2019 මැයි 25 වන සෙනසුරාදා

පුංචි රේඩියෝව තිබුණෙ මගේ කන අස්සේ

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:31 118

- නවරත්න ගමගේ

මේ දිනවල ඔබ මොකද කරන්නේ?
මේ දිනවල මම රෙජිනෝල්ඩ් ජයමාන්නගේ අලුත් ටෙලිනාට්‍යයක වැඩ කරනවා. ඊට අමතරව ශ්‍රියානි අමරසේන නිෂ්පාදනය කරන චිත්‍රපටයකත් සංගීත අධ්‍යක්ෂණය කරලා පසුගියදා අවසන් වුණා. තවත් චිත්‍රපටයකටත් ආරාධනා කරලා තිබෙනවා. ඒ වගේම ජයලත් මනෝරත්න මහතාගේ “වන ලැහැබ කියන වේදිකා නාට්‍යයේ ගීත නිර්මාණය කිරීමේ කටයුතුවල නියැලිලා ඉන්නවා.

අද ජනාකීර්ණ නගරයක් වුණු නුගේගොඩ ප්‍රදේශයේදී තමයි ඔබේ ජීවිතය ආරම්භ වෙන්නේ?
ඔව්.. එදාට වඩා අද මේ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන්නේ. ඇත්තටම ඒ දේවල් දකිද්දී දුකක් ඇතිවෙන්නේ. එදා තිබුණු සංස්කෘතික පරිසරය අද විනාශ වෙමින් පවතිනවා. අපි විදෙස් රටකට ගියාම ඒ රටවල්වල සංස්කෘතික පරිසරය විනාශ වෙලා නැහැ. හැබැයි ඒ රටවල් සංවර්ධනය වෙලා තියෙනවා. එදා අපි නිතර දැක්කේ සුභද්‍රාරාම විහාරය, නුගේගොඩ විජේරාම විහාරය, රත්තනපිටියේ ස්වාමීන් වහන්සේලා බණ භාවනා කරන කුටියක් තමයි අපි එදා දැක්කේ. වෙළවල් ආශ්‍රිත තිබුණු අපූරු පරිසරයක් අපිට එදා තිබුණා.. අපි ඒ වෙල්යායවල්වල, පොල් පිට්ටනිවල, වැලි පාරවල්වල දුව පනිමින් සෙල්ලම් කළා. අද ඒ වැලි පාරවල් කිසිම ප්‍රමිතියකින් තොරව තමයි සංවර්ධනය කරලා තියෙන්නේ. මම වැඩිපුරම ජීවත් වුණේ ගංගොඩවිල, නුගේගොඩ, කෝට්ටේ කියන පරිසරවලයි. පුස්තකාලවලට ගියේ, ඇවිදින්න ගියේ, යාළුවන් මුණගැහුණේත් ඒ පරිසර තුළයි. එදා ලස්සනට තිබුණු තැන් අද සංවර්ධනය නිසා විනාශ වෙලා.

ඔබේ පවුලේ විස්තර ටිකක් කිව්වොත්?
මම පවුලේ වැඩිමලා.. අද මගේ අම්මයි, තාත්තායි දෙන්නම ජීවතුන් අතරේ නැහැ. මගේ අම්මගේ නම එම්.ටී. සීලවතී, තාත්තා විල්සන්. මගේ අම්මා ගෘහණියක් විදිහට කටයුතු කළා. තාත්තා තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. මට මල්ලිලා තුන්දෙනකුයි නංගිලා දෙන්නෙකුයි ඉන්නවා.

පාසල් අධ්‍යාපනය ලැබුවේ කොහේද..?
මම මුලින්ම ඉගෙන ගත්තේ නුගේගොඩ ශ්‍රී රේවත මහ විද්‍යාලයෙන්. ඉන්පසුව සුභද්‍රාරාමයේ පිරිවෙන් අධ්‍යාපනය ලැබුවා. පාසලේදී මා තුළ හොඳ රසිකත්වයක් තිබුණා. ඒ කුඩා කාලයේ තිබුණු රසිකත්වය තමයි අදටත් මා තුළ තියෙන්නේ. පාසලේදී අපිට ධර්මදාස කියලා ගුරුතුමෙක් හිටියා. ඔහු ඉතා විශ්ෂ්ඨතම ගුරුවරයෙක් කියලා අද මට දැනෙනවා. මට මතකයි මහාචාර්ය සෙනරත් පරණවිතාරන මහත්තයාගේ දේහය බලන්න අපිව කලාගාරයට එක්කගෙන ගියා. 
දේහය බලලා මම ඒ ජෝන් ද සිල්වා රඟහලේ ටිකක් ඇවිද්දා. කලාගාරයේ තිබුණු චිත්‍ර මගේ ඇස ගැටුණා. අර මරණයත් එක්ක ඇස්වල ගැටුණු ඒ අපූරු චිත්‍ර මගේ හිතට අපූරු හැඟීමක් ඇති කළා. මගේ ජීවිතයට සම්බන්ධ නැති මේ රටට සේවය කෙනෙක් මියගිය පසු දේහය බලන්න මට පුරුද්දක් ඇතිවෙලා තියෙනවා. ඒ මියගිය කෙනා මාත් එක්ක කවදාවත් කතා කරලා නොතිබෙන්න ඇති. නමුත් ඒ හැඟීම මට දැනෙනවා. මාත් එක්ක ඉගෙනගත්තු කෙනෙක් තමයි විජේදාස රාජපක්ෂ. අපි දෙන්නා එක පන්තියේ ළඟම පුටු දෙකේ ඉගෙන ගත්තේ. ඔහු ඒ කාලේ ඉඳන්ම නීතිමය දේවල්වලට තමයි කැමති. මම ගීත ගායනා කළා. තවත් මට යාළුවෝ පිරිසක් හිටියා. ඇත්තටම පරිසර වටපිටාවත් එක්ක අපි හරි දුප්පත්. හැබැයි අපි අපේ අරමුණුවලට කෙසේ හෝ අවසානයේදී ගමන් කළා.

ඔබේ වැඩිපුරම කැමැත්ත තිබුණේ සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න?
ඔව්.. සංගීතයට වගේම සමස්ත කලාවේම ආසාව මට තිබුණා. චිත්‍ර ඇඳීම, පොතපත කියවීම, නිර්මාණ කියවීම වැනි කැමති තැන් බොහෝමයක් මගේ ජීවිතේ තිබුණා. සාහිත්‍ය පොතපත කියවීම වගේම හැමදේටම මට කුතුහලයක් තිබුණා. අපේ ගෙදර පොඩි රේඩියෝවක් තිබුණා. මේ කුඩා රේඩියෝව මාව සංගීතයට යොමු කරවන්න විශාල බලපෑමක් කළා. ඒ වගේම නුගේගොඩ ලැවැනියා සිනමාහලත් මගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් වුණා. මම කුඩා කල සිටම නුගේගොඩ ලැවැනියා සිනමා ශාලාවේ චිත්‍රපට බැලුවා. ඒකේ පෙන්නපු ඉංග්‍රීසි, දෙමළ, සිංහල, චිත්‍රපට සියල්ලම මම පුරුද්දක් විදිහට බැලුවා. ඒ චිත්‍රපටවල තිබුණු සංගීතය මාව පුදුම කළා. 

විවේකීව ගෙදර ඉන්න වෙලාවට මම අර කුඩා රේඩියොව කන ළඟ තියාගෙන තමයි ඉන්නේ. ඒ රේඩියෝවෙන් මම නොඅසන දෙයක් නැති තරම්. සාහිත්‍ය සාකච්ඡා, ලෝකයේ ජන සංගීතය පිළිබඳ මම ඇහුවා. අදටත් මගේ ඒ පුරුද්ද තියෙනවා. පොතක් දොරට වඩිනවා නම් මම ඒකට යනවා. පින්කමක් තිබ්බොත් මම ඒකට යනවා. පිරිත් ගෙදරකට, මළ ගෙදරකට වගේම කවුරුහරි අසනීපවෙලා කියලා දැනගත්තොත් කොච්චර අවිවේකී වුණත් මම කොහොමහරි එතනට යනවා. නැත්නම් ඒක මගේ ඔළුවට වදයක් වෙනවා. මම හැදුණේ දෙමළ, මුස්ලිම්, සිංහල මිනිස්සු එකට ජීවත් වුණු පරිසරයක. ගිය සතියේ මගේ මුස්ලිම් යාළුවෙක් අවුරුදු පහළොවකට පස්සේ මට කතා කළාම ඔහු හිතුවේ නැහැ මම කතා කරවී කියලා.. ඔහු පුදුමයට පත්වුණා. ඒ කාලේ ඔහුත් එක්ක තමයි මම චිත්‍රපට බැලුවේ.   

ඔබේ මුල්ම රැකියාව වුණේ සංගීතය නෙවෙයි නේද?
නැහැ.. උසස් අධ්‍යාපනයෙන් පසුව මාම කොළඹ කොමර්ෂල් ඉංජිනේරැ ආයතනයේ සේවයට බැඳුණා. ඒකේදී ප්‍රධානම අරමුණ වූයේ විදේශ ගතවන්නටයි. එතනදීත් කුඩා කල මගේ තිබුණු කුතුහලය ආයතනයේ මිනිසුන් අතරේදී ඔපමට්ටම් වුණා. එතකොට මම නාට්‍යවල වැඩ කරනවා. ඒ නිසා වැඩපළේ අයට මම වීරයෙක් වුණා. හැමදෙයක් ගැනම ලොකු දැනුම්වත් භාවයක් පෙන්නුවා. අලුත් සින්දුවක් ආපු ගමන් ආයතනයේ සේවකයෝ ඒ ගැන ඇහුවේ මගෙන්. මම මුලින්ම පැපිලියාන පුස්තකාලයේත්, ඊළඟට නුගේගොඩ පුස්තකාල‍යෙනුත්, අවසානයේදී කොළඹ මහජන පුස්තකාලයේනුත් පොතපත කියෙව්වා. කොළඹ මහජන පුස්තකාලයෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. දේශනවලට සවන් දුන්නා.

රටේ දැවැන්ත නිර්මාණවේදීන් ඇසුරේ සංගීතය හදාරන්න ඔබට ඉඩහසර ලැබුණා නේද?
ඔව්.. අමරදේව මාස්ටර්, ප්‍රේමසිරි කේමදාසය, සෝමලතා සුභසිංහ, නන්දා මාලනී වැනි දැවැන්තයින් එක්ක මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා. නාඩගම් ගී සංගීතයට මට “B” ශ්‍රේණියක් තිබුණා. ඒ නිසා මට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, ලෝමහංස වැනි නාට්‍ය සියල්ලටම මාව ගායනයට තෝරාගත්තා. සෝමලතා සුභසිංහ මහත්මියත් මාව ඇයගේ නිර්මාණවලට තෝරාගත්තා. අමරදේව සර්ගේ ප්‍රධාන ගෝලයෙක් වීමෙන් පසුව සර්ගේ ගායනාවලට මාව යොදාගත්තා. හැබැයි ඒ කිසිම මොහොතක සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන සිහිනයක් මට තිබුණේ නැහැ. ඒ වනතුරුත් මගේ හීනය වුණේ විදෙස්ගතවන්නටයි. 
හැබැයි මගේ සංගීතයත් එක්ක මට එකින් එක ආරාධනා එන්න පටන් ගත්තා. ඒ හරහා මාව වේදිකා නාට්‍යය, ටෙලිනාට්‍ය වගේම චිත්‍රපටවලටත් තෝරාගත්තා. ඒ හැමදෙනෙක් එක්කම මම වැඩ කළා. ඒ හරහා විදෙස්ගත වෙන හීනය මගෙන් ගිලිහිලා ගියා. ඇත්තටම රැකියා ආයතනයත් මට එක්තරා විශ්වවිද්‍යාලයක් වගෙයි. ඒ වගේම මම ඇසුරු කරන අයත් එක්තරා විශ්වවිද්‍යාලයක් වුණා. ඒ හැමදේකින්ම මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. රැකියාව, කලාව සහ මගේ පවුල ඇතුළේ මගේ ජීවිතය ගමන් කළා.

මෙහෙම ගමන් කරපු ජීවිතයේ එක්තරා තැනකදී අපූරු වෙනසක් වුණා නේද?
ඔව්.. ඒකත් වුණේ අහම්බෙන්. ඔය කාලයේදී මම නිතරම කොළඹ සුදර්ශියට යන්න එන්න පටන් ගත්තා. සුදර්ශියට නාට්‍යවල සම්බන්ධ අය බොහෝමයක් ආවා. එතනදී මට සී.ඩී. තැටිවලට සින්දු හදන්නත් අවස්ථාව ලැබුණා. ඒ නිසා මාව ටිකක් ජනප්‍රිය වුණා. එතනදී යසනාත් ධම්මික බණ්ඩාරව මට මුලින්ම හඳුන්වලා දුන්නේ වසන්ත දුක්ගන්නාරාළයි. එතකොට යසනාත් ධම්මික බණ්ඩාර ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒ පොතේ මූලිකත්වය ගත්තේ දුකා.
හැබැයි ඒ වෙද්දී මම යසනාත්ව දැකලාවත් තිබුණේ නැහැ. හැබැයි මම කැපවීමෙන් ඒ ගීත සංගීතවත් කළා. ඔය කාලේදී යසනාත් තවත් ගීත හතරක් ලිව්වා. ඒකේදී ප්‍රදීපා ධර්මදාස ගැයූ “කිරි සිනා ගීතය සංගීතවත් කළේ මමයි. ඉතිරි ගීත සංගීතවත් කළේ ගුණදාස කපුගේ සහ එච්.එම්. ජයවර්ධනයි. ඔය හරහා ගුණදාස කපුගේ, එච්.එම්. ජයවර්ධන, රෝහණ වීරසිංහ, වැනි දැවැන්තයින් මාත් එක්ක බොහෝ කිට්ටුවුණා. ඒ ඔස්සේ මට සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩකරන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා නාට්‍යවලට වගේම චිත්‍රපටවලට සංගීත අධ්‍යක්ෂණය කරන්නත් මට අවස්ථාව ලැබුණා.

ඔබේ විවාහය සිදුවෙන්නේ කොයි කාලේදීද?
මම විවාහ වුණේ 1987 වසරේදීයි. එයා මට නෑදෑවෙන කෙනෙක්. ඇය හිටියේ ඇඹිලිපිටියේ. ඉගෙන ගන්න කොළඹට ආවා. අපි අතරේ ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනැගුණා. එයා මට ආදරේ කළේ මම කලාවේදියෙක් විදිහට හිටපු යුගයක නොවේ. ඒ වෙද්දී එයා කිසිවක් දන්නේවත් නැහැ. ආර්ථික පරිසරයට මම බය වුණා. මම පවුලේ වැඩිමලා වුණාට එයා පවුලේ බලයා. අපේ පවුලට වඩා එයාගේ පවුල ඉතා ශක්තිමත් පවුලක්. එයා මගේ විසිරුණු ජීවිතයට ලොකු ආලෝකයක් වුණා. විවාහ වුණාට පස්සේ එයා මගේ පවුලේ බර අරගෙන ලොකු ශක්තියක් වුණා. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ලොකු පුතා විවාහකයි. ඔහු මෘදුකාංග ඉන්ජිනේරුවෙක්. පොඩි පුතා පශුවෛද්‍යවරයෙක්. ඒ දෙන්නම කලාවට කැමතියි. හැබැයි දෙන්නම කලාවේ අරමුණවල නැහැ. මම ඒ දෙන්නව මේ පැත්තට යොමු කරන්නේත් නැහැ. ඒ අය ඒ දෙන්නගේ ගමනේ යනවා. මම මගේ ගමන යනවා.  
 

► Text - Dishani  /   Pic -  Sumudu

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00