2017 මාර්තු 04 වන සෙනසුරාදා

පොලීසියෙන් - උසාවිෙයන් සිනමාවට!

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 77

වසර 17ක් මුළුල්ලේ ජපානයේ පදිංචි වී සිටින රංගන ශිල්පී ධම්මික අලුත්ගෙදර, සිය මව්රටට තිබෙන ආදරය, දයාව හා භක්තිය කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ඔප්පු කර තිබෙනවා. වර්තමානයේ ජපානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු ලෙස වැජඹෙන ධම්මික පසුගිය දවස්වල වැඩියෙන්ම දැකගන්නට ලැබුණෙ රාජගිරිය, අග්ගොන, අඹගහ හන්දිය පැත්තෙ.

ධම්මික මොකෝ මේ පාර ලංකාවට ආපු කාරණාව?

සුපුරුදු කාරණාවට තමයි ඉතිං මම බොහොම අමාරුවෙන් කාලය වෙන් කරගෙන ලංකාවට එන්නෙ. මේ පාර ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ශාන්ත සොයිසා ඔහුගේ දැන් තිරගත වන “නෙතු” ටෙලි සිත්තමේ මට චරිතයක් ලබාදීලා තියෙනවා. මගේ කාර්යබහුලත්වය තේරුම් අරගෙන මගේ දර්ශන ටික මේ දිනවල ඔහු ෂෙඩුල් කරදීමෙන් මට පහසුවක් වුණා.

ජපානයේ ඔබ ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක හිමිකරුවෙක්. කලා කටයුතු නිසා ඒ ව්‍යාපාරයට බලපෑමක් සිද්ධ වෙන්නෙ නැද්ද?

අනිවාර්යයෙන්ම මම ජපානෙන් පිටවෙලා ඉන්න හැම මිනිත්තුවක්ම මට ඇති කරන්නෙ ව්‍යාපාරික අතින් පාඩුවක් තමයි. ඒත් කලාවට මගේ හිතේ තියෙන ආසාව ආදරය හා ගෞරවය ඒ පාඩුවට වඩා ප්‍රබලයි. මම ලංකාවට එන්න රංගනය සඳහා විතරමයි. කලා කටයුතුවලින් මම ලංකාවෙදි උපයන සතයක්වත් මම ආපු ජපානෙට ගෙනියන්නෙ නැහැ. ඒ මුදල් සියල්ල මම ලංකාවෙ ප්‍රජා සත්කාරක වැඩ සඳහා යොදවනවා. ඒ වගේම ළමා හා වැඩිහිටි නිවාසවලට පරිත්‍යාග කරනවා. නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීම වගේ සත්කාර කටයුතුත් මෙහිදී කරනවා. මෙවර සීගිරියේදී එවැනි ව්‍යාපෘතියක් සාර්ථකව නිම කළා.

ඔබ රංගනයට පිවිසෙන්නෙත් ජපානයේදී?

ඔව්. මට මුලින්ම අවස්ථාවක් ලැබුණෙ ප්‍රවීණ රංගන ශිල්පිණී ශ්‍රියානි අමරසේනගේ “මයුර අසපුව” කියන ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්න. ඒක රූගත කළේ ජපානයේදී. මම මුල්වරට රංගනය සඳහා යොමුවුණෙත් ඒ නිර්මාණය හරහායි. ඒත් ඒ ටෙලිනාට්‍ය විකාශය වෙන්න කාලයක් ගත වුණා. ඒ අතරතුර මට ශාන්ත සොයිසා මුණගැහෙනවා. ඔහු මට “පබා” ටෙලිනාට්‍යයේ නුවන්ගේ චරිතය ලබාදුන්නා. මම ඒ අභියෝගය බාරගන්නවා. අදටත් දස දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට “පබා” ටෙලිනාට්‍යයේ මා රඟපෑ නුවන්ගේ චරිතය මතකයි. පසුකලෙක “මයුර අසපුව” ටෙලිනාට්‍යය විකාශය වෙනවා.

ලංකාවෙ නොඉඳ පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක් වීමට ඔබට ලැබුණු හැකියාව ගැන මොනවද හිතෙන්නෙ?

ඒ සඳහා මාව යොමු කරපු ශාන්ත වගේම මහේෂ් රත්සරටත් ශ්‍රියානි අමරසේනටත් ස්තූතිවන්ත වෙන්න ඕනෙ. ඒ අතින්ම මම වාසනාවන්ත නළුවෙක් කියලත් හිතෙනවා. බිමල් ජයකොඩි, දුලීකා මාරපන වැනි අති දක්ෂ රංගන ශිල්පීන් සමග එකට රඟපෑමට ලැබීමත් මම වාසනාවක් කොට සලකනවා. 

ඔබේ ඊළඟ ඉලක්කය....?

මගේ එකම බලාපොරොත්තුව තමයි සිනමාවට පය තැබීම. 

ඒත් ඔබ කෙටි චිත්‍රපටයක් හරහා සිනමාවට සම්බන්ධ වුණා නේද?

ඔව්. ජපානයේ පැවැති ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලකට ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණයක් ඉදිරිපත් කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඒ අනුව මම රංගනයෙන් දායක වෙලා “The Target” කියන කෙටි චිත්‍රපටය නිෂ්පාදනය කළා. අධ්‍යක්ෂණය කළේ ශාන්ත සොයිසා. ශ්‍රී ලංකාවේ තිබෙන සම්පත්වල අඩුපාඩු නිසා අපට මහ ලොකු දෙයක් කරන්න බැරිවුණාට ඇමෙරිකාව, ජපානය, බ්‍රසීලය වැනි රටවල් එක්ක තරග කරලා ලබාගත්තු අත්දැකීම් සම්භාරය මට කෝටියක් වටිනවා. මම වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න, මා ගැන විශ්වාසයෙන් වැඩ කරන ජපානයේ නිෂ්පාදන ආයතනයක් තිබෙනවා. ඒ ආයතනයේ අනුග්‍රහයෙන් මම අනාගතයේ සිනමාවට අත තියනවා. 

ජපානයේ ඔබේ ව්‍යාපාර කටයුතු ගැනත් යමක් කියන්න?

මම ජපානෙට ආවේ මීට අවුරුදු 17කට පෙර උසස් අධ්‍යාපනය සඳහා. අධ්‍යාපන කටයුතු හොඳින් කරගෙන ගියා. ජපන් භාෂාවත් හොඳට ප්‍රගුණ කරගත්තා. ඊට පස්සෙ මට ජපානයේ පොලීසියේ හා උසාවියේ පරිවර්තකයෙක් ලෙස රැකියාවක් ලැබුණා. දැඩි කැපවීමෙන් මම ඒ කටයුතු කළා. හොඳ යාළුවො ඇසුරු කරන්න ලැබුණා. ඒ කාලය තුළයි මම මේ ව්‍යාපාරය පටන් ගත්තෙ. සේවකයින් දෙදෙනෙකුගෙන් ආරම්භ කරපු මගේ ව්‍යාපාරයේ අද සේවක සේවිකාවන් 350ක් පමණ සිටිනවා. ඒ අතර බහුතරයක්ම ජපන් ජාතිකයින් වීම විශේෂයි. ඒ අතර ශ්‍රී ලංකාවට බරවාහන අපනයනය කරන ව්‍යාපාරයකුත් පවත්වාගනෙ යනවා.

Text — Ramesh Uvais