භූමින්ද එංගලන්තයේ ජීවත් වුණාට අපේ රටේ කලාවේදීන් එක්ක බොහෝ සමීපයි. කොහොමද එහෙම පසුබිමක් නිර්මාණය කරගත්තේ?
ඔව්... මම දැන් එංගලන්තයේ පදිංචි වෙලා අවුරුදු විසිහතරක් විතර වෙනවා. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විදුහලේ. පාසල් ජීවිතේදීත් මම බොහෝ කලා කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කළා. ඉතින්.. එංගලන්තයට ගිහින් මුලින්ම ලංකා ගුවන් විදුලි නාළිකාවක වැඩ කළා.. ඒකේදී මම හැම සතියකම පැයක වැඩසටහනක් කළා. පාසල් යන කාලේදීත් මම ආනන්දයේදී සංගීතයට යම් දුරකට නැඹුරැවෙලා වැඩ කළා. ඉතින් ගුවන් විදුලි නළිකාවේ වැඩ කරද්දී ලංකාවේ කලාවේදීන් ගෙන්වලා අපි එංගලන්තයේදී වැඩසටහන් කළා.
භූමින්ද ඔබ ලංකාවේ ජනප්‍රිය කලාවේදීන්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංග එංගලන්තයේදී සංවිධාන කළා... ඒ ආරම්භය ගැන කතා කළොත්?
මම මුලින්ම 2006 දී භාතිය සන්තුෂ්ගේ ලොකු ප්‍රසංගයක් එංගලන්තයේදී සංවිධානය කළා. ඒකේ ගොඩාක් දේවල් මම තනියම තමයි කළේ. හැබැයි ඒක එංගලන්තයේ මිනිසුන් අතරේ ලොකු කතා බහක් වුණා..
එංගලන්තයේදී එකතුවුණු ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගත්තු ආදී ශිෂ්‍යයන්ගේ සංගමයක් තියෙනවා. මම ඒකට බැඳිලා ඔවුන් එක්ක ලංකාවේ කලාවේදීන් එංගලන්තයට ගෙන්වලා ප්‍රසංග පැවැත්වූවා. මට මතකයි ආනන්දේ අපි සංවිධානය කරපු වික්ටර් රත්නායකයන්ගේ “ස ප්‍රසංගය, සුනිල් එදිරිසිංහයන්ගේ “සඳකඩ පහන ප්‍රසංගය වැනි සංස්කෘතික වටිනාකමකින් යුක්ත ප්‍රසංග හැම අවුරුද්දකම වගේ කළා. එංගලන්තය වැනි රටක අපේ සංස්කෘතික ප්‍රසංග කෙරෙනවා හරිම අඩුයි. එහේ Dinner Dance සංස්කෘතියක් තමයි වැඩිපුරම තියෙන්නේ. ශ්‍රී ලාංකිකයින්ගේ ආදි ශිෂ්‍ය සංගම් හතළිස් ගාණක් විතර ඒ රටේ තියෙනවා. එයින් එංගලන්තයේදී සිංහල අලුත් අවුරුදු උත්සවයක් කරන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් විතරයි. අනිත් හැම සංගමයක්ම වගේ Dinner Dance තමයි කරන්නේ.
ඔබ ඒ සංගමයේදී නිල තලයක් දැරුවද?
ඔව්... ගිය අවුරුදු දෙකේදී මම ඒ සංගමයේ සභාපති වුණා. හැම අවුරුද්දෙම අපි ඒ රටේ අවුරුදු උත්සවයක් පවත්වනවා. 2017 අවුරුද්දේදී මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයත් අපිත් එක්ක එකතුවෙලා අවුරුදු උත්සවයක් කළා. එක්ත් ඉතා සාර්ථක වුණා. ගිය පාර අවුරුදු උත්සවයට අපි පාසල් හයක ආදි ශිෂ්‍ය සංගම් හයක් සම්බන්ධ කර ගත්තා. ඒ අනුව කොළඹ මියුසියස්, මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාව, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, මහනුවර උසස් බාලිකා, මහනුවර මහමායා විද්‍යාලයයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. ඒ අවුරුදු උත්සවය බලන්න විශාල සෙනඟක් ඇවිත් හිටියා. ශ්‍රී ලාංකිකයින් පවා එංගලන්තයේ Dinner Dance සංවිධානය කරන කාලෙක අලුත් අවුරුද්දක් කරනවා කියන්නේ හොඳ දෙයක්.
එංගලන්තයේදීත් භූමින්ද සංගීතයට නැඹුරු වුණාද..?
ඔව්... කොළඹ ආනන්ද විද්‍යාලයෙන් පසුව මම කලායතනයේත් සංගීතය යම්තාක් දුරකට හැදෑරුවා. ඒ අතරේ මට කලාවේදීන් බොහෝ දෙනෙක් ආශ්‍රය කරන්න අවස්ථාව ලැබුණා. සුරේෂ් මාලියද්ද වැනි අය ළඟින්ම ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ගායනය කිරීමට යම්තාක් දුරට හැකියාව තියෙනවා මට. මම ඒ දේවල් දියුණු කරගෙන යනවා. මේ වෙනකොට මම ගීත තුනක් කරලා තියෙනවා. ඒ තුනටම සංගීතය සැපයූවේ සුරේෂ්, පසුගිය කාලයේදී මම ලංකාවට ආවා. ඒ දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර ලියූ ගීතයක් වෙනුවෙනුයි.
භූමින්ද කොහොමද එංගලන්ත ජීවිතය?
මම මුලින්ම එංගලන්තයට ගියේ 1994 අවුරුද්දේ. මම විවාහවෙලා තමයි එංගලන්තයට ගියේ. අපිට දැන් දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසුව දැන් එංගලන්තයේ රැකියාවක් කරනවා. දෙවැනි දුව ජනමාධ්‍ය කරන්නේ. Media වගේම Film Marking හදාරනවා. එයා මෑතකදී කෙටි චිත්‍රපටයක් කළා. ඒකෙදී මමත් රඟපෑවා. දුවගේ විශ්වවිද්‍යාලයේ ව්‍යාපෘතියකට තමයි ඒක කළේ. ඒ කෙටි චිත්‍රපටයට හොඳ ඇගයීමක් දුවට ලැබුණා. තිර රචනය, අධ්‍යක්ෂණය වාගේම සංස්කරණ කටයුතුත් කළේ දුව. බාල දුව විශ්වවිද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා.
භූමින්ද එංගලන්තයේදී නාට්‍ය පෙන්වනවා කියලත් ආරංචියි?
ඔව්.. එංගලන්තයේ ගාමිණී අබේසිංහ කලාවේදියා ජීවත් වෙනවා. ඔහුගේ බිරිඳ ඒ රටේ නැටුම් උගන්වනවා. මගේ දරුවන් තුන්දෙනාත් ඇයගෙන් නැටුම් ඉගෙන ගත්තා. ගාමිණි අංකල් එංගලන්තයේ අපේ රටේ වේදිකා නාට්‍ය ඒහේදීත් පෙන්වනවා. ආර්.ආර්. සමරකෝන් මහතාගේ “කැලණි පාලම වේදිකා නාට්‍යය ඒ රටේ ජීවත් වන අයත් එක්ක ගාමිණි අංකල් නිර්මාණය කරනවා. ඒකෙදී මම රූපවාහිනියේ මහත්තයා වුණ “මාටින්ගේ චරිතය රඟපානවා. ගිය අවුරුද්දේ අපි දර්ශන හතරක් විතර පෙන්නුවා. ගාමිණි අංකල් අපිට ඒක හොඳටම පුරුදු කළා. කලාවත් එක්කම එහේ ජීවත් වෙනවා.
භූමින්දගේ දරුවන් එවැනි නිර්මාණ කටයුතුවලට දායක වෙන්න කැමැත්තක් නැද්ද?
දරැවන් තුන්දෙනාම ඉපදුණේ යුරෝපයේ. ඉතින් ඒ නිසා අපේ දේවල් සියයට සියයක්ම එයාලාට දෙන්න අමාරුයි. ආනන්දයේ අවුරුදු උත්සවයේදී මගේ දරුවන් නාට්‍ය කළා. ඒ තුන්දෙනාම උඩරට නැටුම් ඉගෙන ගත්තා. බෙර වාදනය ඉගෙන ගත්තා. හැබැයි කාලයක් එක්කම ඒ දේවල්වලට පූර්ණ කාලීනව ඒවාට කැප වෙලා නැහැ. යුරෝපීය සංස්කෘතියට අනුව අවුරුදු දහඅටෙන් පසුව ඒ අයට ගෙදරින් යන්න අවසරය තියෙනවා. දැනට ඒ අය අපිත් එක්ක තමයි ඉන්නේ. තව කාලයක් ගියාට පස්සේ සමහරවිට අපි ලංකාවේ ස්ථිර පදිංචියට ඒවි. හැබැයි දරුවන් ලංකාවේ පදිංචි වේවිද කියලා ස්ථිරවම කියන්න බැහැ. යුරෝපීය රටවල ජීවත් වුණාට අපි ආදරේ කරන්නේ අපේ ලංකාවටම තමයි.
► Text - Dishani / Pic - Sumudu