්.බී. රාණිද බොදු ගීත ගායනාකොට ඇත. නෝනා සුබෙයිදා ගායනා කළ “බුද්ධගයාව බේරා රක්ෂා කරමි නැමැති ගීතය ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ බොදු ව්‍යාපාර කටයුතු සඳහා ද භාවිතාකොට ඇති බව ප්‍රකටය. 

මොහමඩ් ගවුස් හැරුණු කොට ලතීෆ් බායි, ටී.එෆ්. ලතීෆ්, මොහමඩ් සාලි, ස්ටැන්ලි ඕමාර් වැනි සංගීත ශිල්පීන්ගේ නොමඳ දායකත්වයක් බොදු ගීතයට ලැබී තිබේ.
අල්හාර් මොහිදීන් බෙග් හා බොදු බැති ගී අතර පවතින්නේ ඉතාම සමීප සම්බන්ධතාවයකි. වැඩිම සිංහල බොදු ගීත ගායන කර ඇති බවට සඳහන් මොහිදීන් බෙග්ගේ බොදු ගී නාමාවලිය දිගු එකක්.
එයින් ප්‍රධාන වශයෙන් ඔහු “අංගුලිමාල චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ “බුධං සරණං ගච්ඡාමී ගීතය මනුෂ්‍යත්වය පවත්නා තාක්කල් නොනැසී පවතින නිර්මාණයකි.

“මෛත්‍රී කරුණා දූෂිත වී
ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිතවී
හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවිදෝ
ඝෝර විෂැති නයි පොළඟුන් වන්
මිනිසුන් මිතුරු වෙසින් එයි නම්
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමී

සුළං කුරුල්ලෝ, මගේ නාමලී වැනි ගීත හරහා සිංහල සංගීත කේෂ්ත්‍රයේ නොමැකෙන නමක් සටහන් කළ හරෑන් ලන්ත්‍රාගේ මුල්ම සරල ගීතය බෞද්ධාගමික මුහුණුවරයක් ගෙන තිබීම සුවිශේෂී කාරණයකි.
1957 දී ඔහු ගායනා කළ “ලොවේ සැමදා තණ්හා ආශාව සාදා නම්වූ එම ගීතය අදටත් ජනප්‍රියව පවතින්නකි.

අද වනවිට නව බොදු බැති ගී නිර්මාණය නොවන තරම්ය. එහෙත් අප පරපුරේ තවත් දක්ෂ මුස්ලිම් ගීත රචකයෙකු වන නිලාර් එන්. කාසිම් විසින් සජාද් හසන් වෙනුවෙන් බොදු ගීයක් ලියා ඇත.

“සිල් සුවඳයි ස්වාමිනේ
මල් ආසනයම - ඒ තරමට
සුවඳ නැද්ද මේ මුලු ලෝකෙම

නව පරපුරේ තවත් ප්‍රතිභාපූර්ණ කිවිඳියක හා ගී පද රචිකාවියක වන ශමිලා හුසේන් අතින් බොදු ගීතයක් ලියා නොමැති වුවත් වර්තමානයේ ජාතීන් අතර පවතින අවසානාවන්ත විශ්වාසය බිඳීයාමේ තර්ජනය පාදකකොට ගෙන ඇය ලියූ පුංචි කවියකින් මෙම ලිපිය අවසන් කරන්නට අදහස් කළෙමි.

“කොයි තරම් ඇතිද අපි වගේ පෙම්වත්තු
පන්සලක් පල්ලියක් යා කරපු
වෛරයෙන් අන්ධව මහ නරුම පුත්තු
සුණුවිසුණු කළේ මේ පෙම් කතා වස්තු

 

► Text - Ramesh Uvais  /   Pic -  Internet