2017 මාර්තු 04 වන සෙනසුරාදා

මම ආදරයට බය වුණා

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 123

මේ දවස්වල කාවිංගට වැඩ වැඩියි වගේ නේද?

ම්... මේ දවස්වල ඉතින් සුපුරුදු පරිදි රූගත කිරීම්වලට යනවා. වැඩසටහන්වලට සහභාගි වෙනවා. මම හරිම ආසාවෙන් කරන නාට්‍යයෙන් තමයි මේ. “නිසල සඳ ඔබ” කියන නාට්‍යය. කාලෙකට පස්සේ හම්බවෙච්චි හොඳ ආදර කතාවක්. 

මට හිටපු හොඳම ගැහැනිය-හොඳම යෙහෙළිය මගේ අම්මා

ඔය කිව්වේ නිසල සඳ ඔබ එකේ ආදරය ගැනනේ. කාවිංගගේ සැබෑ ජීවිතයටත් ඒ වගේ හරි අපූරු ආදරයක් දැන් මුණගැහිලා නේද?

ඔව්... කාලයක් මම මාධ්‍යයට කිව්වා ජීවිතේට මම කාවත් බඳින්නේ නෑ කියලා. කාලයක් ඔය ආදරය කියන අකුරු හතරට මම බය වෙලයි හිටියේ. ඉතින් මගේ ජීවිතේ මම අද විශ්වාස කරනවා මට හොඳ කෙනෙක් මුණගැහුණා කියලා. අවුරුදු හයක් මම මගේ ජීවිතේ තනිකඩව තනියම හිටියා. අද මම ගත්තු තීරණය හරියි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා.

ඇය මුණගැහුෙණ් කොහොමද?

ඒක ඇත්තටම විවාහ යෝජනාවක්. ඒ විවාහ යෝජනාව ගෙනාවේත් මේ ක්ෂේත්‍රයට සම්බන්ධම කෙනෙක්. මම ඔහුත් එක්ක යම්කිසි වැඩසටහනක් කර කර ඉදිද්දී තමයි මේ විවාහ යෝජනාව මට කළේ. ඊට පස්සේ අපි අවුරුදු දෙකක් යාළුවෝ විදිහට ආශ්‍රය කළා. ඒ අවුරුදු දෙකට පස්සේ තමයි අපි පෙම්වතුන් වුණේ. 

නංගිව මනාලියක් කරනකම් මේ අයියා බඳින්නෙ නෑ...

ඇය රැකියාවක් කරනවාද?

ඇය වෛද්‍යවරියක්. 

කාවිංගගේ මව්පියෝ ඇය පිළිබඳව දැනගෙන හිටියද?

නෑ... අප්පච්චිට මේ ගැන දැනගන්න කාලයක් තිබුණෙ නෑ. අප්පච්චි නැතිවුණේ 2012 අවුරුද්දේ. අම්මට මම ඇය ගැන විස්තර කියලා තිබුණා. නමුත් අම්මිට මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. එයා ලංකාවට එන දවසේම තමයි මගේ අම්මි අපිව දාලා ගියේ. ඉතින් අම්මිත් එක්ක වචනයක්වත් කතාකරගන්න එයාට ඉඩක් ලැබුණේ නෑ. අම්මා හරි ආසාවෙන් හිටියේ එයාව බලන්න. 

මගේ ජීවිතේ අංක එක නංගි

කාවිංග දොස්තර නෝනා කෙනෙක් බඳින්න ඉන්නවා කියලා දැනගනිද්දී අම්මා මොකද කිව්වේ?

අම්මිට මම ගැන ලොකු බයක් තිබුණා. මගේ ජීවිතේ සමහර සමහර ප්‍රශ්නත් එක්ක අම්මි හිතාගෙන හිටියේ මම කවාදවත් කසාද බඳින එකක් නෑ... මම කවදාහරි ජීවිතේ තනිවේවි කියලා. ෆෝන් එකෙන් එයා එක්ක කතා කරන්නවත් අම්මට ලොකු හැකියාවක් තිබුණේ නෑ... අන්තිම මාසයේදී අම්මිට ගොඩක් අමාරු වුණා. ඉතින් අද අම්මි කොහේ හරි ඉඳන් මායි නංගියි දිහා බලාන ඇති. අප්පච්චිත් ඒ වගේමයි. ඒ දෙන්නගේම ආශිර්වාදය මටයි නංගිටයි හැමවෙලේම තියේවි.

අප්පච්චියි, අම්මයි ඔය දෙන්නාගේ ජීවිතෙත් සඳහටම ඈත්වෙලා යද්දී ඔයයි නංගියි ජීවිතේ තනිවුණාද?

ඒ තනිවුණ එක ගැන කියන්න අදටත් මට තේරෙන්නේ නෑ. මගේ ජීවිතේ මම ළඟින්ම හිටපු කෙනා මගේ අම්මි. ම‍ගේ ජීවිතේ මම විශ්වාස කරපු එකම කෙනා මගේ අම්මි. ඒ නිසයි මම තීරණය කළෙත් මම මැරිකරන්නේ නැහැ කියලා. අද ගත්තු තීරණ හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අප්පච්චියි, අම්මියි නැති පාළුව තරමක් හරි නැති වුණේ මගේ පෙම්වතිය හමුවුණාට පස්සේ. ඇගේ අම්මයි, තාත්තයි දෙන්නමත් වෛද්‍යවරු. ඒත් මගේ අම්මා තරම් කවුරුත් මට නෑ. මගේ ජීවිතේ හිටපු හොඳම ගැහැනිය මගේ ජීවිතේ හිටපු හොඳම යෙහෙළිය මගේ අම්මි. ඉතින් ඒ පාළුව වචනවලට හරවන්න මම දන්නේ නෑ. තාමත් අපේ ගේ ඇතුළේ ඒ පාළුව තියෙනවා.

ලංකාව දාලා යන්නත් හිතුවා

නංගියි ඔයයි අතර තියෙන බැඳීම කොහොමද?

මම මගේ අම්මි නැතිවුණාට පස්සේ සෑහෙන මානසිකව වැටිච්චි කෙනෙක්. මගේ නංගි තමයි මට ශක්තියක් වුණේ. එයා හැමවෙලේම මගේ පස්සෙන්ම හිටියා. මාව හැමවෙලේම දිරිමත් කළේ මගේ නංගී. ඒ අහිංසකී නොහිටියානම් ජීවිතේ සමහරවිට මම අද මෙතන නොහිටින්න ඉඩ තියෙනවා. මම ලංකාවෙන් යන්න පවා ප්ලෑන් කරපු කෙනෙක්. නංගි හරියට මගේ අප්පච්චි වගේ. මට තියෙන්නේ අම්මිගේ ගතිගුණ.

නංගියි ඔයාගේ පෙම්වතියයි අතර ඇති බැඳීම කොයි වගේද?

නංගී එහෙම හැමවෙලේම කතා කරන කෙනෙක් නෙවේ. හෙමින් කතා කරන පාඩුවේ ඉන්න කෙනෙක්. එයා ගැන නංගිට කිව්වමත් නංගි ගොඩක් සතුටු වුණා. මම කවදාවත් නංගිගේ දේවල්වලට ඇඟිලි ගහන්නේ නෑ. නංගිත් එහෙමයි. හැබැයි නංගි මොකක්හරි වැරැද්දක් දැක්කොත් ඒකත් මට කියනවා. මම සාමාන්‍යයෙන් කියන්න යන්නේ නෑ. මම ඒ දේවල් කියන්න බයයි හිත රිදෙයි කියලා. 

එයා ලංකාවට ආපු දවසේ මගෙ අම්මි මාව දාලා ගියා

කවදා විතර විවාහය සිද්ධ වෙයිද?

තාම ඒ දේවල් ගැන ලොකු ප්ලෑන් එකක් නෑ. ඉස්සෙල්ලා මම මගේ නංගිව මනාලියක් කරන්න ඕනේ. ඒ යුතුකම් මේ අයියා කරනකම් මගෙ අම්මයි, තාත්තයි කොහේහරි ඉඳන් මම දිහා බලාගෙන ඉඳියි. නංගි තමයි මගේ ජීවිතේ අංක එක. මේ වනවිට ඇයට පෙම්වතෙක් ඉන්නවා. ඒ හැම දෙයක්ම ලස්සනට කරලා ඉවර වෙලා මගේ කසාදෙට මුල පුරනවා. 

අද වෙද්දී කලාකරුවන්ට විවාහ උත්සවය විලාසිතාවක් වෙලානේ. ඒ වෙනුවෙන් අනුග්‍රාහකයන් පවා ඉන්නවා. කාවිංගගේ වෙඩින් එකත් ජයටම ගනීද?

මම ඇත්තටම ඒ කාලේ ඉඳලා ප්ලෑන් එකක් තිබුණෙ නෑ ලොකුවට වෙඩින් එකක් ගන්න. අපි ඉන්න ක්ෂේත්‍රයත් එක්ක එහෙම නොකරත් බෑ. මම හරි ආසයි සරල විදිහට ජීවත් වෙන්න. ඒ විදිහට තමයි ඇයත් ජීවත්වෙන්නේ. අපි දෙන්නම ඒ සරල ජීවිතේට ආසයි. වෙඩින් එක ගැන වුණත් ලොකු ප්ලෑනක් අපි දෙන්නටම තාම නෑ.

විවාහ වුණාට පස්සේ පදිංචිය කොහේ වේවිද? ලංකාවේද? පිටරටද?

එයා ඉගෙන ගත්තේ පිටරට... ඒත් එයා ලංකාවට ඇවිත් දැන් ලංකාවේ රෝහලක සේවය කරනවා. මුල් කාලේ දුෂ්කර පළාත්වල සේවය කරන්න ඕනේ නිසා ඇය ඉන්නේ ටිකක් ඈත පළාතක. ඒත් අපි පුළුවන් හැම වෙලාවකම දුරකථනයෙන් කතා කරනවා. වැදගත්ම දේ තමයි අවබෝධය. ඒ අවබෝධය අපි දෙන්නා ළඟම තියෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. විවාහ වුණාට පස්සේ අපි දෙන්නම ලංකාවේ ඉඳීවි.

Text – Dishani Jayamali Karunarathna       Pic – Sumudu Hewapathirana