සුරංග.. ඔයාට මුලින්ම ශාන්තව මුණගැහුණු මුල්ම කාලය මතකද?
ඔව්.. ශාන්තව මට මුණගැහුණේ මීට අවුරුදු තිහකට විතර කලිනුයි. ශාන්තයි මායි දෙන්නම එකම ගමේ දෙන්නෙක්.. අපි දෙන්නා හෝමාගමේ. පුංචි කාලේ අපි එහෙම හදුනන්නේ නැහැ. හැබැයි තරුණ වියේදී අපි දෙන්නා හඳුනාගත්තා. එතකොට අපි දෙන්නම මේ ක්ෂේත්‍රයට ඇවිත් හිටියේ නැහැ. හැබැයි හඳුනාගෙන බොහෝම කෙටි කාලයකින් අපි දෙන්නා මේ ක්ෂේත්‍රයට ආවා. අපි දෙන්නා තවත් දෙන්නෙකුත් එක්ක “Four Jokes කියලා කණ්ඩායමක් හදාගත්තා. ඒකෙදී තමයි මුලින්ම අපි දෙන්නා ක්ෂේත්‍රයට ආවේ. ඒ හරහා එළිමහන් වේදිකාවේ අපි විහිළු වැඩසටහන් කළා. ඊට පස්සේ අපි දෙන්නා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් කළා. ඒකේදී මම වැඩසටහන් නිර්මාණය කළා. ශාන්ත රඟපෑවා. පසුව ගුවන් විදුලි නාළිකා ගණනාවකම වැඩසටහන් කරන්න අපිට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ අපි දෙන්නටම රූපවාහිනියට එකතුවෙන්නත් අවස්ථාව ලැබුණා.
ශාන්ත කියන්නේ මොන වගේ කෙනෙක්ද?
ශාන්ත කියලා කියන්නේ තනියම ගොඩනැගිච්චි චරිතයක්. ශාන්තගේ ළමා කාලයේ ටිකක් අසීරු කාලවකවානුවක් බව මම දන්නවා. ශාන්තගේ වයස අවුරුදු විසි ගණන් වෙද්දී එයාගේ දෙමව්පියෝ නැතිවෙලයි හිටියේ. එයා තනියම ජීවිතේ ගොඩනගාගත්තු කෙනෙක්. ශාන්ත හරිම උත්සහවන්ත මනුස්සයෙක්. ඉගෙනගන්න ඔහුට ලොකු ඕනකමක් තිබුණා. ශාන්ත හොඳට ඉගෙනගත්තා. ඔහු හොඳ සුදුසුකම් ලත් ඖෂධවේදියෙක් වුණා. මේ වනවිට ශාන්ත ශ්‍රී ලංකා පොලිස් සේවයට සම්බන්ධ වෙලා පොලිස් රෝහලේ සේවය කරනවා. මොන අමාරුකම් තිබුණත් ශාන්ත කියන්නේ උත්සහයෙන් ජයගත්තු මනුස්සයෙක්.
ශාන්තගෙයි මගෙයි යාළුකම මෙතුවක් කල් පවතින්න හේතුව අපි දෙන්නා එකතුවෙලා විහිළු වැඩසටහන් කරනවාටත් වඩා අපි දෙන්නගේ තුළ තිබෙන අවබෝධයක් ඉතා වටිනවා. ශාන්ත කියන්නේ මානව දයාවෙන් පිරුණු මනුස්සයෙක්. අපේ රටේ දේශපාලනය ගැන අපේ රටේ මනුෂ්‍යයෝ ගැන වුණත් බොහෝම මානුෂීය පිළිවෙතකින් බලන හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්. ලංකාවේ එකට ඉන්න කලාකරුවන් එහෙම එකට ඉන්නේ බොහෝම ටික කාලයයි. හැබැයි අපි කලාන්තරයක් තිස්සේ එකට ඉන්නේ ඒ අවබෝධය නිසායි. මම වෘත්තිය වශයෙනුත් කරන්නේ මේ කාර්යමයි. විකට රංගන ශිල්පියෙක්, විකට රංගන කතා ලියන්නෙක්, අධ්‍යක්ෂණය කරන්නෙක් සහ නිෂ්පාදනය කරන්නෙක් කියන දේ මගේ දැන් වෘත්තීය වෙලා. හැබැයි ශාන්තවත්, මමවත් සැබෑ ජීවිතේදී නිකන් ජෝක්කාරයෝ නොවෙයි. ශාන්තයි මමයි සාමාන්‍ය ජීවිතේ මුණගැහෙද්දී අපි දේශපාලනීය, සමාජීය දේවල් ගැන තමයි වැඩිපුරම කතා කරන්නේ.
ශාන්ත කේන්ති යනවාද?
ශාන්තට එහෙම කේන්ති යන දවස් මගේ ජීවිතේ මම දැකලා තියෙන්නේ හරිම අඩුවෙන්. අපි අතරේ අවුරුදු තිහටත් වඩා යාළුකමක් ඇතිවෙලා තියෙනවා. ශාන්ත කියන්නේ මට හොඳ යාළුවෙක් වගේම ශාන්තට මම හොඳ යාළුවෙක්. හැබැයි මේ වසර තිස් ගාණටම කිසිම කිසිදාක ශාන්ත මට නම කියලා කතා කරලා නැහැ. මගේ නම සුරංගනේ. දැන් බොහෝ දෙනා මට කියන්නේ “සුරං කියලා. නමුත් ශාන්ත මට කිසිම දවසක සුරංගවත්, සුරංවත්, මචන්වත් කියලා කතා කරලා නැහැ. හැමදාම ශාන්ත කතා කරලා තියෙන්නේ එක්කෝ “සර් කියලා.. එහෙමත් නැත්නම් “මහත්තයා කියලා. හැබැයි අපි දෙන්නා හොඳ යාළුවෝ. ඒත්.. කිසිම දවසක එයා මට නම කියලා කතා කරලා නැහැ. ඒක හරි පුදුමයි. ඒත් අපි හරි සමීපයි. ඉතාම ගැඹුරෙන් මිත්‍රත්වයක් තියන දෙන්නෙක්.
ඔහොම නාට්‍ය කරද්දී අමතක නොවන සිදුවීම් එහෙම වෙලාතියෙනවා ද?
අපොයි ඔව්... එහෙම අමතක නොවන සිදුවීම් නම් වෙලා තියෙනවා. අපි එක වතාවක් ශාන්තයි මායි ඩුබායි රාජ්‍යයේ සංදර්ශනයකට සහභාගී වුණා. අපි හෝටලයක නතරවෙලායි හිටියේ. විවේකීව ඉන්න වෙලාවක මම ශාන්තගෙන් “අපි දෙන්නා පොඩ්ඩක් එළියේ වටයක් ගහලා එමුද... කියලා ඇහුවා. ශාන්තත් කැමති වුණා කැමති වුණ ගමන් ශාන්ත එයාගේ සපත්තු දෙක අරගෙන මූණ සපත්තු දෙකෙන් පේන ගානට හරි ලස්සනට පොලිෂ් කළා. කොහොමත් පොලිස් නිලධාරියෙක් සපත්තු හරි නීට් එකට පොලිෂ් කරනවානේ. ඉතින් මෙයාත් පොලිෂ් කළා. අපි දෙන්නා ඇඳගෙන ඔන්න එළියට බැස්සා.
හැබැයි ඩුබායිවල අපි හිටපු පැත්තේ පාරවල්වල පොළව හරි දූවිලි සහිතයි. සිමෙන්ති කුඩු වගේ තියෙන පොළවක් තමයි ඒ පැත්තේ තිබුණේ. මම ඉතින් හරි පරිස්සමට කකුල තිය තියා ඇවිද්දා. මම බලද්දී ශාන්තගේ කකුල් දෙකේ සපත්තු දෙකක් නැහැ. “උඹට පිස්සුද.. පිටරටටත් ඇවිත් සපත්තු ගලවාගෙන යන්නේ. කෝ... සපත්තු දෙක කියලා මම අහද්දී “මම ඒක හොටෙල් එකෙන් තියලා ආවේ.. කියලා ශාන්ත කිව්වා. අච්චර වෙලාවක් අගෙන හරි අපූරුවට පොලිෂ් කරපු සපත්තු දෙක දාන්නේ නැතිව තමයි එදා ශාන්ත ඩුබායිවල සාප්පු සවාරි ගියේ.
සුරංගෙයි, ශාන්තගෙයි වටිනා ඇඳුම් ආයත්තම් එක පාරක් හොරු ගත්තා නේද?
ඔව්නේ... ඒක වුණේ හලාවත සංදර්ශනයකදී.. ඒ කාලේ අපිට ප්‍රසංගවලට යන්න එන්න වාහන තිබුණේ නැහැ. අපි දෙන්නා බස්වල නැගලා, කෝච්චියේ නැගලා තමයි ප්‍රසංගවලට ගියේ. ඔන්න ඒ හලාවත ප්‍රසංගයේදීත් ශාන්ත ගෑනු ළමයෙක්ගේ ඇඳුම් එක බෑග්එකක දාගෙන, මාත් මගේ ඇඳුම් තවත් බෑග් එකකත් දාගෙන දෙන්නත් එක්ක හලාවත ගියා. අපි මියුසිකල් ෂෝ එකට ඕනවිදිහට එයා ගෑනු ළමයෙක් විදිහට ඇන්දා. මම මගේ විදිහට ඇඳලා ස්ටේජ් එකට නැග්ගා. ප්‍රසංගය ඉවරවෙලා ස්ටේජ් එකේ පිටිපස්සට ගිහින් බලද්දී අපේ බෑග් තිබුණා.. හැබැයි ඇඳුම් ටික නැහැ.. අපිට දෙලෝ රත්වුණා. මොනවා කරන්නද? අපි දෙන්නා කළුවරේම කෝච්චියට නැග්ගා.. දැන් ශාන්ත ගෑනු කෙනෙක් වාගෙයි. මිනිස්සු අපි දිහා හරි අමුතුවට බලනවා. පිරිමියෙකුත් නොවන ගෑනියෙකුත් නොවන ශාන්ත දිහා තමයි වැඩිපුරම බලන්නේ. ඔය අතරේ හිටපු හාදයකුත් ශාන්ත ගාවට වෙන දේකට එනවා. අපිත් ඉතින් “උඹ ඕන එකක් කරගනින් කියලා ගණන් නොගෙන අපේ ගමන ගියා.
වෙනත් රුකියාවක් කරන ගමන් කලා කටයුතුවලට නැඹුරු වන ශාන්ත වැඩවලට තිබෙන කැපවීම කොහොමද?
මම බොහෝ වෙලාවට ෂූටිංවලට දින යොදාගන්නේ ශාන්තගේ නිවාඩු දවස් බලලමයි. එයා රජයේ රැකියාවක් කරන කෙනෙක්. එයා රඟපාන විවිධ චරිත තියනවනේ. ඒ හැම චරිතයක්ම වගේ මම තමයි හැදුවේ. ඒ හැම චරිතයකින්ම එයා ගොඩාක් හොඳින් ප්‍රයෝජන ගත්තා. මම මේ වනවිට විකට වැඩසටහන් ආසන්න වශයෙන් තිස්දාහක් විතර ලියලා තියනවා. ඒ හැම අත්පිටපතක්ම මම ළඟ තියනවා. ඒ අතරේ සියයට අනූඅටකම ශාන්තට චරිතයක් තිබුණා.
ශාන්ත වගේ කෙනෙක් ජීවිතයට මුණගැහුණු එක ගැන සුරංගට මොකද හිතෙන්නේ?
ඒක ඇත්තටම ලොකු සතුටක්. ලොකු භාග්‍යයක්. මිතුරුතුමෝ සෙවනැල්ල වගේ දාලා යන්නේ නැහැනේ. හොඳ මිතුරෙක් ඇත්තටම ලොකු සම්පතක්. ශාන්ත කියන්නේ මට මුණගැහුණු හොඳම හොඳ මිතුරෙක්.
සුරංග ශාන්ත ගැන එහෙම කියද්දී ශාන්ත, සුරංග ගැන කියන්නේ මොනවද කියලා දැන් අපි ශාන්තගෙන්ම අහලා දැනගනිමු.
ශාන්ත ඔයාට සුරංගව මුණගැහුණේ මීට වසර තිස් ගණනකට උඩදී නේද?
ඔව්... මම හිතන විදිහට සුරංගයි මායි මුලින්ම මුණගැහුණේ අසූව දශකයේදීයි. එතකොට සුරංග යෞවන වයසේ පසුවන හොඳ තරුණයෙක්. එතුමා ඉගෙන ගත්තේ ධර්මපාල විද්‍යාලයේ. මම ඉගෙන ගත්තේ හෝමාගම මධ්‍ය මහ විද්‍යාලයේ. අපි දෙන්නා පාසල් මිතුරෝ නෙමේ. නමුත් සුරංගගේ හොඳම තරුණ කාලයේදී තමයි අපි දෙන්නා මුණගැහුණේ. ඒ කාලේ ඔහු ඉතාම කඩවසම් තරැණයෙක්. එයා පැටලිල සහගත තැන්වලට නොගියාට ගැහැනු ළමයින්ගේ ආදරය, වගේම ආකර්ෂණය ඔහුට තිබුණා. හැබැයි ඒ කිසිදෙයක් සුරංග මහත්තයා ගණන් ගත්තේ නැහැ.
සුරංග කියන්නේ මොනවගේ චරිතයක්ද?
මම මගේ ජීවිතේ මම දැකපු ධෛර්යසම්පන්නම පුද්ගලයා ඔහුයි. අපේ ජීවිත අපි ගතකරනකොට මොන සැප සම්පත් තිබුණත් අපිට සමහර තැන්වලදී අපේ ජීවිතවලට අපිටම මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ මූණදෙද්දී ඒ ධෛර්ය ඒ ශක්තිය අපිට ඕන කරනවා. සමහර ජීවිතවල ප්‍රශ්න අපිට තමයි විසඳගන්න පුළුවන් වෙන්නේ. ඒවා මනුෂ්‍ය ජීවිතේ හැටි. සුරංග මහතාගේ තිබුණු නොසැලෙන අසාමාන්‍ය වූ ධෛර්ය සම්පන්නකම හරියට මම අගේ කරනවා. මම දන්න විදිහට එයා දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල්වලට වඩා එයා ස්වශක්තියෙන් නැගී සිටින්න තමයි එදා ඉඳන් උත්සාහ කළේ.
සුරංගට කේන්ති යනවාද?
පොඩ්ඩක් කේන්ති යන ගතියක් තියෙනවා. හැබැයි ඒ කේන්තිය සදාකාලික නැහැ. ඒ කේන්තිය සුළු මොහොතකට විතරයි. එයා කාටහරි තදින්ම බැන්නොත් ඒකෙන් අදහස් වෙන්නේ එයා ඒ පුද්ගලයාට ගොඩාක් ආදරේ කියලයි. ඒක තමයි එයාගේ සිස්ටම් එක. එයාගේ ජීවිතේ වැඩියෙන්ම බැණුම් අහලා තියෙන්නේ මම තමයි. එයා කෙනෙක්ට බනින්නේ ඒ මනුස්සයාට තියෙන ආදරේටයි. ඒ එයාගේ හැටි.
ඔහු කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් නියෝජනය කරනවා. ශාන්තට මොකද ඒ ගැන හිතෙන්නේ?
මම ඇත්තටම ඒක ලංකාවේ සුවිශේෂී දක්ෂතාවයක්. සුරංග සතරසිංහ මහත්තයාගේ පියා හොඳ සාහිත්‍යවාදියෙක්. පොතපත ලිව්වේ නැතත් සාහිත්‍ය රසවින්ඳනයක් ඔහුට තිබුණා. ඩේවිඩ් සතරසිංහ මහත්තයා සාහිත්‍ය දේවල් රසවිඳපු, කලාව රසවිඳපු කෙනෙක්. මම හිතන්නේ ඒ රසවින්දනය සුරංග මහත්තයාටත් මනාව පිහිටෙව්වා. හැබැයි අපි දෙන්නාගේ මුල් කාලේදී ඔය දේවල් ගැන ලොකු හැඟීමක් තිබුණේ නැහැ. අපි එදා රසවින්දේ 60-70 දශකයේ සිංහල සිනමාවයි. හැබැයි සුරංග මහත්තයාට පසුකාලීනව තිරරචනය, රංගනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය මේ සියලු දේ පිහිටන්න ඇත්තේ එයා ගෙනා සහජ කුසලතාවයත්, පියාගේ ආභාෂය වෙන්නත් ඇති.
සුරංග වගේ කෙනෙක් ජීවිතයට මුණගැහුණ එක ගැන ශාන්තට අද මොකද හිතෙන්නේ?
අද කලා ලෝකේ මට යම්කිසි තැනක් ලැබුණා නම් ඒ දේ මට ලැබුණේ සුරංග සතරසිංහ මහතා නිසයි. අපි දෙන්නා එකටම තමයි මේ කලාවට පය තැබුවේ. හැබැයි මම හැමවෙලේම මගේ රැකියාවත් එක්ක තමයි මේ කලාව කළේ. හැබැයි සුරංග “හරි ශාන්ත.. මම සම්පූර්ණයෙන් කලාවට බහිනවා. අපි යන්න පුළුවන් දුරක් යමු.. කියලා එයා තමයි පූර්ණකාලීනව මේ සටනට බැස්සේ. එයා මේ කලාවේ තිබෙන විවිධ පැතිවල සැරිසැරුවා. එයා ගිය දුර එයත් එක්ක මටත් යන්න පුළුවන් වුණා. ඒ ලැබෙන ප්‍රතිචාර මටත් ලැබෙන්න පටන් ගත්තා. හැබැයි ඒ සියලු දේ මට ලැබුණේ එයා නිසා තමයි.
► Text - Dishani / Pic – Internet